වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් ලොවට පිවිසෙයි

අලුත් ලොවට පිවිසෙයි
 

ඔබට නොහැක මගෙ සෙවණට එන්නට

මට ද නොහැක මල්විමන් තනන්නට

නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට

අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත

 

අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස

සසර පුරා ළඟ ඉන්න ඇති

ඒ අත් භවයෙත් මේ වාගේම අපි

හමු වී වෙන් වී යන්න ඇති

 

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට

එකම සඳේ සඳ එළිය දකින කොට

ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප

හිනැහෙමු කඳුළැලි සඟවා හිත යට

 

පද රචනය – මහේෂ් රත්සර මද්දුමආරච්ච

ඈතින් පෙනෙන ගාලු මුවදොර මුහුදු තීරය තඹ පාටට දිළෙන හැන්දැවක්. අහස දෙසට දිවෙන යෝධ ගොඩනැගිලි අතරේ සුන්දර හුදෙකලා උස් බිමකට අපි හැමෝම එකතු වුණේ ලස්සන හැන්දෑවක පැය කිහිපයක් විඳින්න. අපි හැමෝටම මේ ආරාධනාව කළේත් ඉතාම සුන්දර නිහතමානී හිතැත්තන් පිරිසක්. සම්මානනීය සංගීත කණ්ඩායමක් වුණත් ඔවුන්ගේ උතුරා පිටාර ගලන නිහතමානි ගුණාංග නම් ඉතාමත් ඉහළයි. අමිල, තුසිත්, ඉෂාන්, ඉසුරු, එරංග සහ තිළිණ. මේ හැමෝම එක් වුණ තැනට අපි හැමෝම කියන්නේ සෙන්ට්‍රිගේඩ්ස් කියලා. ආදරේට ‘සෙන්ටි’ කියලා රසිකයෝ හඳුන්වන මේ පිරිස අලුත් ආරංචි කිහිපයකුත් අරගෙනයි මේ උස් බිම්කඩට ගොඩ වුණේ.

සෙන්ටිග්‍රේඩ්ස් ගායනා කරන ගීත ගොන්න ගැන ආයෙත් අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. මේ දිනවල මල් දෙවැට ටෙලි නාට්‍යයේ තේමා ගීතය සමඟ ඔවුන් දිනපතාම අපේ ගෙදරට ගොඩ වෙන්නේ ළෙන්ගතු හඬ එකතුව අපේ හිත මත තවරමින්.

මේ ආරංචි අතර මුල්ම නිමිත්ත බවට පත්වුණේ 2011 / 2012 රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ ඔවුන්ට ලැබුණු සම්මානය. සුළඟ ටෙලි නාට්‍යයේ ‘දිවුරාලා පවසන්න මට ආදරේ නම්’ ගීතය තමයි මෙවර රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ දී හොඳම තනු නිර්මාණයට හිමි සම්මානය හිමි කර ගත්තේ. ඒ සතුටත් හිත මත දරාගෙන තමයි ‘සෙන්ටි’ල අපිට සුන්දර හැන්දෑවක් ගෙවන්නට ආරාධනා කළේ.

‘ඇත්තටම දැනෙන්නේ සතුටක්. අපි ඉතාම පුංචි තැනක ඉඳලා ඉහළට ආපු කණ්ඩායමක්. ඒ මුල තවමත් ශක්තිමත්. අපේ නිර්මාණ එකිනෙකට වෙනස් වුණාට අපි හැමෝම එක වගේ වැඩ කරනවා. ඒ නිසා තමයි අපට සම්මානනීය වෙන්නට හැකි වුණේ. ඒ සතුට ඒ ගෙවූ ගමන ගැන තවමත් අපට හොඳට මතකයි.

අමිල සම්මානය ගැන කිව්වේ එහෙමයි. ඒ කතාව අවසානයේ අමිල තමන්ගේ කණ්ඩායම මේ අවස්ථාව ලබා දුන්නු සඳරුවන් ජයවික්‍රම වගේම ආශා එදිරිසිංහවත් මතකයට නැගුවේ ඔහුගේ මුල අමතක නොවන කතාව එතැනදීම සාක්ෂි සහිතව ඔප්පු කරමින්. ඔවුන් දෙදෙනා තමයි ‘සුළඟ’ ටෙලි නිර්මාණයේ උරුමකරුවන්.

කළුවර වැටෙන්නට අර අඳින අහස යට විනාඩියෙන් විනාඩිය ගෙවමින් ගත වෙන්නේ සුබ මොහොත. සෙන්ටි ග්‍රේඩ්ස් වෙබ් අඩවිය මුළු ලොවටම මුදා හැරෙන තත්ත්පරය.

‘මෙතෙක් කල් අපට වෙබ් අඩවියක් තිබුණාට ඒක ඉතාමත් ඉක්මනින් යාවත්කාලීන වුණේ නැහැ. නමුත් අද සිට අන්තර් ජාලයට මුදා හැරෙන www.centigra dz.com වෙබ් අඩවිය මේ මොහොතේ සිටම යාවත්කාලීනයි. මේ හරහා අපේ සියලුම නව තොරුතුරු රසික රසිකාවන්ට දැනගත හැකි වෙනවා නියතයි. ඒ වගේම අපේ අලුත් සහ පැරැණි ගීත, මියුසික් වීඩියෝ, අපේ සංදර්ශන සැලැස්ම වගේම මේ හරහා අපිත් එක්ක එකතු වෙන්නටත් පුළුවන්.

තවත් අතකට මේ වෙබ් අඩවිය හරහා අපේ ප්‍රසංගවලට නොමිලේ ටිකට් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් ඒ අවස්ථාව සීමිතයි. මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන අපේ පිරිසට තමයි මේ තෑගි බෝග හිමි වන්නේ. ඒ වගේම දිනෙන් දින යාවත්කාලීන වන මේ වෙබ් අඩවිය හරහා අපට නිර්මාණ එවන්නට වගේම අපේ නිර්මාණ බෙදා ගන්නටත් පුළුවන් වේවි.

ඉෂාන් සඳහන් කළේ තමන් අතින් නිර්මාණය වුණු නව වෙබ් අඩවිය ගැන. සෙන්ටිග්‍රේඩ්ස් කියන්නේ සංගීතය අතින් දක්ෂයන් වගේම අනෙක් ක්ෂේත්‍රවල දක්ෂයන්ගේ එකමුතුවක්. ඉෂාන් තමයි වෙබ් අඩවිය භාරව කටයුතු කරන්නේ.

මේ දක්ෂතා ගොන්න නිසාම සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම දැන්වීම් ක්ෂේත්‍රයේ ඉතා ඉහළ නමකට උරුමකම් කියා ඇති බව අප දැනගත්තේ ඒ සුන්දර කළුවර අතරේ පැවැති හමුවේදී. අද අපේ රටේ ජනප්‍රිය බොහෝ දැන්වීම් සඳහා පසුබිම් සංගීතය, ගීත නිර්මාණය වගේම දැන්වීම් ද නිර්මාණය කරලා තිබෙන්නේ මේ අපේ හිතවතුන්.

වෙළෙඳ දැන්විම් කියන්නේ මිනිසුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන ක්‍රියාවලියක්. ජනතාවගේ හදවත මත ඉතාමත් ඉක්මනින්ම ලැගුම්ගත් කණ්ඩායමක් විදියට බොහෝ දැන්වීම් ආයතනන අපට වගකිව යුතු වැඩ කොටසක් බාර දුන්නා. අපි ඉතාමත් ඉහළින් ඒ කටයුත්ත නිමා කළා. ඒ නිසා දැන්වීම් කලාවට එක් වෙන්න අපට හැකි වුණා. ඕනෑම දැන්වීමක් ඉතාමත් නිර්මාණශීලීව නිර්මාණය කරන්නට අපි බැඳිල ඉන්නවා. අපි ජනතාවට සමීප වුණේ හොඳම දේ කරලා. ඒ නිසා දැන්වීම් හරහාත් හොඳ දෙයක් අපට ගැළපෙන දෙයක් කරන්න බැඳීලා ඉන්නවා.

අමිල කතාබහ කළේ නිහතමානි ආඩම්බරයෙන්. දැන් ඉහළ අහසේ සඳ නැගෙන්නටත් ළඟයි. කුඩා වේදිකාවෙන් බැසගත්තු මේ තරුණ පිරිස එකතු වුණේ අපි අතරට ‘හෙලෝ හෙලෝ නම මොකක්ද ඔයාගෙ’ හාර්ට් එෆ් එම් චිත්‍රපටයේ ගීතය ගයමින් සියලුම දෙනා අසලට පැමිණි සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායම ඉතාමත් ආදරයෙන් සියලු දෙනාගේ හිත ගත්තු ගීත කිහිපයක්ම ගායනා කළේ මේ ලස්සන හැන්දෑව තවත් වර්ණවත් කරමින්.

තමන්ගේ අලුත්ම ආරංචි කියන්න සංවිධානය කරපු හැන්දෑව ක්‍රමයෙන් ගෙවී ගියේ අලුත්ම මතක ගොන්නක් අපට ඉතිරි කරමින්.

‘අපි හැමදාම උත්සාහ කළේ අලුත් දෙයක් කරන්න. ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ රැසක් බිහි වෙන්නට නියමිතව තිබෙනවා. ඒ හැම දේටම රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. අපේ අලුත් වෙබ් අඩවිය හරහා අපට ඒ ප්‍රතිචාර ලැබේවි. රසික රසිකාවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත අපේ ඉදිරි නිර්මාණ සැලැස්ම සැකසේවි.

තුසිත් අවසාන වශයෙන් හැමෝගෙම හිත මත තිබ්බේ යහපත් බලාපොරොත්තුවක්.

දැන් රාත්‍රියට ආසන්නයි.

ඉඳහිට වලාමඩුල්ලට සඳ මුවා වෙලා උඩු මහලට කළුවරයි.

ඒත් හෙට ආයෙ උදෑසන ලබනවා සත්තයි.

ඒ උදෑසනත් ආයෙත් අපිට මියුරු ගීතාවලියක් අරන් සෙන්ටිග්‍රේඩ්ස් අපිව හොයාගෙන ඒවි.

එතෙක් ආයුබෝවන්

සුබ ගමන්.