විනෝදයට බදු ගසයි
විනෝදයට
බදු ගසයි
ඉන්දියානු සිනමා කතාව 12
දාදා සහාබ් පාල්කේ විසින් බිහි කරන ලද එමෙන්ම මදාන් විසින් වපුරන ලද ඉන්දියානු
සිනමාව ඉතා ඉක්මනින් නොවුනත් මුළු මහත් අග්නි දිග ආසියාව පුරා විහිද ගියේය.1918
වසරේ දී ආර්.නටරාජා මුඩ්ලියර් විසින් මුල්ම දකුණු ඉන්දියානු චිත්‍රපටය කීචක වාදම්
නිර්මාණය කළේය.නටරාජා මුඩ්ලියර් සිය වෘත්තිය ජිවිතය ආරම්භ කරනුයේ 1906 වසරේ දී
මදුරාසියේ දී බයිසිකල් අලෙවි කරමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 21 කි.
අනතුරුව රථ වාහන අලෙවිය දක්වා තම ව්‍යාපාරය පුළුල් කරන හෙතෙම එවකට ඉන්දියාව පාලනය
කළ බ්‍රිතානය ආණුඩුකාරවරයා වූ කාසන් සාමිවරයාගේ නිල ඡායාරූප ශිල්පියා වූ ස්ටුවර්ට්
යටතේ ඡායාරූපකරණය හැදෑරුවේය. පාල්කේ ගේ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයට වසඟ වූ ඔහු
වත්මන් තමිල්නාඩුවේ තන්ජවූර් හි ජීවත් වූ ධනවත් ඉඩම් හිමියකු වූ මූපනාර් නමැත්තා ළඟ
තිබූ විලියම්සන් වර්ගයේ පාවිච්චි කළ කැමරාවක් ඉන්දියානු රුපියල් දෙදහසකට මිලයට
ගත්තේය.අනතුරුව ඔහු මදුරාසියේ එවකට මිලර්ස් පාරේ ගබඩාවක දි දකුණු ඉන්දියාවේ මුල්ම
චිත්‍රපටය නිපදවීමේ කටයුත්තට අත ගැසුවේය.මුලින් ඒ සඳහා දකුණු ඉන්දියානු නාට්‍ය
කරුවකු වූ පම්මාල් සම්බන්දම් ද එක් වූයේ නමුදු පසුව මතභේදයකින් පසුව ඔහු වෙන්ව
ගියේය.කීචක වාදම් තිර කතාව ලියන ලද්දේ වෘත්තියෙන් නීතිඥවරයකු වන සී.රංගාදිවේලු
විසිනි.රාජා හරිශ්චන්ද්‍ර මෙන්ම කීචක වාදම් ද මහා භාරතය ග්‍රන්ථයේ කතාවක් පාදක කොට
ගත්තේය.
චිත්‍රපටයේ නළු නිළියන් මෙහෙයවීමේ දී ද රංගාදි වේලුගේ සහාය මුඩ්ලියර්ට
ලැබිණ.එහි කීචක ලෙස වේදිකා නළුවකු වන රාජු මුඩ්ලියර් ද වේදිකා නිළියක වන ජීවරත්නම්
නමැත්තිය දෘපදිගේ චරිතය ද නිරූපණය කළහ.නටරාජා මුඩ්ලියර්ට ආයෝජනයෙන් දායක වූයේ
ව්‍යාපාරිකයකු වූ එස්.එම්.ධර්මලිංගම්ය.චිත්‍රපටය සදහා රුපියල් තිස් පන් දහසක් වැනි
ඒ අවදියේ විශාල මිලක් වැය වූයේ සිනමා කේෂත්‍රය කෙරෙහි නඩරාජාගේ අත්දැකීම් මද
හෙයිනි.මුල්ම දකුණු ඉන්දියානු චිත්‍රපටයට දෙමළ,හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවලින්
උපශීර්ෂ ගැන්විණ.1918 වසරේ ජනවාර් මාසයේ දී කීචක වාදම් තිර ගත වීම ඇරඹිණ.ඒ
මදුරාසියේ එල්පින්ස්ටන් සිනමාහලේ දීය.
සිනමා ඉතිහාසඥයකු වන රන්දූර් ගයි පවසන අන්දමට
එය ඉන්දියාව,ලංකාව.බුරුමය සිංගප්පුරුව හා මැලේසියාවේ තිර ගත කොට ඇති අතර එමගින් ලද
ආදායම රුපියල් පනස් දහස ඉක්ම විය.ඔහුගේ දෙවැනි චිත්‍රපටය දෘපදි වස්ත්‍රාහරණම්
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මේරියන් හිල් නම් ඇංග්ලෝ ඉන්දියානු
යුවතියයි.නඩරාජා මුඩ්ලියර් නිර්මාණය කළ චිත්‍රපට සංඛ්‍යාව හතකි.මයිල් රාවණා,ලව
කුශ.කාලිංග මර්ධනම්,රුක්මණි කල්යානම්,මර්කේන්ද්‍ය ඔහු ගේ සෙසු චිත්‍රපට වන අතර ඒ
සියල්ලම රාමායනය හෝ මහා භාරතය පාදක කොට ගත් ඒවාය.
සිය මුල්ම චිත්‍රපටයෙන් පසු සිය
නිජබිම වූ වෙල්ලෝරය වෙත ගියමුඩ්ලියර් ඉතිරි චිත්‍රපට නිර්මාණය කළේ එහි දීය. 1923
වසරේ දී ඔහු ගේ සියලු චිත්‍රපට මෙන්ම චිත්‍රාගාරය ද ගින්නකින් විනාශ විය. එම ගින්නට
ඔහුගේ එකම ප්‍රත්‍රයාද හසුව මිය ගියේය.එයින් ඇති වූ සිත් වේදනාවෙන් පසු නටරාජා 1972
වසරේ දී මිය යන තුරුම යළි සිනමාවට එක් වූයේ නැත. 2000 වසරේ දී ඉන්දියාව නටරාජා
මුඩ්ලියර්ගේ රුව රැගත් මුද්දරයක් නිකුත් කරන ලදී. කෙසේ වෙතත් මේ පුරෝගාමී
සිනමාකරුවාගේ කිසිදු චිත්‍රපටයක් හෝ අද ඉතිරි ව නැත.
එමෙන්ම 1920 වසරේ දී මුල්ම ඉන්දියානු චිත්‍රපට සඟරාව කල්කටාවේ දී එළි දැක්විණ.ඒ
බෙංගාලි බසින් නිකුත් වූ බිජෝලි සඟරාවයි.නලින්කාන්ත් සර්කාර්,රබින්ද්‍ර කුමාර්
ගෝෂ්,සචින්ද්‍රනාත් සෙන්ගුප්තා,අරුණ් සිං සහ සිනමාකරුවකු වූ රන්ජන් දාස් එහි
සංස්කාරක මණ්ඩල සාමාජිකයන් වූහ.
රාජා හරිශ්චන්ද්‍ර කළ බලපෑම එතෙකින් නිම වූයේ නැත.එය වඩා සැලකිලිමත්ව සිහි පත් කර
ගත යුත්තේ එය නිපදවීමත් සමග ඇතිවූ චිත්‍රපට දළ සේයා පට හිඟය නිසා නිෂ්පාදනයන් කල්
ගිය ද ඉන් පසු බිහි වූ බොහෝ සිනමාකරුවන් චිත්‍රපට නිර්මාණයට පෙළඹෙනුයේ රාජා
හරිශ්චන්ද්‍ර නැරඹීමෙන් ඇති වූ උත්තේජනය නිසා වීමය.ඉන්දියානු සිනමාවට හැඩ රුව ඇති
කළ මිනිසුන් අතර තවත් පුරෝගාමියකු වන බාබුරාඕ පේන්ටර් (1890-1954) ඒ අතර
වෙයි.චිත්‍ර ශිල්පයේ ද මූර්ති කලාවේ ද ලී කැටයම් කලාවන්ගේ ද ඔහු සතු ප්‍රතිභාව
පුදුම සහගත එකක් බැව් පිළිබඳ විස්තර හෙළි කර සිටී.
එය ඔහුගේ උත්පත්ති නාමය වූ
බාබුරාඕ ක්‍රිශ්ණාරාඕ මිස්ට්‍රි යන නම සම්පූර්ණයෙන්ම අමතක කරලීමට තරම් හේතු විය.
ඔහු පේන්ටර් නම් අලුත් වාසගමක් ලබා ගන්නේ ද එබැවිනි.ඔහුගේ පියානන් ද එබඳුම
කලාකරුවකු විය.විධිමත් නොවූ මූලික අධ්‍යාපනයකින් පසු බාබුරාඕ නාටක් මණ්ඩලි නම්
නාට්‍ය කණ්ඩාය මේ සියලුම මූර්ති පසුතල ඇඳුම් පැළඳුම් නිර්මාණය, ප්‍රචාරක චිත්‍ර
ශිල්පය ආදි බොහෝ කාරණා සදහා දායක විය.පේන්ටර්ගේ හවුල්කරු වූයේ ඔහුගේ මස්සිනා
නැතහොත් ඥාති සොහොයුරුවූ ආනන්ද රාඕය.මුල්ම ඉන්දියානු චිත්‍රපටයෙන් කුල්මත් වූ
බාබුරාඕ සහ ආනන්දරාඕ බොම්බායේ කළු කඩයකින් මිලයට ගත් කැමරාවක් සමග වැඩට බැස්සේය.දළ
සේයා පට හිඟය සමග ඔවුන් සිය මුල් අරමුණ මදක් වෙනස් කොට කොලහපූර් හි ශිවාජි සිනමාහලේ
චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹූහ.
ඔවුන් ප්‍රදර්ශනය කළ සෑම චිත්‍රපටයකින්ම යමක් ඉගෙන
ගැනීමට උත්සාහ කළහ.වඩා හොඳීන් රූපයෙන් කතා කියන්නේ කෙලෙසද ඔවුන් ඉගෙන ගැනීමට උත්සාහ
කළේ එයයි.ස්වදේශි ව්‍යාපාරයේ හිතවතකු වූ බාබුරාඕ 1919 වසරේ දී බොමබායේ පැවැත්වූ
කොංග්‍රස් පක්ෂයේ මහ සමුළුව ආනනදරාඕ සමග වාර්තා චිත්‍රපටයට නැංවූයේය.එහෙත් ආනන්දරාඕ
නිව්මෝනියාවෙන් මිය යෑම පේන්ටර්ට බලවත් පාඩුවක් වූයේය. පේන්ටර්ගේ චිත්‍ර පිළිබද
රසිකයකු වූ තානිබායි කගොල්කාර් බාබුරාඕට උදව්වට ආවේය.ඒ ආධාරයෙන් 1919 දී ඉන්දියානු
සිනමා ඉතිහාසයේ අමරණීය මතක සටහන් රැසකට මෙන්ම අනාගත සිනමා පරම්පරා රැසකට මුල පිරූ
මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පැණි ඇරඹිණ. ඒ කොලහපූර් නගරයේ දී ය.අලුත්ම කැමරාවක් සමාගම
වෙනුවෙන් මිල දී ගැනිණ.පේන්ටර් ගේ කසලතා පිරි පැරණි සගයන් කිහිප දෙනෙක් ද එයට එක්
වූහ.පසුකලක ඉන්දියානු සිනමා ඉතිහාසයේ කැපී පෙනෙන පිරිස අතරට එක් වන ඔවුන් නම්
විෂ්ණු ගෝවින්ද් දාම්ලේ,ශේක් ෆත්තේලාල්,එන්.ඩී.සර්පොත්දාර්,බාබුරාඕ පෙන්ඩල්කාර්,
ය.තවත් වසරක් ගෙවුණ තැන කේ.දයිබර් සහ ඉන්දියානු සිනමා ඉතිහාසයේ අග්‍රගණ්‍ය
සිනමාකරුවකු වන වී.ශාන්තාරාම් ද මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පැණි වෙත එක්
වෙයි.
ශාන්තාරාම් එයට එක් වනුයේ ආධුනිකයකු හැටියටය.මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පැනි
ගුලාබ් බායි, සහ අනුශ්‍යා බායි නම් යුවතියන් දෙදෙනා ද සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය ද
අත්පත් කර ගත්තේය.එහෙත් ඔවුන් සිනමාවට පිවිසෙනුයේ කමලා දේවී සහ සුසිලා දේවී යන
අන්වර්ථ නාමයන් ගෙනි.සිනමාවට දායක වීමේ වරදට තම පවුල් වලින් නෙරපා හරින ලද මේ
යුවතියන් දෙදෙනාට එයින් පසු ජිවත්වන්නට සිදුවනුයේ මහාරාෂ්ට්‍ර චිත්‍රාගාරයේ අනාථයන්
ලෙසටය.රංගනයෙන් බැහැර දින සමාගමේ පිරිසට ආහාර පිසින ලද්දේ ඔවුන්
දෙදෙනාය.චිත්‍රාගාරය ඇතුළත තද විනයක් මෙන්ම සමස්ත පිරිසම පවුල් ඒකකයක් ලෙස පවත්වා
ගෙන යෑම බාබුරාඕ පේන්ටර් ගේ අවශ්‍යතාවය විය.බාබුරාඕ ද සිය මුල් චිත්‍රපටය සදහා පාදක
කළේ මහා භාරත ග්‍රන්ථයම වීම විශේෂයකි.
ඔහුගේ මුල්ම චිත්‍රපටය 1920 දී තැනුණ
සයිරාන්ද්‍රිය.කේ.පී.කදිරකාර් විසින් වේදිකාවට ගෙන ආ කීචක වාද් නාට්‍ය පිටපත
ඇසුරින් පේන්ටර් අලුත් තිර නාටකයක් එයට ලිව්වා නොව ඇන් දේය.මේ තිර රචනා වර්තමානයේ
ප්‍රංශයේ සිනමාතෙක් ආයතනයේ සුරක්ෂිත කොට ඇත්තේය. පසුකලක සත්‍යජිත් රායි පාතේර්
පංචාලි චිත්‍රපටයේ තිර නාටකය ටද උපයෝගී කර ගත්තේ පේන්ටර් ගේ සම්ප්‍රදායයි.නඩරාජා
මුඩ්ලියර් කීචක වාදම් නමින් නිර්මාණය කළේ ද මහා භාරතයේ එන කීචක පිළිබඳ කතාවම වුවද
මේ චිත්‍රපට දෙක එකිනෙක අතර කිසිදු සමාන කමක් නොවීය.කදිරකාර් ගේ නාට්‍ය බොහෝ
ප්‍රාන්තයන්හි තහනම් කර තිබිණ.
සිය තිර රචනය සමාප්ත කළ පසු පේන්ටර් නළු නිළියන් පුහුණුවේ දී බෙහෙවින් සැලකිලිමත්
විය.සෑම නළු නිළියකගේම ඇහි පිල්ලමක් ගැසීම පවා ඔහුගේ ඇසට ලක් විණ.පරිසමාප්ත
නිර්මාණය විනා එය නිම කිරීමට කොපමණ කාලයක් ගත වනවා ද යන්න ඔහුට වැදගත්
නොවීය.සයිරාන්ද්‍රි බොම්බාය,කල්කටාව මදුරාසිය සහ රැංගූන් හි තිර ගත කරවිමට මත්තෙන්
එහි ඇතැම් රූප රාමු වාරණයට ලක් විණ.
එයට හේතු ලෙස දක්වනුයේ එහි ඉස්මතු වූ
භීතියයි.සිය චිත්‍ර ශිල්පයේ බල මහිමයෙන් ද අඳුර සහ ආලෝකය මනාව මුසු කොට කළ රූප
ගැන්වීම ද ප්‍රේක්ෂකයන් කලඹාලනු සමත් විය.එහෙත් ඉතුරුවු ඇතැම් දර්ශන දැකීමෙන් ද
බොහෝ ප්‍රෙක්ෂකයන් භීතියට පත් විය.සයිරාන්ද්‍රි චරිතයන් සඳහා සියයට සියයක්ම ගැළපෙන
තෝරා ගැනීමක් කිරීමට පේන්ටර් සමත් විය.එහි කැමරාව මෙහෙයවූයේ ෆත්තේලාල්ය.බලාසබාබ්
යාදෙව්,කමලා දේවි,සුසිලා දේවි,බබුරාඕ පෙන්දර්කාර් ආදින් එහි චරිත නිරූපණය
කළහ.
ෆත්තේලාල් විසින් පේන්ටර් ගේ උපදෙස් පරිදි චිත්‍රාගාරය සදහා මුල් වරට විදුලි
එළිය භාවිත කළ අතර එමගින් අඳුර සහ ආලෝකය අවශ්‍ය පරිදි හසුරුවා ලිමෙන් විශිෂ්ට රූප
ගැන්වීමකට මුල පිරුවේය.ඉන්දියානු චිත්‍රාගාරයන මුල් වරට කෘතිම ආලෝකය මෙහෙයවූයේ ද
එමගිනි.එහි දී චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ පේන්ටර් සිය චිත්‍ර
ශිල්පය චලන චිත්‍රය හා මුසු කරන ලද්දේ එමගින් විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද
ගෞරවය දිනා ගනිමිනි.
මහා රාෂ්ට්‍ර ඉතිහාසයේ විශිෂ්ට රජෙක් වන ශිවාජි රජු චරිතය පාදක කර ගනිමින් පේන්ටර්
විසින් නිර්මාණය කරන ලද ශිංගාද්,කල්‍යාණ කජ්නා,ශහ්ලා ශාහ්,රණ හමීර් යන චිත්‍රපට
සියල්ල පුරා ඇඳුම්,අබරණ,පසුතල, ආදි සියල්ල පුරා පැතිර ගියේ බාබුරාඕගේ
ප්‍රතිභාවයයි.ඔහු මේ සිය කලා අධ්‍යක්ෂණයේ දී එහි අතීත නටබුන් ගවේෂණය කරමින් එහි
සැඟවුන සියුම් කැටයම් පවා තම චිත්‍රපටයට එක් කර ගන්නට උත්සාහ කළේය.දෘෂ්ටි
ප්‍රයෝගයන් මත යැපෙන්නට වඩා ඔහු උත්සාහ කරන ලද්දේ රූපයේ පරිපූර්ණත්වය ඉස්මතු කර
ලන්නටය. එක රූපයකින් දහසක් පුවත් ලඝු කරන්නට ඔහු සමත් විය. ඒ සියල්ල ප්‍රේක්ෂකයා
විශ්මයෙන් රඳවා ගැනීමට සමත් විය.
නිහඬ බසින් නිර්මිත මේ චිත්‍රපට කෙතරම් සාර්ථක වීද
යත් ඉන්දියානු ආදායම් බදු දෙපාර්තමේන්තුව මුල් වරට විනෝද බද්ද හඳුන්වා දුන්නේ
පේන්ටර් ගේ චිත්‍රපට ලද ආදායම පිළිබඳ උපකල්පනය කිරීමෙන් පසුවය.හරි නාරායන් අප්තේගේ
නවකතාවක් ඇසුරින් තැනුණ ආලා පන් සින්හ ගේලා චිත්‍රපටය බොම්බායේ නවල්ටි සිනමහාලේ සති
16 ක් එක දිගට තිර ගත වූයේය.
1921 දී ඔහු තම චිත්‍රපට ප්‍රචාරය උදෙසා පොත් පිංචයන්
නිර්මාණය කළේය.මේ පොත් පිංචට චිත්‍රපටය පිලිබඳ සියළු තොරතුරු සහ රූප සටහන් ද ඇතුළත්
ව තිබිණ.එමෙන්ම ඔහු චිත්‍රපට සඳහා නිර්මාණය කළ පෝස්ටර් වහා සිත් බඳන සුලු ඒවා
විය.ඔහුගේ මාහැඟි පෝස්ටර් චිත්‍ර කිලිටු බිත්ති වල සැරසීම සමකාලින චිත්‍ර
විචාරකයන්ගේ ගර්හාවට ද ලක් විය. එබැවින්ම ඒවා ජේ.ජේ. ආට් ස්කූල් වැනි විද්‍යාතන වල
කිරීමට ඒ සමයෙහිම පියවර ගැනිණ.එක දිගට ඉන්දියානු ඓතිහාසික කතා නිර්මාණයෙන් හෙම්බත්
වූ පේන්ටර් සමකාලින සමාජ කතිකාවක් අරඹනු රිසියෙන් සව්කරි පාශ් හෙවත් ඉන්දියානු
ශයිලොක් චිත්‍රපටය නිර්මාණය කිරීමට සැරසුනේ සිය හිතවතුන් සියල්ලගේම විරෝධය
නොතකාය.ඔවුන්ගේ තර්කය වූයේ සාහිත්‍ය රස වින්දනය කෙසේ වෙතත් උගත් කමින් ද තොර
ජනතාවකට එය ග්‍රහණය නොවන බවය.එහෙත්නාරායන් හරි අප්තේ විසින් සමකාලින සමාජය ඇසුරින්
රචනා කරන ලද ශව්කරි පාශ් නම් නවකතාව සිනමාවට ගෙන ඒම පේන්ටර්ගේ ඒකායන අභිප්‍රාය විය.
මුදල් පොලියට දෙන්නකු.ගැමියකු ඔහුගේ බිරිය සහ තරුණ පුතු වටා ගෙතුණ එය පැවැති
ඉන්දියානු සමාජය නිර්දය විවේචනයට ලක් කෙරුවකි. එහි ප්‍රධාන චරිතය වූ ගැමියා ලෙස
සුන්සරාඕ පවාර් ද ඔහුගේ බිරිය ලෙස ගුලාබ් බායි ද ගොවියාගේ තරුණ පුතු ලෙස
වී.ශාන්තාරාම් ද පොලී මුදලාලි ලෙස කේ.බක්රේ ද චරිත නිරූපණය කළහ.චිත්‍රපටය ඇරඹෙනුයේ
ගොවිතැන අතහැර කම්හලක රැකියාවට යන තරුණයාගේ අතිතාවර්ජනයකිනි.ඔහු එලෙස ගම අත හැර
යන්නේ සිය පියා මිය යන තෙක්ම වූ පොලී හිමියාගේ ණය ගෙවිමට නොහැකි වූහෙයිනි.
චිත්‍රපටය වඩා තාත්වික කරනු රිසි වූ පේන්ටර් සිය නළු නිළියන්ට වෙස් ගැන්වූයේ ද
නැත.එහෙත් මේ වෙනස ප්‍රෙක්ෂකයන් ග්‍රහණය කර ගත්තේ නැත.චිත්‍රපටය වාණිජමය වශයෙන්
අසාර්ථක විය.පේන්ටර් අසාර්ථක වීම විනා පරාජය බාර ගත්තේ නැත.එබැවින්ම පසුකලක ඔහු එය
කතානාද චිත්‍රපටයක් ලෙස ද එළි දැක්වූයේය.පසුකලක පේන්ටර් පිළිබඳ සිහිපත් කරන
ශාන්තාරාම් පවසනුයේ නිහඩ සිනමාවේ තැනුණ ද පේන්ටර්ගේ චිත්‍රපට කතා කරන සුලු චිත්‍රපට
වූ බවයි. එමෙන්ම තම සිනමාව සහමුලින්ම පේන්ටර් ගේ සිනමාවෙන් ලත් ආභාසයෙන් ගොඩ
නැගුනක් බැව් දඔහු විස්තර කරයි.
කෙසේ වෙතත් සව්කරි පාශ් වාණිජමය වශයෙන් ඇද වැටීම මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පැනි වෙතට
තදින් දැනිණ.එබැවින් යළිත් ශිවාජි රජු පිළිබඳ කතාවක් සිනමාවට නැංවීමට පේන්ටර්
සැලසුම් කළේය.එහි අධ්‍යක්ෂණය වී.ශාන්තාරාම් වෙත පැවරිණ.චිත්‍රපටය නේතාජි පල්කාර්
නම් විය.එය අතිශය සාර්ථක චිත්‍රපටයක් විය. අනතුරුව සමාගම මගින් තැනුණ කර්නා
අධ්‍යක්ෂණය කරන ලද්දේ දාම්ලේ සහ ෆත්තේලාල්ය.එය බෙන්හර් චිත්‍රපටයේ කතාව
ඉන්දියානුකරණයක් විය.ඉන්දියානු කුරුකෙෂත්‍ර යුද්ධය එයට පාදක විණ.චිත්‍රපයටය සඳහා
කොලහපූර් මහාරාජා සතු ඇත් පංතියේ ඇතුන් සිය ගණනක් සහ අශ්වයන් සිය ගණනක් ද යොදා ගනු
ලැබිණ.
කර්ණා ද අති සාර්ථක විය.එහෙත් මේ වන විට කතානාද සිනමාවේ යුගය එළැඹෙමින්
තිබිණ.කතානාද සිනමාව පිළිබඳ පේන්ටර් ගේ මතය වූයේ එය රූපයේ ශක්‍යතාවය හීන කරන්නක්
හැටියටය.ඔහු යළිත් පුරුදු චිත්‍රශිල්පයටම පිවිසියේය.ඒ සමග මහාරාෂ්ට්‍ර ෆිල්ම්
කම්පැනි ද වසා දැමිණ.එයට පෙර ශාන්තාරාම් තවත් කීර්තිමත් ඉතිහාසයකට මුල පුරමින්
ප්‍රභාත් ෆිල්ම් සමාගම පිහිටුවා ගන්නා ලදී.එහෙත් 1935 වසරේ දී ශලිනි සිනෙටොන් සමාගම
වෙනුවෙන් පේන්ටර් ඌෂා නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේය.එය ඔහුගේ මුල්ම කතානාද
චිත්‍රපටයයි. එය ද දේව කතාවක් පාදක කර ගත්තකි.
ඔහු යළි සව්කාරි පාශ් (1936) තැනුවේ
ශලිනි සිනෙටොන් වෙනුවෙනි.එහි දී ඔහු චිත්‍රපටයේ සංගිතය සදහා භාවිත කරන ලද්දේ
ස්වාභාවික ශබ්ද යන්ය. එහෙත් එයත් අනතුරුව තැනුණ ප්‍රතිභා(1937) චිත්‍රපටය ද වාණිජමය
වශයෙන් අසාර්ථක විය.තවත් වසර ගණනාවකට පසු ඔහු වී.ශාන්තාරාම් වෙනුවෙන් රාම්ජෝශි
(1947) නිර්මාණය කළේය. එය සාර්ථක විය.කෙසේ වෙතත් පේන්ටර් විසින් සිනමාවට හඳුන්වා
දෙන ලද නළු නිළියන් සිනමා ශිල්පින් ඇතුළු පිරිස ඉන්දියානු සිනමාවේ ඊළඟ පරම්පරාවේ
දැවැන්තයන් විය.අග්‍රගණ්‍ය කුසලතාවන් රැසක් කර පින්නා උපන් පේන්ටර් 1954 ජනවාරි 16
වැනි දින කොල්හපූර් හිදී මිය ගියේය.
මතු සම්බන්ධයි
අරුණ ගුණරත්න
|