වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

කවුද හරි චිත්‍රපටයේ සිසිර සේනාරත්න හා ඉන්ද්‍රාණි සේනාරත්න ගයන ‘රිදී කුමාරි සීතල ඇල්ලයි’ ගීතයට මාලිනී ෆොන්සේකා සමඟ රංගනයේ යෙදෙන නළුවා කවුද?

සුදත් නිශාන්ත – මීගමුව

කරූ නානායක්කාර

මුල්වරට ශ්‍රී ලංකාවේ තිරගත කළ හින්දි චිත්‍රපටය කුමක්ද? සිනමාහලත් නම් කරන්න.

තිලකරත්න විල්වල – කෑගල්ල

බිල්වා මංගල් චිත්‍රපටය. එවකට කොළඹ ඉබ්බන්වල පිහිටි එම්ෆයර් සිනමා ශාලාවේදී තිරගත කළේ.

චණ්ඩියා, අල්ලපු ගෙදර, ආත්ම පූජා, අදට වැඩිය හෙට හොඳයි, ධිවරයෝ, අටවැනි පුදුමය, වැලිකතර, දඩයම යන චිත්‍රපටවල ඩී. වී. ඩී. ලබා ගත හැකිද?

අමිල දුෂ්‍යන්ත නාරංගොඩ – පානදුර

දඩයම චිත්‍රපටයේ පමණක් ඩී. වී. ඩී ලබා ගත හැකියි.

ගායකයෙක් මුදල් ගෙවා ගී පද රචකයෙක් හා සංගීත අධ්‍යක්ෂවරයෙක් ලවා ගීතයක් නිර්මාණය කර ගැනීමෙන් පසු නැවත නැවත එම ගීතය වෙනත් ගායකයන්ට විකුණා මුදල් හම්බ කිරීමට ගී පද රචකයකුට ඇති සදාචාරාත්ක අයිතියක් තිබේද?

ඩබ්. ලෙනාඩ් පෙරේරා - දූනගහ

පේන හැටියට නම් නැහැ.

ලොව වැඩිම භාෂාවන් ගණනාවකට පරිවර්තනය වී ඇති වික්ටර් හියුගෝ ගේ ‘ලේ මිසරාබ්ලේ’ නමැති කතාවත්, ලියෝ ටෝල්ස්ටෝයිගේ ‘යුද්ධය හා සාමය’ නමැති නව කතාවන් අතරින් වැඩිම භාෂාවන් ගණනකින් සිනමාවට නැගුණු නවකතාව කුමක්ද?

පෝල් පෙරේරා - කුලියාපිටිය

ලේ මිසරාබ්ලේ කෘතියයි. එය විවිධ භාෂාවලින් විවිධ වර රිදී තිරයට නැගුණා. ලංකාවේත් මේ කතාව දෙවතාවක් සිනමාවට නැගුණා. ඒ දුප්පතාගේ දුක හා හිරකරුවා යනුවෙන්.

හිරු තනි වෙලා නාට්‍යයට ඒ නම හොඳට ගැළපෙනවා. කවුරුත් බලන්නේ නැති නිසා ඒක කොහොමත් තනි වෙලා. අර්ජුනගේ අදහස කොහොමද?

ශ්‍රියානි පෙරේරා - මිරිහාන

මට කොහොමත් ටෙලිවිෂන් එකේ ටෙලි නාට්‍ය සඳහා නාස්ති කරන්න කාලයක් නැහැ. අනික ටෙලි නාට්‍ය බලනවාට වඩා ටෙලිවිෂන් එකේ බලන්න වෙනත් වැදගත් වැඩසටහන් තියෙනවා.

එෆ්. එම්. නාලිකාවල සමහර නිවේදක නිවේදිකාවන්ගේ තොඳොල් දෙබස්, ඉවරයක් නැති හිනාව නිසා බස් රථයක ගමන් කිරීමත් අසීරුයි. ඒ ගැන පැමිණිලි කළ යුතු කාටද?

සුජාතා ගුණවර්ධන – කඩවත

පළමුවෙන්ම අදාළ බස් රථයේ කොන්දොස්තරවරයාට එම ගුවන් විදුලි නාලිකාව බස් රථයේ ක්‍රියාවිරහිත කරන්න කියලා කියන්න ඔබට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඔහු එසේ නොකරනවා නම් එම බස් රථයට විරුද්ධව පෞද්ගලික බස් රථ පිළිබඳ පාලන අධිකාරියට පැමිණිලි කළ හැකියි. එසේ කළ විට චෝදනාවේ හැටියට සතියක් පමණ යන තෙක් බස් රථයේ ගමන් වාර අවලංගු කළ හැකියි.

එක් රැයකින් හොඳම නළුවා වූ ලින්ටන් සේමගේ ගැන යමක් කියන්න.

දයානන්ද සිල්වා - හික්කඩුව

කිව යුතු හොඳම දේ නම් ලින්ටන් එක රැයකින් හොඳම නළුවෙක් නොවූ බවයි. ඔහු හොඳම නළුවා වන්නට අතිශය දුෂ්කර වෑයමක යෙදුණා. අවාසනාවට ඒ ගමනේ ඉදිරියට යන්නට තිබියදී ඔහු මෙරට අතහැර ගියා.

එදා මෙදාතුර මහත්මා ගාන්ධිතුමා ගැන සිනමා නිර්මාණ කොපමණ නිපදවා තිබේද?

ගිල්බට් පෙරේරා - හෝකන්දර

ගාන්ධි චරිතය ඇතුළත් කර ගනිමින් රිචඩ් ඇටෙන්ඩිරෝ ගාන්ධි නමිනුත්, ශ්‍යාමි බෙනෙගල් මේකින් ඔෆ් මහත්මා නමිනුත් චිත්‍රපට දෙකක් ඉංග්‍රීසි බසින් නිර්මාණය කළා. මීට අමතරව හින්දි චිත්‍රපට කිහිපයකටම ගාන්ධි චරිතය ඇතුළත් වූවා.

සිංහල සිනමාවේ පළමු චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ මුල් පිටපත හා අනෙකුත් පැරැණි චිත්‍රපටවල මුල් පිටපත සංරක්ෂණය කිරීමට බැරි චිත්‍රපට සංස්ථාව කුමකටද?

සරත් රණසිංහ – මාළිඳ

චිත්‍රපට සංස්ථාව තියෙන්නේ චිත්‍රපට සංරක්ෂණයට නොවේ. ඒවා සංරක්ෂණය කළ යුත්තේ වෙනම ආයතනයක්. කෙසේ වෙතත් කවුරුන් හෝ චිත්‍රපට ආරක්ෂා කර ගන්නවා නම් හොඳයි.

ජනප්‍රිය හිංදි චිත්‍රපටයක් වූ ‘දෝ ආන්කේන් භාරාහාත්’ චිත්‍රපටිය ගැන විස්තරයක් කියන්න.

තිලකසිරි ද සිල්වා - මරදානවත්ත

ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ එය වී. ශාන්තරාම් අධ්‍යක්ෂණය කළා. මේ චිත්‍රපටයේ ඔහු සමඟ සන්ධ්‍යා ප්‍රධාන චරිතය රඟපෑවා.

ජේලර්වරයකු හා සිරකරුවන් හය දෙනකු වටා ගෙතුණු මේ චිත්‍රපටයේ හින්දි සිනමාවේ බිහි වූ අපූරු චිත්‍රපටවලින් එකක්.

චිත්‍රපට අධ්‍යක්ෂ ලෙනින් මොරායස් දැන් ඉන්නේ කොහෙද?

එස්. නිශාන්ත – කට්ටුව

මම හිතන්නේ සුරලොව.

රාජාංගනයේ එස්. වීරසිංහ 2013. 03. 14 වැනිදා පළ වූ පැනය හා පිළිතුර වෙනුවෙන් සටහනක් එවා තිබිණි.

2013. 03. 14 සරසවිය අර්ජුන්ගෙන් අහන්න තීරුවේ පළ වූ කුරුණෑගල සෝමචන්ද්‍ර මහතාගේ පැහැදිලි කිරීම වූයේ, මිල්ටන් මල්ලවආරච්චි විජය කුමාරණතුංගට පසුබිම් චිත්‍රපට ගීයක් ගායනා කර තිබූ බවයි. නමුත් කුමර කුමරියෝ චිත්‍රපටයට මිල්ටන් ගායනා කළ නීල දෑස කවි සිතාරේ ගීයට, ජවනිකාවේ පෙනී සිටියේ විජය නොව තිස්ස විජේසුරේන්ද්‍රයි.

මාලිනී ෆොන්සේකා හා සන්ධ්‍යා කුමාරි සකුන්තලා චිත්‍රපටයේ එකට පෙනී සිටියේ නැහැ. නමුත් අනුපමා චිත්‍රපටයේ දෙන්නා එකම ජවනිකාවේ පෙනී සිටියා.