|
|
එදා ‘අපේ ප්‍රශ්න’ ගෙනා ප්‍රවීණ සිනමා ලේඛක පියසේන වික්‍රමගේ
හැදෑරීමත් සමඟ විචාර කලාවේ නියැළෙන පරපුරක් ඇති වෙමින් තිබූ අවධියක් වූ ඒ සමයේ සිංහලයෙහි නව සාහිත්‍ය, නව සිනමාව, නව නාට්‍ය කලාව යන නිර්මාණ ක්ෂේත්‍රයේ හැදෑරීමක් කළ පරපුරට මා ද ඇතුළත් විය. එවැනි හැදෑරීමකින් පසු මට නිතැතින්ම වුවමනා වූයේ මේ දැනුම සමාජයේ සෙසු අය හා බෙදා හදා ගැනීමටය. එමෙන්ම මේ වන විට මට දැඩි ආර්ථික අවශ්‍යතාවන් පැන නගිමින් තිබූ වකවානුවක් විය. කීයක් හෝ හොයා ගැනිමේ ප්‍රයත්නයක යෙදී සිටි මට මගේ විශ්ව විද්‍යාලයේ සගයකු වූ නන්දසේන සූරියආරච්චි කදිම යෝජනාවක් ගෙන ආවේය. මචං විමලසිරි පෙරේරා කියල මහත්තයෙක් ඉන්නවා ලේක්හවුස් එකේ. උඹට හොඳට සිනමා සාහිත්‍ය, නාට්‍ය පිළිබඳ දැනුමකුත්, ලිපි ලිවීමේ හැකියාවකුත් තියනවනේ, චිත්‍රපට පිස්සුවකුත් තියෙන එකේ නරකද මේ මහත්තයා හම්බ වෙලා කතා කළොත්. මහත්තයා සරසවිය කලා පත්තරයේ ප්‍රධාන කර්තෘ. මමත් මහත්තයාව ටිකක් දන්නවා. දක්ෂ අයට උදවු කරන මහත්තයෙක්. එතුමන්ට උඹ ගැන කියන්නම්. බය නැතුව ගිහින් හම්බ වෙයන්. එතකොට උඹට ලියලා කීයක් හරි හොයා ගන්නත් බැරි වෙන එකක් නෑ. ඔහු යෝජනා කළේය. එදා රූපවාහිනී මාධ්‍ය තිබුණේ නැත. ප්‍රකාශන මාධ්‍යයන් ලෙස තිබුණේ පත්තරත්, ගුවන් විදුලියත් පමණි. මේ නිසාම මගේ මිත්‍රයා පැවසූ පරිදි විමලසිරි පෙරේරා මහතා සොයා එක්තරා දිනෙක සවස් භාගයේ මම ලේක්හවුස් පැමිණියෙමි. සරසවිය කර්තෘ මණ්ඩලයේ ලිපියක් ලියමින් සිටි විමලසිරි මහතා ඉදිරියට ගිය මා, ‘සර් මම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මම ආසයි පත්තරයට ලිපි ලියන්න. මට කලා ක්ෂේත්‍රය ගැනත් කලා විචාර ගැනත් ලිවීමේ හැකියාවක් තියෙනවා. චිත්‍රපට, නාට්‍ය වැඩි වශයෙන් නැරැඹීමේ පුරුද්දකුත් මගේ තියෙනවා. ඇත්තම කියනවා නම් සර් මට ඕනෑ පොකට් මනි කිීයක් හරි හොයා ගන්න පුළුවන් දෙයක් කරන්නයි. මම හුඟාක් අමාරුවෙන් තමයි ඉගෙන ගන්නෙත්. සර්ව හම්බ වෙලා කිව්වොත් මොකක් හරි හොයා ගන්න බැරි වෙන එකක් නෑ කියල කිව්වෙත් මාත් එකක් එකට ඉගෙන ගන්න නන්දසේන සූරියආරච්චි. එයත් සර්ව හොඳට දන්නවා කිව්වා’. මම එක දිගට කියාගෙන ගියෙමි. ‘ළමයට ඕනේ රස්සාවක්නෙ. අර තියෙන්නේ රැකීරක්ෂා කාර්යාලය. එතනට යන්න. විමලසිරි මහතා අත දිගු කොට මට පෙන්නුවේ එවක ලේක්හවුස් ආයතනය ඉදිරිපිට තිබූ රැකියා අපේක්ෂිතයන් සියලු දෙනා වෙනුවෙන් පැවැත් වූ කාර්යාලයයි. එහෙත් විමලසිරි මහතා මා ලියන්නට අදහස් කර ඇති ලිපිය පිළිබඳවද විමසීමක් කළේය. අනතුරුව මට තේ කෝප්පයකින්ද සංග්‍රහ කරනු ලැබුවේ එතුමන්ට තේ ගෙන එනු ලැබූ පුද්ගලයාගේ අතේ සාක්කුවෙන් ගත් කාසියක් ද තබමිනි. අන්න අතන ඉන්නවා ලක්ෂ්මන් වික්‍රමසිංහ කියලා මහත්තයෙක්. ගිහින් කතා කරන්න. ඔහු එවක සරසවියේ දෙවැනියා ලෙස කටයුතුª කරනු ලැබූ ලක්ෂ්මන් වික්‍රමසිංහයන් වෙත මා යොමු කළේය. ඔහු මා සමඟ පැය දෙකක් පමණ කතාබස් කළේ මා ලියන්නට අදහස් කර ඇති දෑ පිළිබඳවය. ලෝක සිනමාව පිළිබඳ දීර්ඝ කතාවක් වූ එය එක්තරා අන්දමක සම්මුඛ පරීක්ෂණයක් විය. ඒ කතාබහේ කෙළවර මට සරසවියට ලිවීමට අවසරය ලබා දෙනු ලැබිණි. ඒ නිදහස් ලේඛකයකු ලෙසිනි. ඒ 1967 වර්ෂයේ අග භාගය විය. මම අපේ ප්‍රශ්න නමින් සරසවියට ලිපි මාලාවක් ලිව්වෙමි. ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ටයිටස් තොටවත්ත, සුගතපාල සෙනරත් යාපා වැනි චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ ලිපි මාලාවක් මම ඉදිරිපත් කළෙමි. කලා උපාධිය හදාරණ අවසන් වසරේ ශිෂ්‍යයකු ලෙස මම මාසයට රුපියල් දෙසිය පනහක පමණ මුදලක් මේ ලිපි මගින් උපයා ගතිමි. එක් ලිපියකට ගෙවන ලද්දේ රුපියල් විසි පහකි.
එවක දවස පුවත්පතේ ලිපියකට ගෙවනු මම දිනපතාම පාහේ ලේක්හවුස් ආයතනයට පැමිණියෙමි. එවක මා නිවෙස බලා ගියේ බොහෝ රෑ බෝ වූ පසුවය. නොවැරැදීම රාත්‍රියේ වරායේ සිට එන බසයෙන් ගෙදර යාම මා පුරුද්දක් කොට ගත්තේය. සරසවියට ලැබෙන චිත්‍රපට, නාට්‍ය ආරාධනා වෙනුවෙන් සවස් කාලය කැප කළෙමි. පිටකොටුවේ සිට නුගේගොඩට බස් රථ ගාස්තුව වූයේ සත විසි පහකි. බත් පැකට් එකක් සත හැටක් වු අතර ප්ලේන්ටියක් සත හයක් විය. එදා මා සරසවියට ලිපි ලියා ගන්නා මුදල මගේ සියලු කටයුතු සිදු කර අවසානයේ කීයක් හෝ ඉතිරි කර ගැනීමටත් ප්‍රමාණවත් විය. ශාස්ත්‍රීය පැත්තට බර ලිපි මා අතින් වැඩිපුර ලියැවුණි. ‘හෙට ඔවුන්ගේ දවසයි’ නමින් මා ලියූ නාට්‍යකරුවන් පිළිබඳ ලිපි බොහෝ සෙයින් එවක ජනප්‍රිය විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සිරි ගුණසිංහ, දයානන්ද ගුණවර්ධන ආදීන් පිළිබඳ ඒ ලිපි වෙන් විය. එවක සරසවිය වටා රොක් වී සිටි තරුණ කුසලතාවන්ගේ විවිධාංගීකරණයෙහි අපූර්වත්වය ඉතා තුලනාත්මක අයුරින් ඉදිරිපත් කිරීමට එදා සරසවිය පුවත්පත කාටත් තෝතැන්නක් විය. මගේ මතකය නිවැරැදි නම් එවක සරසවිය කර්තෘ මණ්ඩලයේ ස්ථිර සේවකයන් වූයේ විමලසිරි පෙරේරා මහතාත්, ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක, කුමාරදාස වාගිස්ටත් පමණකි. අනෙක් සියලු දෙනාම පාහේ සම්බන්ධ වී සිටියේ නිදහස් ලේඛකයන් සේය. එදා සරසවිය සරසවියක් කිරීමට විමලසිරි පෙරේරා මහතාට යෝධ ශක්තියක් වූයේ ලක්ෂ්මන් වික්‍රමසිංහයනුත් සෝමවීර සේනානායකයනුත්ය. සරසවිය හරහා හොඳ සුහදත්වයෙන් පිරි ලේඛක පියසක් ඇති කිරීමට මේ දෙදෙනා එදා විමලසිරි මහතාට විශාල දායකත්වයක් ලබා දුන්නේය. සරසවියේ සිටි කාලයේ මට සුවිශේෂී අතිරේක දෙකක් සඳහා දායකවීමට ලැබිණි. එවක සරසවිය පිටු දාසයකින් යුතුව මුද්‍රණය විය. එක් අවස්ථාවකදී මා එහි පිටු දොළහක් වෙනුවෙන් සිනමාව හා බුදු දහම නමින් අතිරේකයක් වෙනුවෙන් තනිවම ලිව්වෙමි. එවැනිම විශේෂ අවස්ථාවක් නැවත මට උදා වූයේ මාර්ටින් වික්‍රමසිංහ මහා ගත්කරුගේ හැත්තෑ වන උපන් දිනය නිමිති කොට සරසවිය පුවත්පත නිකුත් කළ පිටු හතරක අතිරේකය සැකසීමට ලැබීමය. මහාචාර්ය සෙනරත් පරණවිතාන, එවකට ආචාර්ය වූ ඒ. ජේ. ගුණවර්ධන වැනි ප්‍රවීණයන් රැසකගේ සම්මුඛ සාකච්ඡා ලිපි පෙළක් මේ අතිරේකය සඳහා ලිවීමට මට අවස්ථාව උදාවිණි. මේ සඳහා සෝමවීර සේනානායකයන් මා පසුපස සිට දිරියක් ලබා දුන්නේය. එකී ලිපිවල අන්තර්ගතය වෙනුවෙන් චිත්‍ර සටහන් කීපයක් නිර්මාණය කරනු ලැැබුවේ ඒ. ඩී. රංජිත් කුමාර විසිනි. සරසවිය නිසා මගේ ජීවිතයට සමාජශීලිත්වය එක් වුණි. රටේ සුපතල නමක් දිනූ ප්‍රවීණ ශිල්පීන් වෙත මට යාමට ලැබුණේ ද, ඔවුන් හා දැනහැඳුනුම්කම් ඇති කර ගැනීමට ලැබුණේ ද සරසවිය නිසාය. බොහෝ පිරිස් සරසවිය නිසා මට දැන හඳුනා ගැනීමට ලැබුණා පමණක් නොව ඔවුන්ගෙන් ගුරුහරුකම් පවා මගේ ජීවිතයට එක් කොට ගැනීමට මම වාසනාවන්ත වීමි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සිට එදිරිවීර සරච්චන්ද්‍රයන් දක්වාත්, එවක බිහි වූ සියලු නාට්‍යකරුවන්ද, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ පටන් බිහි වූ සියලු චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ද, ගාමිණී ෆොන්සේකාගේ පටන් සිනමාවේ සිටි නළු නිළියන් ද මා හඳුනා ගත්තේ සරසවියට පින් සිදු වන්නටය.
එදා මම විමලසිරි පෙරේරා මහතාගේ නායකත්වය යටතේ සරසවිය මගේ ලේඛන කලාවට ආලෝකයක් නොවන්නට පියසේන වික්‍රමගේ නම් ලේඛකයා බිහි නොවන්නට ඉඩ තිබුණි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හා කුළුපග වීමට ලැබුණේද සරසවිය පත්තරය නිසාමය. එවක ගාමිණී මහත් අභිමානයක් ගොඩ නගාගෙන සිටි නළුවෙක් විය.
ගාමිණීට කතා කරන සෑම අවස්ථාවකම මුලින්ම සරසවිය පත්තරයෙන් කියා හඳුන්වා දීමට අමතක
නොකරන ලෙස මා වෙත උපදෙසක්ද දී තිබුණේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ය.
නොහඳුනන කිසිවකුට පුවත්පත් සාකච්ඡා නොදීමට ගාමිණී මැලි වීම එයට හේතු විය. එවක ගාමිණී පදිංචිව සිටියේ රත්මලානේ සිරිමල් උයනේ නිවසේය. ගාමිණී හා පුවත්පත් සාකච්ඡා සඳහා මා මුලින්ම ගිය දිනය ද අද වගේ මතකය. ගාමිණීට වෙලාවක් කිව්වොත් ඒ වෙලාවට පැමිණ තිබිය යුතුය. එසේ නොවුණහොත් යන වැඩය අසාර්ථක වන බව මට ලක්ෂ්මන් වික්‍රමසිංහයන් කියා තිබිණි. ඒ අනුව මා කල් තියා මැලිබන් හංදියෙන් බැස ඉතිරි දුර පයින්ම ගියේ වේලාව ද තව තිබූ නිසාමය. බතික් කමිසයකින් හා සරමකින් සැරසී සිටි ගාමිණී එදා මා සමඟ බොහෝ වේලාවක් කතාබස් කළේ දිගු කලක පටන් හඳුනා ගෙන සිටි පුද්ගලයකු සේය. එදා ඔහුගේ බිරිය සුමිත්‍රා මා වෙත නෙක්ටෝ වීදුරුවක් ගෙනවිත් සංග්‍රහ කළා ද මතකය. එදායින් පසු මා ගාමිණී හමුවීමට නිතර ගියෙමි. රත්මලානේ මැලිබන් හංදියට බසයෙන් ගොස් ඒ අසල තිබූ විජය හෝටලයෙන් පාන් භාගයක් ද කා ප්ලේන්ටියක් ද බී එතැන සිට ගාමිණීගේ නිවසට පයින්ම ගියෙමි. සිසිර කුමාර මානික්කආරච්චි, එඩ්වින් ආරියදාස,, අජන්තා රණසිංහ, ප්‍රභාත් මානවසිංහ, නිහාල් ප්‍රනාන්දු, බෙනඩික්ට් දොඩම්පෙගම, පර්සි ජයමාන්න, එස්. සුබසිංහ ආදීී විශාල පිරිසක් මට හඳුනා ගන්නට ලැබුණේ ද සරසවියට පැමිණීමත් සමඟය. අද මා සිනමා ලේඛනයේ නියැලී වසර හතලිස් පහක් සපිරී ඇත. එදා මගේ ලේඛන දිවියට මුලින්ම අත්වැලක් වූ සරසවිය පුවත්පත පනස් වන වියට පා තබා ඇත. සරසවියේ ඇරැඹුමත් මගේ ලේඛන කලාවේ ඇරැඹුමත් අතර ඇත්තේ වසර පහක පරතරයකි. එදා මෙදාතුර මා සිතුවිලි, සිනෙ සංකල්ප, කලාව සහ සාහිත්‍ය, සිනමාවේ පනස් වසරක් ආදී පොත් ඛ්හිපයක්ම රචනා කර ඇත්තෙමි. මේ සියල්ලට මට ගුරුවරයකු වූයේ සරසවියයි. නිදහස් ලේඛකයකු ලෙස සරසවියට සම්බන්ධ වී සිටි මා හට කොල්ලුපිටියේ එවක පිහිටි හංස ප්‍රකාශන ආයතනයෙන් ආරාධනයක් ලැබුණේ එහි පොත් ප්‍රකාශන කටයුතුª සඳහා සම්බන්ධ වන ලෙසටය. ඒ අනුව මා සරසවියෙන් සමුගෙන එහි කණිෂ්ඨ විධායක නිලධාරියෙක් ලෙස සේවයට එක් වීමි. මගේ ජීවිතයට බොහෝ දේ රැගෙන ආ සරසවිය හැරදා මා එයින් සමු ගත්ත ද සරසවිය හා මා අතර තිබූ බැඳීමේ අඩුවක් සිදු නොවිණි. මගේ ලේඛන කලාවට තක්ෂලාවක් වූ සරසවිය කලා ලෝකයටම සරසවියක්ම වේවා!
|



මගේ පුවත්පත් කලා ජීවිතයේ ඇරැඹුම දෙස ආපසු හැරී බලන කල්හි එය සිහිවටනයකි. හැටේ
දශකයේ මගේ පුවත්පත් කලා ජීවිතයේ ඇරැඹුම සිදු වූයේ ද සිංහල නවකතාව, කෙටි කතාව, කවිය,
චිත්‍රපටය, නාට්‍ය පිළිබඳ බෙහෙවින් නව නිර්මාණකරුවන් බිහි කළ සමයකය. එවක මා කැලණිය
විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයකුව සිටිනා අවධියක විය.
ලැබුවේ රුපියල් පහළොවකි. විමලසිරි මහතාගේ
සෙවණ ලබමින් සරසවියට ලියනු ලැබූ තවත් බොහෝ තරුණ පිරිසක් සිටියේය. මා සමඟ
විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ එකට උගත් නන්දසේන සූරියආරච්චි, සිරි කහවල,
චන්ද්‍රසිරි සෙනෙවිරත්න, තල්පොත වලිසුන්දර මේ පිිරිස අතර විය. සරසවිය පත්තරයේ
නිදහස් ලේඛකයන් ලෙස ගාමිණී විජයතුංග, කුමුදු කුසුම් කුමාර, දයා ආනන්ද රණසිංහ,
ප්‍රභාත් කුමාර, අර්නස්ට් වඩුගේ, ඒ. ඩී. රංජිත් කුමාර වැනි අත්දැකීම් බහුල තරුණ
පිරිසක් ද එයට දායකව සිටියහ. රාජා ටී. බස්නායක සරසවියට ලිපි ලියනු ලැබූව ද ඔහු වැඩි
වශයෙන් කටයුතු කරනු ලැබුවේ විමලසිරි මහතා කර්තෘත්වය හෙබ වූ නවයුගය පත්තරයේ දෙවැනියා
ලෙසය.