වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




බී. ඒ. ඩබ්ලිව්. ගේ පුත් ගාමිණීගේ අවසන් කටයුතු මීගමුවේදී

බී. ඒ. ඩබ්ලිව්. ගේ පුත් ගාමිණීගේ අවසන් කටයුතු මීගමුවේදී

මෙරට සිනමා කර්මාන්තය ආරම්භයෙහිලා පුරෝගාමී මෙහෙයක් ඉටු කළ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ පුතු ගාමිණී ජයමාන්න අභාවප්‍රාප්ත විය. වෘත්තියෙන් සංස්කරණ ශිල්පියකු වූ ඒ මහතා තිදරු පියෙකි. මිය යන විට හැට තුන් හැවිරිදි වියෙහි පසු වූ ඔහුගේ අවසන් කටයුතු පසුගිය ඉරු දින මීගමුවේදී සිදුවිණ.

ජගත් කොස්මෝදර ගේ දිය සායම් දැක්ම හෙට සිට

චිත්‍ර ශිල්පී ජගත් කොස්මෝදරගේ පළමු දිය සායම් චිත්‍ර ප්‍රදර්ශනය තම්බසංචාරය මෙම මස 05, 06, 07 දිනයන්හි කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී පැවැත්වේ.

ගුරු දක්ෂින චිත්‍ර කතාවෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ජගත් කැප්ටන් වොන්රයන්, ලොවෙන් එකෙක්, නියම රාත්තල ආදී චිත්‍ර කතා රැසක් පසුකාලීනව මෙරට චිත්‍ර කතා ලෝලීන්ට දායාද කළේය. ‘හිතවත’ චිත්‍ර කතා පුවත්පතෙහි කලක් සේවය කළ ඔහු වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ කලා අධ්‍යක්ෂවරයකු ද වශයෙන් කටයුතු කොට ඇත.

තාල සමඟ ධර්මාශෝක ඉඟිනළුව අප්‍රේල් 06 මියුසියස් විද්‍යාලයේදී

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය සියවස සැමරුම වෙනුවෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ ‘තාල සමඟ ධර්මාශෝක ඉඟිනළුව’ අප්‍රේල් 06 වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශාලාවේදී වේදිකා ගත කෙරේ.

චන්න – උපුලි රංගායතනය විසින් ඉදිරිපත් කරනු ලබන තාල ප්‍රසංගය 2008 වසරේ සිට සෑම වසරක් පාසාම පැවැත්වෙන අතර මෙවර තාල ප්‍රසංගයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ ධර්මාශෝක ඉගිනළුවයි.

මෙම ඉඟිනළුව සඳහා පිටපත් රචනය වසන්ත කුමාර කොබවකගෙන් වන අතර සංගීත නිර්මාණය සංගීතවේදී සමන්ත පෙරේරා විසිනි.

ගීත්මා සංගිත ප්‍රසංගය හෙට

කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන්ගේ කුසලාත එළිදැක්වීමේ අරමුණ පෙරදැරි කොටගෙන විද්‍යාලයීය පෙරදිග සංගීත ඒකකයේ මාපිය සංසදය විසින් සංවිධානය කරනු ලබන ගීත්මා සංගීත ප්‍රසංගය මෙම 6 දින සවස 6 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මේ එහි එක් රංගනයක්.

‘සත්‍ය’ 06 දා සිට සිරස නාලිකාවෙන්

පිනි වැස්ස, සඳ මැදියම, සිරිවාසල, සීත හිම මාලිගා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂක පැසසුම් ලත් ප්‍රියන්ත සමරකෝන්ගේ නවතම ටෙලි නිර්මාණය ‘සත්‍ය’ අප්‍රේල් 06 වැනිදා සිට සෑම සෙනසුරදා සහ ඉරිදාවකම රාත්‍රී 8.30 ට සිරස නාලිකාවෙන් විකාශය කෙරේ.

නොකළ මිනීමැරුමකට මැදිවන තරුණයකු එයින් මිදෙන්නට ගෙන යන සමාජීය හා මානසික අරගලය හා එයින් තම ප්‍රේමණීය ආදරයට සිදුවන්නේ කුමක් ද යන්න තම හෘද සාක්ෂියෙන් විමසන්න දරන අපූරු කතා තේමාවක් ‘සත්‍ය’ හි ඇතුළත් වේ. චන්න පෙරේරා, චතුරිකා පීරිස්, ලූෂන් බුලත්සිංහල, හිමාලි සිරිවර්ධන, තරුෂි පෙරේරා, සහන් රංවල, මංජුල මොරගහ, හැරී විමලසේන, චින්තක කුලතුංග, චන්ද්‍රසේන වලිමුනි, දිලානි නිකවැටිය ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

තිර රචනය වසන්ත කරුණාරත්න, කැමරා සහ ආලෝකකරණය තිලක් රංජන් සහ සරත් සූරියකුමාර, වේශ නිරූපණය ජයතිස්ස හා රසික තෙන්නකෝන්, කලා අධ්‍යක්ෂණය ජීවන්ත බටගල්ලේගදර, සමන් වන්නිනායක හා ප්‍රියන්ත දසනායක විසිනි.

‘පිය නැගුම’ ප්‍රසංගය 07 දා මහරගම

නුගේගොඩ කලා භූමි සෞන්දර්ය නිකේතනයේ ආදි සිසු හවුල සහ වත්මන් සිසු සිසුවියන් එක්ව සංවිධානය කෙරෙන ‘පිය නැගුම’ ප්‍රසංගය අප්‍රේල් 07 වැනිදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.

සෞන්දර්යවාදී පිරිසක් දැයට දායාද කිරිමේ අරමුණැතිව විසි අට වසරකට පෙර ආචාර්ය රෝහණ වීරසිංහ, සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර, සංගීතවේදී ආනන්ද වීරසිරි සහ සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්නගේ මූලිකත්වයෙන් කලා භූමි සෞන්දර්ය නිකේතනය ආරම්භ කරන ලදී.

දිවයින පුරා විසිරී සිටින මෙතෙක් කලා භූමි ආදි සිසු හවුල හා එක් නොවූ සැමට මේ සමඟ එක්වන ලෙස කලා භූමි ආදි සිසු හවුල ඇරයුම් කර සිටියි. වැඩිදුර විස්තර 0777293342, 0112826944 යන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.

කුඩාහෙට්ටි ලියූ ‘කඳුළු තරණය’ 09 දා දොරට වඩී

ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි ලියූ අලුත්ම නවකතාව ‘කඳුළු තරණය’ අප්‍රේල් 09 වැනිදා කොළඹ මරදානේ, පූජ්‍ය එස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

ළමා අවදිය, තාරුණ්‍යය හා කෙටි කාලීන විවාහ ජීවිතයත් සිය සැමියාගේ අකල් වියෝවෙන් තම එකම දරුවා සමඟ සියලු දුෂ්කරතා ජය ගන්නා පරමාදර්ශී දිරිය මවකගේ කතාව ‘කඳුළු තරණය’ තුළින් විකාශනය වෙයි.

සිනමා ශිල්පීන්ගේ සංධානයේ සංවත්සර රැස්වීම හෙට

දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ ප්‍රථම සංවත්සර මහ සභාව සංවිධානය කරනු ලබන රැස්වීම මෙම මස 05 වැනිදා එනම් හෙට සවස 2.30 ට ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ. සිනමා ශිල්පීන් ඇතුළු නළු නිළියන් හට එහි ලේකම් එරංග සේනාරත්න ආරාධනා කර සිටී.

‘7 කාමරේ’ 7 දා බොරැල්ලේ

ලියෝ තෝල්ස්තෝයිගේ ‘The Exile’ ඇසුරින් සුමිත් සුරංග නිර්මාණය කළ ‘හතේ කාමරේ’ වේදිකා නාට්‍යය අප්‍රේල් 07 වැනිදා බොරැල්ල YMBA රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.

ප්‍රියන්ත පෙරේරා, වසන්ත ප්‍රේමකුමාර, දයාරත්න සුවඳහැන්නදිගේ, නයනී සමරවීර, සරත් ජයසිංහ, ලලිත් ජයකොඩි, දර්ශන ඩයස්, සෝමරත්න බාලසූරිය, සෝමසිරි හේවාවිතාරණ, ජනක චමින්ද, දේවිකා ප්‍රනාන්දු සමඟින් සරසවියේ රඟපාමු ඔස්සේ රංගනයට පිවිසි විජේබණ්ඩාර කාංගර, ගයනි ක්‍රිශාන්ති, රුවන් පුෂ්පකුමාර මෙහි රංගනයෙන් දායක වෙති. සංගීත අධ්‍යක්ෂණය උපුල් මදනායක සහ අංග රචනය ආනන්ද පොල්ගහවෙල විසිනි.