වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අපෙන් නික්ම ගිය මහා කලා ප්‍රාඥයා

අපෙන් නික්ම ගිය මහා කලා ප්‍රාඥයා

මහාචාර්ය සුචරිත ගම්ලත්

මෙරට පහළ වූ විශිෂ්ට ගණයේ දේශපාලන බුද්ධිමතකු, සාහිත්‍ය පරිවර්තකයකු හා කලා විචාරකයකු වූ (කොටින්ම කලා ප්‍රාඥයකු වූ) මහාචාර්ය සුචරිත ගම්ලත් පසුගියදා අපෙන් නික්ම ගියේය. මහාචාර්ය ගම්ලත් බොහෝ විෂය ක්ෂේත්‍ර පිළිිබඳ ප්‍රාමාණික දැනුමකින් හෙබි විද්වතෙක් වූයේය. භාෂාව (සිංහල, පාළි, සංස්කෘත හා ඉංගිරිසි) සාහිත්‍ය (චිරන්තන හා නූතන) නාට්‍ය කලාව (විශේෂයෙන් සංස්කෘත නාට්‍ය) භාරතීය රසවාද, ඉතිහාසය, දේශපාලනය (මාක්ස්වාදය හා ට්‍රොස්කිවාදය) යනාදී වශයෙන් විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඔහු ගැඹුරට හදාරා තිබිණි. ඔහු ගුරුළුගෝමිත් දැන සිටයේය. කාලිදාසත් දැන සිටියේය. මිලාන් කුන්දේරත් දැන සිටියේය. සුනේත්‍රා රාජකරුණානායකත් දැන සිටියේය.

එසේම ජී. ප්ලෙකනෝව්ත් දැන සිටියේය. ලියොන් ට්‍රොස්කිත් දැන සිටියේය. මෙබඳු සුවිශාල දැනුම් සම්භාරයක් එකම පුද්ගලයකු තුළ පිහිටන්නේ ඉතාම විරල වශයෙනි. (බොහෝ සරසවි ඇදුරන් දන්නේ තමන්ගේ අධ්‍යයන විෂය ක්ෂේත්‍රය ගැන පමණක් නොවන්නේ ද?)

මහාචාර්ය ගම්ලත් අඩුවෙන් දැන සිටි විෂය ක්ෂේත්‍රය වූයේ නම් ඒ සිනමාව යැයි, චිත්‍රපට විචාරය යැයි මම සිතමි. ඔහු අප වැනි පික්චර් පිස්සන් මෙන් ඓතිහාසිකව වර්ධනය වන නව සිනමා කලා විඥානය දැන සිටියා නොවන්ට පුළුවන. ඔහු ජිම් ජාමුස් හෝ පෙද්රෝ අල්මදෝවා ගැන දැන සිටියා නොවන්ට පුළුවන. එසේ වුවත් තමා දන්නා සීමිත රාමුව තුළ වුව ඔහු සිනමා විචාරකයකු ලෙස දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළේය. විශේෂයෙන් හැත්තෑව දශකයේදී ධර්මසේන පතිරාජගේ චිත්‍රපට අරභයා ඔහු කළ විවරණ ඉතා වැදගත්ය.

ධර්මසේන පතිරාජගේ චිත්‍රපට තනිකරම දේශපාලන ප්‍රකාශන ලෙස සැලකිය හැකිය. ඒවා විග්‍රහ කිරීමට එතෙක් පැවති විචාර මිනුම් දඬු ප්‍රමාණවත් නොවීය. එසේ හෙයින් සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, එඩ්වින් ආරියදාස වැනි විචාරකයන් පතිරාජගේ සිනමාව ඉදිරියේ කිසියම් අර්බුදයකට මුහුණ දුන්නේ යැයි මම සිතමි. ඔවුන් පතිරාජගේ චිත්‍රපට ගැන අකුරක්වත් ලියා නොතිබීමෙන් සාක්ෂාත් වන්නේ එවැන්නකි.

මහාචාර්ය ගම්ලත් සිනමා විචාරයට ප්‍රවිෂ්ට වන්නේ එවන් පසුබිමකය. එහිලා විශේෂයෙන් ඔහුට අවශ්‍ය වන්නේ පතිරාජගේ සිනමාපටවල දක්නට ලැබෙන දේශපාලන සංඥාර්ථ හඳුන්වා දීිමටය. උදාහරණයක් වශයෙන් ඔහු පතිරාජගේ ‘බඹරු ඇවිත්’ වැනි චිත්‍රපටයක් හඳුන්වන්නේ ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ කාර්යභාරය අනාවරණය කරන චිත්‍රපටයක් ලෙසිනි.

මහාචාර්ය ගම්ලත් ලියූ විචාර අතරින් ‘බැද්දේගම’ හා ‘පාලම යට’ යන චිත්‍රපට දෙක අලළා කළ විචාර එකල තරමක ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඊට හේතු වූයේ එහිලා ප්‍රකට කළ නිර්දයභාවයයි. එහිදී ඔහු භාවිත කළේ ‘දෙන්ඤඤං බැටේ’ විචාර ක්‍රමවේදයයි. එම නම පවා ව්‍යවහාර වූයේ ‘පාලම යට’ නවනකතාව සම්බන්ධයෙන් ඔහු ගුවන් විදුලියේ ‘රූපණ’ වැඩසටහනින් කළ විචාරයකිනි.

ඒ හැරුණුකොට ‘දඩයම’, ‘යුගාන්තය’, ‘තුන්වැනි යාමය’, ‘සිරිමැදුර’, ‘ගොළු මුහදේ කුණාටුවක්’, ‘සිසිල ගිනිගනී’, ‘චන්ද කින්නරී’, ‘සරෝජා’, ‘අනන්ත රාත්‍රිය’, ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සිනමාපට සහ ‘කඩුල්ල’, ‘අඳුකොළ’ වැනි ටෙලි නාට්‍ය ද මහාචාර්ය ගම්ලත්ගේ විචාරාක්ෂියට හසු වූයේය.

එසේම යුද්ධය පසුබිම් කරගත් ‘පුරහඳ කළුවර’, ‘මේ මගේ සඳයි’, ‘ඉර මැදියම’, ‘සුදු කළු සහ අළු’, ‘සුළඟ එනු පිණිස’ වැනි චිත්‍රපට ද ඔහුගේ සවිචාර දැක්මට හසුවිණි. ඔහු මෙයින් ‘පුරහඳ කළුවර’, ‘මේ මගේ සඳයි’ වැනි චිත්‍රපට අගය කළ අතර ඉතිරි චිත්‍රපටවලින් ප්‍රකට කෙරෙන දෘෂ්ටිවාදය ප්‍රශ්න කළේය.

කලා කෘතිවල දෘෂ්ටිවාදය නොඑසේ නම් මතවාදය විමසා බැලෙන විචාර කලාවක් එතෙක් අපේ රටේ තිබුණේ නැත. එවැන්නක් හඳුන්වාදීමට පුරෝගාමී වූවන් අතරින් (මහාචාර්ය පියසීලි විජේගුණසිංහයන් ද ඇතුළු) මහාචාර්ය ගම්ලත්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

මහාචාර්ය ගම්ලත්ගේ සිනමා විචාරවලින් ප්‍රකට කෙරෙන මතිමතාන්තරවලට අපට පෞද්ගලිකව එකඟ විය හැකිය, නොඑසේ නම් විරුද්ධ විය හැකිය. එසේ වුවත් එම විචාර මෙරට සිනමාව හා විචාර කලාව බුද්ධිමය වශයෙන් පෝෂණය කිරීමට අනුබල වූ බව නම් අවංකවම කිව හැකිය.

පුවත්පත් ලිපි මගින් පමණක් නොව සම්මන්ත්‍රණ ඔස්සේ ද මහාචාර්ය ගම්ලත් තම විචාර කලාව පවත්වාගෙන ගියේය. දේශනවලදී ඔහුගේ තියුණු වාග් ප්‍රහාරය අසන්නන් තුළ ජනිත කළේ ආනන්දයකි. කිසියම් සම්මන්ත්‍රණයකට මහාචාර්ය ගම්ලත් පැමිණේ ද ඊට සහභාගි වූ රසික පිරිස සංඛ්‍යාවෙන් වැඩි වූයේය.

ගීතය පිළිබඳ විචාරශීලී සවිඥානකත්වයක් මහාචාර්ය ගම්ලත්ට තිබිණි. බී. බී. සී. ‘සංදේශය’ වැඩසටහනට ඉදිරිපත් කළා වූ ‘ගී මිණි ආර’ විචිත්‍රාංගය ඔස්සේ සිංහල ගීතය ගැඹුරු විමර්ශනයකට ලක් කළේය. ඇතැම් ගී සඳහා ඔහු දුන් අර්ථකථන එම ගීත දෙස නව මානයකින් යුතුව බලන්ට රසිකයා පොලඹවන සුලු විය. ගුණදාස කපුගේ හා මාලිනී බුලත්සිංහල ගයන ‘දම් පාටින් ළා සඳ බැස යනවා’ ගීතය අලළා ඔහු කළ විචාරය ඊට මනා නිදසුනකි.

මහාචාර්ය ගම්ලත් විශිෂ්ට ගණයේ පරිවර්තකයෙක් ද වූයේය. ඔහු නිර්මාණාත්මක කෘති (‘ගීත ගෝවින්දය’, ‘මගේ පෙරෙයි කූඩුව’, ‘මහා භාරතය’ වැනි) පමණක් නොව ශාස්ත්‍රීය කෘති ( ‘ලියොන් ට්‍රොස්කි හා සාහිත්‍ය කලා’, ‘ලුඩ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජරමාන දර්ශනවාදයේ අවසානය’ වැනි) ගණනාවක්ද සිංහලට පරිවර්තනය කර මෙරට පාඨකයන්ගේ දැනුම පුබුදුවා ඇත. ශ්‍රී ජයදේවයන්ගේ ‘ගීත ගෝවින්දය’ වැනි කෘති පරිවර්තනය කිරීමෙන් එක් කරුණක් සාක්ෂාත් වෙයි. ඒ ඔහු ඒවා වැඩවසම්වාදී කලා කෘති යැයි කියමින් තුච්ඡ ලෙස බැහැර නොකිරීමය. ඒවා මානව ජීවිතය සුපුෂ්පිත කරන සාධනීය කලා කෘති ලෙස ඔහු සැලකුවේය. ඔහු වරක් ‘ගීත ගෝවින්දය’ හඳුන්වා සිටියේ අපගේ ඥාන මණ්ඩලයේ ද භාව මණ්ඩලයේ ද නිම්වළලු ප්‍රසාරණය කරන කලා කෘතියක් ලෙසිනි.

මහාචාර්ය ගම්ලත් සකලවිධ කලා වාරණයන්ට කොන්දේසි විරහිතව විරුද්ධ වූවෙකි. නන්දා මාලිනීගේ ගීත තහනම, බර්ග්මාන්ගේ ‘ෆැනි ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්’ හා ප්‍රසන්න විතානගේ ගේ ‘පුරහඳ කළුවර’ චිත්‍රපට තහනම ඉදිරියේ ඔහු අභීතව එම නිර්මාණවල නිදහස උදෙසා පෙනී සිටියේය.

මහාචාර්ය ගම්ලත්ට තිබුණේ සංස්කෘත භාෂාවෙන් ඔප් නංවා ගත් කලා විචාරයන්ටම ඔබින එක් පැත්තකින් කාව්‍යමය වුත් තවත් පැත්තකින් විදග්ධ වූත් භාෂා ශෛලියකි. ඔහුගේ වාග් විලාසයෙ එයම දක්නා ලැබිණි. මේ භාෂා ශෛලිය ගාමිණී සුමනසේකර, මහාචාර්ය සමන්ත හේරත් වැනි විචාරකයන් පවා යම් දුරකට පූර්වාදර්ශ කර ගත්තේ යැයි සිතමි.

මහාචාර්ය ගම්ලත් දේශපාලනික වශයෙන් කිසියම් අන්තවාදයක සිටියේ යැයි කෙනකුට නිගමනය කළ හැකිය. එහෙත් ඔහු මිය යනතුරුම අවස්ථාවදීව පිල් මාරු නොකළ එකී දේශපාලන ස්ථාවරයේ දිගටම රැඳී සිටියේය. ස්ටාලින්වාදය මාක්ස්වාදී සංශෝධනවාදී විකෘතියක් ලෙස සැලකූ හේ ට්‍රොස්කිවාදියෙක් වූයේය.

මහාචාර්ය ගම්ලත් බඳු ප්‍රාඥයන් රටකට පහළ වන්නේ සියවසකට එක් අයකු බැඟින් පමණි. මහාචාර්ය සරච්චන්ද්‍රලා, මහාචාර්ය සෙනරත් පරණවිතානලා, කුමාරතුංග මුනිදාසලා, මාර්ටින් වික්‍රමසිංහලා, චිත්‍රසේනලා බුරුතු පිටින් රටකට ජනිත නොවන්නාහ.

විශ්ව විද්‍යාලයයෙන් පන්නා දැමුණු නිසා ශාස්ත්‍රාලයීය සමාජයට මහාචාර්ය ගම්ලත්ගේ ප්‍රඥාවන්තභාවයෙන් නිසි ප්‍රයෝජන ගන්ට නොහැකි විය. එය බුද්ධිමය අවාසනාවකි.

මහාචාර්ය ගම්ලත්ලා නැති මේ බිමේ දැන් පුස්සන් පිනුම් ගසනු ඇත. අවර ගණයේ කලා නිර්මාණ දිගින් දිගටම පහළ වනු ඇත. ඒවායේ අසාරභාවය පෙන්වා දෙන්ට කෙනකු නැති වූ කල්හි එම නිර්මාණ උත්තම ගණයේ කලා කෘතීන් සේ වැජඹෙනු ඇත. එදාට මහාචාර්ය ගම්ලත්ලාගේ අගය මීටත් වඩා දැඩිව ශාස්ත්‍රීය සමාජයට දැනෙනු නියතය.