වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිනවල ලොව හොල්ලන ‘ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’

මේ දිනවල ලොව හොල්ලන ‘ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’

වර්ෂ 1939 දී ප්‍රමුඛ පෙළේ හොලිවුඩ් චිත්‍රපට සමාගමක් වූ මෙට්රෝ ගෝල්ඩ්වින් මේයර් (MGM) සමාගම විසින් ‘ද විසඩ් ඔෆ් ඔස් නමැති කළු සුදු චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලදී. 1900 දී ෆ‍්‍රෑන්ක් බෝම් විසින් රචිත ‘වොන්ඩෆුල් විසඩ් ඔෆ් ඔස්’ යන ග්‍රන්ථය ඇසුරෙන් එම චිත්‍රපටය නිෂ්පාදනය විය.

‘ඔස්’ චිත්‍රපට මාලාවේ නවතම සම්ප්‍රාප්තිය සිදු වන්නේ 2013 පෙබරවාරි 14 දා එල් කැපිටාන් රඟ ශාලාවේදී ප්‍රදර්ශනය ඇරැඹුණු ‘ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’ නම් දැවැන්ත සිනමා නිර්මාණයත් සමඟිනි. වෝල්ට් ඩිස්නි සමාගම වෙනුවෙන් ජෝ රොත් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ මුල් දින 3 ඇතුළත පමණක් ඇ. ඩොලර් මිලියන 150 ක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලා මේ වන විට සාර්ථක ලෙස තිරගත වෙයි.

‘ෆැන්ටසි’ ක්‍රියාදාම හෙවත් මනඞකල්පිත කතා ආකෘතියකට අනුව නිපැයුණු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාරක කතා චිත්‍රපට නිර්මාණය කිරීමේ සක්විත්තකු වූ සෑම් රයිමි නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයායි. ‘ඊවිල් ඩෙඩ්’ සහ ‘කොනන් ද බාබේරියන්’ වැනි චිත්‍රපට නිපදවීමෙන් ඔහු මහත් ප්‍රසිද්ධියක් ලබා ගත් නිර්මාණකරුවෙක් වෙයි.

1939 දී නිෂ්පාදනය වූ ‘ද විසඩ් ඔෆ් ඔස්’ චිත්‍රපටයේ අඩංගු චරිත සහ ස්ථානයන් නව තාක්ෂණයට අනුව ප්‍රතිනිර්මාණය කර ඇති අතර, පරිගණක ග්‍රැෆික් තාක්ෂණය සහ සජීවීකරණය ලබා දී ඇත්තේ සෝනි පික්චර්ස් සමාගම විසිනි. ‘හැරී පොටර්’ සහ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්’ වැනි චිත්‍රපටවල ආකෘතිය අනුව චිත්‍රපටයේ ප්‍රතිරූපය ගොඩ නගා ඇත්තේ අතිශය ජනප්‍රිය වූ එම චිත්‍රපට වටා රොද බැඳි රසික ජනතාව ආකර්ෂණය කර ගැනිමේ අභිප්‍රායෙනි. ෆ‍්‍රෑන්ක් බෝම් ගේ මුල් කෘතිය වන ‘ද වොන්ඩෆුල් විසඩ් ඔෆ් ඔස්’ අනුසාරයෙන් තිර රචනය නිර්මාණය කළේ ඩේවිඩ් ලින්ඩ්සේ අබෙයාර් හා මිචෙල් කැප්නර් විසිනි.

‘විසඩ් ඔෆ් ඔස්’ චිත්‍රපට පිළිබඳව වෝල්ට් ඩිස්නි සමාගම සතු දිගු ඉතිහාසයක් ඇත. 1937 ‘ස්නෝවයිට්’ කාටුන් චිත්‍රපටය නිපදවීමෙන් පසු ඔවුන්ගේ ඊළඟ කාටුන් චිත්‍රපටය ලෙස තෝරාගෙන තිබුණේ ‘ඔස්’ කතා පුවතයි. එහෙත් එම්. ජී. එම්. සමාගම විසින් ජූඩි ගාලන්ඩ්, රේ බොල්ගර්, ජැක් හේලි, මාග්‍රට් හැමිල්ටන් සහ බිලී බර්ක් රඟපාන සංගීතමය චිත්‍රපටයක් වන ‘ද විසඩ් ඔෆ් ඔස්’ නිෂ්පාදනය කිරීම නිසා එම උත්සාහය ව්‍යවර්ථ විය. 1954 දී කතා රචක ෆ‍්‍රෑන්ක් බෝම් ගේ අනුමැතිය ඇතිව ‘රේන් බෝ රෝඩ් ටු ඔස්’ නමින් චිත්‍රපටයක් වෝල්ඩ් ඩිස්නි සමාගම විසින් රූගත කිරීම් ආරම්භ කළ නමුදු එයද මගදී ඇණ හිටියේය. එහෙත් උත්සාහය අත් නොහළ ඩිස්නි සමාගම 1985 දී ‘රිටන් ටු ඔස්’ නමින් එතරම් සාර්ථකත්වයක් නොලැබූ චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය.

ඩිස්නි සමාගමේ නවතම නිර්මාණය වන ‘ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’ සිනමා ව්‍යාපෘතිය ඇරඹෙන්නේ 2010 වසරේදියි. නිෂ්පාදක ජෝ රොත් ප්‍රධාන නළුවා ලෙස තෝරා ගත්තේ ෂර්ලොක් හෝම්ස් ලෙස මෑතකදී ප්‍රසිද්ධියට පත් රොබට් ඩවුනි ජූනියර් නමැති ප්‍රවීණ රංගන ශිල්පියායි. එහෙත් ඔහු මෙම චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළ හෙයින් ප්‍රවීණ නළු ජොනී ඩෙප් හට චරිතය බාර කරන ලදී.

ඔහු ‘ලෝන් රේන්ජර්’ චිත්‍රපටය සඳහා කාර්යබහුල වූ හෙයින් චරිතයෙන් ඉවත්වීමේ පුරප්පාඩුව පිරවීමට ජේම්ස් ෆ‍්‍රැන්කෝ නම් නළුවා ආදේශ කරගනු ලැබුවේ ඇ. ඩොලර් මිලියන 7 ක වැටුපක් ද ප්‍රදානය කිරීමෙනි. අධ්‍යක්ෂණය සඳහා මුලින් යෝජනා වී තිබුණේ සෑම් මෙන්ඩස් සහ ඇඩම් ෂෑන්ක්මන් නමැති අධ්‍යක්ෂවරුන් වූ අතර අවසානයේ තෝරා ගනු ලැබුවේ සෑම් රයිම්ය. ප්‍රධාන නළු ෆ්‍රැන්කෝ සහ රයිමි ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ එක්ව වැඩකර තිබූ හෙයින් එම සුසංයෝගය ද අධ්‍යක්ෂණයෙහිලා වඩාත් ප්‍රතිඵලදායී විය. චරිතය වඩාත් තාත්විකව රඟපෑම සඳහා මැජික් ශිල්පී ලාන්ස් බර්ටන්ගෙන් විශේෂ පෙර පුහුණුවක් ද ෆ‍්‍රැන්කෝ වෙත ලබා දෙන ලදී.

ප්‍රධාන නිළි චරිතයක් වන ‘තියඩෝරා’ ලෙස රඟපෑවේ සුරූපී නිළි මිලා කූනිස්ය. රේචල් වේස් නිරූපණය කළේ ‘ඉවානෝවා’ගේ චරිතයයි. ග්ලින්ඩාගේ චරිතය මිෂෙල් විලියම්ස් නිරූපණය කළ අතර සෙසු චරිත රඟ දැක්වූවෝ සැක් බ්‍රාෆ්, ටිම් හෝම්ස්, බිල් කොබ්ස්, ටෝනි කොක්ස්, ඇබිගේල් ස්පෙන්සර් සහ බෲස් කැම්බල් නමැති නළු නිළියෝය.

2011 ජූලි 25 දා ‘ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’ චිත්‍රපටයේ මූලික රූගත කිරීම් පොන්ටියැක් හි රැලේ මිචිගන් චිත්‍රාගාරයේදී ආරම්භ විය. සුරංගනා කතාවක් වූ හෙයින් බහුල ලෙස දෘශ්‍ය ප්‍රයෝග භාවිත කෙරුණු අතර ‘අවතාර්’ සහ ‘ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්’ චිත්‍රපටල කලා අධ්‍යක්ෂක රොබට් ස්ටෙ‍්‍රාම්බර්ග් ගේ මහ¼ගු දායකත්වය ලබා ගැනීමට ඩිස්නි සමාගම නොමසුරුව කටයුතු කර තිබිණි. සුරංගනා ලෝකයේ විවිධ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කළේ ග්‍රේ ජෝන්ස් විසිනි. මිලා කූනිස් වෙස් ගැන්වීම සඳහා දිනකට පැය 4 ක් ගත වූ අතර ‘මේක් අප්’ ඉවත් කිරීමට පැයක කාලයක් වැය විය. කෙසේ හෝ ගල්වන ලද මේක් අප් තට්ටුවල ආටෝප මුළුමනින්ම සෝදා හැරීමට මාස 2 ක කාලයක් වැය කිරීමට සිදු විය. සංගීතය ඩැනී එල්ෆ්මන්ගෙනි. තේමා ගී ගායනය ප්‍රවීණ පොප් ගායිකා මාරියා කේරි ෂසිනි.

සැමට එකට හිඳ නැරඹිය හැකි පවුලේ චිත්‍රපටයක් ලෙස චිත්‍රපටය වර්ගීකරණය කර ඇත. අතීතයේ පටන් ළමා චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ පුරෝගාමීන් වන වෝල්ට් ඩිස්නි සමාගම ඔවුන්ගේ එම නිසග කුසලතා සනාථ කළ තවත් අපූරු නිර්මාණයක් ලෙස ‘ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්’ චිත්‍රපටය මෙහිලා සඳහන් කළ හැක.