වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඔව්! මම හිතුවක්කාරයි

ඔව්! මම හිතුවක්කාරයි

පසුගියදා සිට තිරගත වීම ඇරැඹි නාලක විතානගේ ගේ අනිත්‍යා සිනමා සිතුවම හරහා තවත් අලුත් කථානායිකාවක් අප රිදී තිරයට එකතු විය. ඇය මැණික් විජේවර්ධනය.

අනිත්‍යාහි කවුෂි නම් වූ අභියෝගාත්මක චරිතය නවකත්වය පරයා ඉස්මතු කොට නිරූපණය කරමින් ප්‍රේක්ෂක මෙන්ම විචාරක අවධානයට නතු වූ ඇය ව්‍යාපාරික පවුලක පුරුකක් ද වන්නීය. රංගන චාරිකාව පටන්ගත් පළමු නිර්මාණය අනිත්‍යා වුවත් එමඟින් නිත්‍ය බලාපොරොත්තු රැසක් දෝතා දරා ගත් මැණික් මෙතැන් සිට ඔබ හා ලෙංගතු වනු ඇති.

මැණික්, කොහොමද ඔබට අනිත්‍යාහි කවුෂිව හිමිවන්නේ?

මගේ ඡායාරූප වගයක් අරන් තිබ්බා මාලක කියල අයියා කෙනෙක්. ඔහුගේ යාළුවෙක් තමයි නාලක විතානගේ. නාලක, මාලකගෙන් අහලා තියනවා චිත්‍රපටයකට ගන්න අලුත් කෙනෙක් ගැන. එතකොට මාවයි ඔහුට මතක් වෙලා තියෙන්නේ. මාලක අයියා හාරහා නාලක අයියාව හඳුනාගන්න ලැබුණා. නාලක අයියා මගේ හැකියාව ගැන තීරණයකට ඇවිත් කවුෂිගේ චරිතයට ආරාධනා කළා. ඔන්න ඔහොමයි මම අනිත්‍යා හා සම්බන්ධ වන්නේ.

එතකොටත් ඔබට රංගනය සඳහා ආරාධනා ලැබිලා තිබුණාද?

ඔව්. චිත්‍රපට හතරකට කතා කරලයි තිබුණේ. ඒත් මං ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

හේතුව?

ඒවා ඔක්කොම හරිම සීනි බෝල චරිත. මං ආස නැහැ ඒවගේ චරිත රඟපාන්න. අනික මගේ හිතට දැනෙන්නත් ඕන ලැබෙන චරිතය.

ඒ කියන්නේ කවුෂිව ඔබේ හිතට තදින් දැනුණ ද?

අනිවාර්යෙන්ම ඇය සැබෑ ලෝකයේ ජීවත් වන්නියක්.

දෙවතාවක් හිතුවෙ නැති ද අනිත්‍යාහි රඟපාන්න?

ඇයි එහෙම අහන්නේ?

ඒක ටිකක් ආන්දෝලනාත්මක චරිතයක් නිසා?

කවුෂි කියන්නේ අනිත්‍යා ඇතුළේ ජීවත්වන එක්තරා චරිතයක් පමණයි. කෙටියෙන්ම කිව්වොත් ඒක මගේ රංගන ජීවිතයේ එක් රංගනයක් විතරයි.

දර්ශන කිහිපයක් තියනවා කවුෂි මත්පැන් සහ සිගරට් පානය කරන. ඒ වගේම ඇඟපත වැඩිපුර නිරාවරණය වන ඇඳුම් තමයි ඇය අඳින්නේ. ඒ අභියෝග කොහොමද ඔබ ජය ගත්තේ?

ඇඳුම් ගැන පළමුව කතා කළොත් කවුෂිගෙ තරාතිරමට ඒ ඇඳුම් ගැළපෙනවා. මොකද ඇය තාරුණ්‍යයේ ජීවත්වන කෙනකු නිසා. මත්පැන් සහිත දර්ශනවලට මං මුහුණ දුන්නේ නාලක අයියාගේ උදව් පදව් මත. ඒවා බොරු මත්පැන්. සිගරට් බොන හැටිත් රංගනයක් විතරයි. ඒත් එක අවස්තාවකදී මට සිගරට් දුම ඇත්තටම ගිලුණා. එවලේ නම් ලොකු කැස්සකුත් එක්ක තරු හතක් අටක් පෙනුණා. කොහොම හරි එම දර්ශනයන්ට මං මුහුණ දුන්නේ අනිත්‍යා නිෂ්පාදන කණ්ඩායමේ සහාය ඇතිව. ඔවුන් හරිම මිත්‍රශීලීයි.

කවුෂිගේ හා ඔබේ අතර ඇති සමානකම් මොනවද?

කවුෂි වගේම මමත් දඩබ්බරයි. හැබැයි චුට්ටක්.

අනිත්‍යා තිරගතවීමෙන් අනතුරුව ඔබේ ජීවිතයට යම් කැළලක් වේ යැයි හිතුණේ නැතිද?

අම්මයි තාත්තයි දැඩිව අකැමැති වුණා මං මේ චරිතය රඟපානවට. ඊට පසුව නාලක අයියගේ මැදිහත්වීමෙන් ඔවුනට පහදලා දුන්නා. ඒගොල්ලො බය වෙන්න ඇති ඔබ කිව්වා වගේ චිත්‍රපටය රිලීස් වුණාට පස්සේ මගේ ජීවිතයට යම් හානියක් වේවි කියලා. නමුත් ඉස්සෙල්ලා කිව්වා වගේ මේක රංගනයක් විතරයි. කවුෂි දිහා බලලා ඇතැම් අය ඇගේ මිම්මෙන් මාව මනින්න බොහෝ ඉඩකඩ තියනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට මිනිස්සුන්ගේ සිතුවිලි නවත්වන්න බැහැනේ. හැබැයි මං ගැන දන්න අය දන්නවා.

ඔබ හරිම හිතුවක්කාරියක් බව පේනවා?

ඔව්, මං හිතුවක්කාරයි.

ඔබේ ඒ ගතිගුණය නිසා ජීවිතයේ ලැබෙන්න තියෙන දේවල් අහිමිව යාමේ ප්‍රවණතාව වැඩියි?

ඒ කතාව හරි. මගේ හිතුවක්කාරකම හේතුවෙන් පෞද්ගලික දේවල් ගොඩක් මට අහිමි වෙලා තියනවා.

ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරනවා කියලා ආරංචියි?

අනේ මට බැහැ දවස ගානේ ෂූටිං යන්න. අනික වර්තමානයේ ටෙලි නාට්‍ය කරන විදිහට මං ආස නැහැ. රංගන ශිල්පීන්ගේ ශ්‍රමය සූරා කනවා. සිනමාවටයි මගේ දැඩි ඇල්මක් තියෙන්නේ.

රඟපාන්නේ ආසාවටද?

ඇත්තටම ඔව්. හැබැයි රංගනය මගේ විනෝදාංශය නෙවෙයි.

කලාව වෘත්තීය කරගන්න අකැමැති හේතුව මොකක්ද?

මගේ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්. මං ඔහුගේ ව්‍යාපරවලට සම්බන්ධ වෙලා ඉන්නවා. කලාවෙන් මුදල් හොයන්න බැහැ ව්‍යාපාර තරම්. නමුත් මං අත් දෙකේ කලාවයි ව්‍යාපාරයි තියාගෙන ඉන්නවා. වෘත්තියක් විදිහට කලාව තෝර නොගත්තට ව්‍යාපාරවලට තරමටම කලාවට මං ආදරෙයි.

ඔබ මේ වන විට පෙම්වතියක්. ඔහු ගැනත් කියමු?

මං මගේ පෙම්වතාගේ නම කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. මේ වසරේ අග අපේ විවාහය සිද්ධ වේවි.

බොහෝ නිළියන් තම පෙම්වතා විදිහට තෝර ගන්නේ ව්‍යාපාරිකයෙක්?

අනිත් අය ගැන නම් මං දන්නේ නැහැ. නමුත් අපි දෙන්නා සෑහෙන්න කාලයක් යාළුවො විදිහට හිටියා. ඔහුගෙන් මට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. මට එච්චරයි ඕනේ.

ඔහු අනිත්‍යා නැරැඹුවාද?

ඔව්. සංස්කරණය කළ විගසමයි එයා බැලුවේ. ඒ වෙන කොට අපි මිතුරන් පමණයි. ඔහු මට දිරිය දුන්නා. මට දොස් කිව්වේ නැහැ.

රංගනය ගැන හැදෑරීමක් නොකළ ඔබ අනිත්‍යාහි උසස් රංගනයක යෙදීම හැමෝටම ප්‍රහේළිකාවක්?

මං මීට කලින් කැමරාව ඉදිරියේ රඟපාලා නැහැ. ඒත් වේදිකා නාට්‍ය කරලා තියනවා. ඒ ආභාෂය වෙන්න ඇති. රංගනය ගැන ඉගෙන ගන්න ආසයි. ඒත් ලංකාවේ එහෙම තැනක් නැහැනේ.

මැණික්ව ඉදිරියේදී දක්නට ලැබෙන නිර්මාණ මොනවාද?

උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ කොස්තාපල් පුඥ්ඥසෝම චිත්‍රපටය විතරයි එන්න තියෙන්නේ.

ඔබේ ඇත්ත නම මැණික් නෙවෙයි නේද?

මැණික් කියන්නේ මට පොඩි කාලේ අම්මලා කතා කළ සුරතල් නාමය. මේ වෙනකම් එය ඉවත් කළේ නැහැ. මගේ ඇත්ත නම තිලංකා ලක්මිණි විජයවර්ධන.

ඔබට ලියන්නට රසික රසිකාවන් බලාපොරොත්තුවෙන් ඇති?

174/7ඒ, නාවල පාර, නුගේගොඩ ලිපිනයට ලියන්න.