|
|
|||||
‘රෝමය ගිනි ගනී’ 02 ට වසර දෙකයි
විශේෂ දැක්ම අප්‍රේල් 07 දා ටවර් හෝල්හි දී
මුලින්ම ‘රෝමය ගිනි ගනී 2’ නාට්‍යය පිළිබඳ සඳහන් කරමු? මීට පෙර 1996 වසරේදී මවිසින් ‘රෝමය ගිනි ගනී’ වේදිකා නාට්‍යය වේදිකා ගත කළා. එයට පාදක වුණේ රේ කූනිගේ ‘Run for YourWife’ කෘතියයි. රෝමය ගිනි ගනී 2 නිර්මාණය කළේ පළමු නාට්‍යයේ දිගුවක් ලෙසයි. මුල් කතා පුවතෙන් වසර 17 ට පසු සිදුවන සිදුවීම් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. රෝමය ගිනි ගනී 2 ආරම්භයේ සිට අවසානය දක්වාම අඛණ්ඩව ප්‍රහසනාත්මකයි. රෝමය ගිනි ගනී 2 දෙවසරක් පුරා පැමිණි ගමන මොන වගේද?
රෝමය ගිනි ගනී නාට්‍යයේ සාර්ථකත්වය තමයි මෙම නාට්‍යය නිර්මාණයට හේතු පාදක වුණේ. රෝමය ගිනි ගනී 2 නාට්‍යයේ මංගල දර්ශනය පැවැතියේ 2011 වසරේ මාර්තු 23 වැනිදා. එදා සිට මේ දක්වා දිවයින පුරා දර්ශන වාර 50 ඉක්මවා වේදිකා ගත කරල තියෙනවා. දෙවසරක් පුරාවට මෙම නාට්‍යය වෙනුවෙන් දායකත්වය සැපයූ පිරිස ගැනත් කිව්වොත්? මම සමඟින් සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, වජිරා කුමාරි, උපාලි බණ්ඩාර, ඉෂාර වික්‍රමසිංහ සහ උමයංගනී ඉඳුරුගොල්ල මේ නිර්මාණයට රංගන දායකත්වය ලබා දෙනවා. රංගාලෝකයෙන් වසන්ත කුමාර, වේශ නිරූපණයෙන් ජගත් පද්මසිරි සහ නිෂ්පාදන කළමනාකරණය එඩ්වඩ් චන්ද්‍රසිරි විසිනි. නිෂ්පාදනය රොජර් සෙනෙවිරත්න සහ විශේෂ දැක්ම ඉදිරිපත් කරන්නේ සිව්මංසල ක්‍රියේෂන්. වසර ගණනාවක් පුරාවට වේදිකාව සමඟ කටයුතු කරන ඔබ වර්තමානයේ බිහිවන වේදිකා නාට්‍ය දකින්නේ කුමන ආකාරයෙන්ද? වර්තමානයේ වේදිකා නාට්‍ය කලාව සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නේ විශ්වවිද්‍යාල තුළ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන්. ඒ වගේම සිනහව උපදවන වෙළෙඳ නාට්‍ය රැල්ලක් තමයි අද වේදිකා නාට්‍ය කලාව තුළ තියෙන්නේ. ගැඹුරු නාට්‍යයක් හොද නිර්මාණයක් වුවත් ප්‍රේක්ෂක අවධානය යොමු නොවන අවස්ථාවල ඉතාම දුර්වල වුණත් ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නා අවස්ථා දක්නට ලැබෙනවා. එයට ප්‍රධානතම හේතුව ප්‍රචාරණයයි. නාට්‍ය නොව නාට්‍ය නමින් පවත්වන ප්‍රසංගවලට පවා අද හොඳ ඉල්ලුමක් තියෙනවා. රූපවාහිනිය තුළින් ප්‍රසිද්ධ නළු නිළියන්ට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය එයට බලපෑමක් ඇති කරනවා. 70 – 80 දශක තුළදී නාට්‍ය කලාවේ පිබිදීමක් දක්නට ලැබුණත් අද වන විට එය ඇල්මැරුණු තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඔබ හිතන පරිදි වේදිකා නාට්‍ය නිර්මාණ බිහි විය යුත්තේ?
ප්‍රේක්ෂකයාගේ රසඥතාව ඉහළ නංවන නිර්මාණයි බිහි කළ යුත්තේ. එහිදී උසස් ගණයේ නාට්‍ය නිර්මාණ කිරීම නාට්‍ය නිර්මාණකරුවන්ගේ වගකීමක්. එහිදී නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා ඉල්ලන දෙයටම පමණක් සීමා නොවී උසස් නාට්‍ය නිර්මාණ සඳහා ප්‍රේක්ෂකයා යොමු කිරීමට වෙහෙසිය යුතුයි. එවිට උසස් නාට්‍ය සංස්කෘතියක් නිර්මාණය කළ හැකියි. මෙරට වේදිකා නාට්‍ය කලාව සමඟ තාක්ෂණයේ සම්බන්ධතා ගැන ඔබේ අදහස? අපට නිර්මාණ එළිදක්වන්න මිට වඩා තාක්ෂණික පහසුකම්වලින් යුතු නාට්‍ය ශාලා තියෙනවා නම් හොඳයි. කොළඹදී ඒ පහසුකම් ලැබුණත් ග්‍රාමීය මට්ටමේදී එය දුෂ්කරයි. බොහෝ අවස්ථාවලදී ග්‍රාමීය මට්ටමේ නාට්‍ය දර්ශන පෙන්වන්නේ පාසල් වේදිකාවලදීය. හොඳ දර්ශන ප්‍රේක්ෂකයාට ලබාදීමට අපහසු වෙනවා. ඔබ මීට පෙර නිර්මාණය කළ ‘රෝමය ගිනි ගනී’ නාට්‍යය සම්මාන රැසකටම හිමිකම් තැබුවා. ඒ පිළිබඳත් කෙටි සටහනක් තබමු? 1996 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම අනුවර්තනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සහාය නළුවා යන සම්මාන සියල්ලම රෝමය ගිනි ගනියි සතු වුණා. ඔබ විසින් කරන්න නියමිත අලුත්ම නිර්මාණය ගැනත් සඳහන් කළොත්? මීළඟට විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් කෘතිය ඇසුරෙන් නාට්‍යයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල ටෙලි නිර්මාණ සඳහා රංගනයෙන් දායක වෙනවා හැර නාට්‍ය නිර්මාණ කටයුතු සඳහා වැඩිපුර යොමු වෙන්නේ නැහැ. මූල්‍යමය අපහසුතා එයට හේතු වෙලා තියෙනවා. ඊට අමතරව මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නාට්‍ය පිළිබඳ පුහුණු වැඩමුළු පවත්වනවා.
|
|||||



ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘රෝමය ගිනි ගනී 2’
වේදිකාගතව දෙවසරක් ගත වෙන්න නියමිතයි. ඒ වෙනුවෙන් නාට්‍යයේ විශේෂ දැක්මක් ලබන 07
වැනිදා ටවර්හෝල් රංග ශාලාවේදී වේදිකාගත කරන්න කටයුතු සූදානම්. බ්‍රිතාන්‍ය ජාතික
නාට්‍යකරු රේ කූනිගේ ‘Caught in the Net’ ඇසුරෙන් නිර්මාණය කළ ‘රෝමය ගිනි ගනී 2’
අනුවර්තනය සහ අධ්‍යක්ෂණය බන්දුල විතානගේ විසිනි. ඒ පිළිබඳ ඔහු සමඟ කළ කතාබහයි මේ.



