වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මහා සිනමාවේදියාණෙනි සුබ උපන් දිනයක් වේවා!

මහා සිනමාවේදියාණෙනි සුබ උපන් දිනයක් වේවා!

දේශීය සිනමාවේ සුභාවිත සලකුණ සොයමින් අප්‍රමාණ වෙහෙසක් දැරූ මහා පුරුෂයාණෝ ඔබය. ලාංකික සිනමාව දකුණු ඉන්දියානු සිනමාවේ හැඩතල සහිත වසුරුවලින් පිරි යුගයක එය එසේ විය යුතු යැයි ඇදහිය මිනිසුන් සිටි යුගයක එයට එරෙහිව උඩුගං බලා යමින් දේශිය සිනමාවේ විප්ලවයක් කළේ ඔබය. එය එක් රැයකින් කළ හැක්කක් නොවීය. එය මුදුන්පත් කර ගැනීමට සිදු කළ යුතු අප්‍රමාණ කැපකිරීම් ද විඳිය යුතු දුක් ගැහැට ද එමටය.

ඔබ ඒ සියලු දුෂ්කර ක්‍රියා කළේ දේශීය සිනමාව නම් මහා පවුර ඔසවා තබන්නටය. ඉන් නොනැවතුණු ඔබ ඊළඟ පරම්පරාවේ සිනමාකරුවනට මහා රක්ෂාවරණයක් විය. ඔබ වනස්පතියෙහි සෙවන ලද අනේක දරුවෝ අපේ සිනමාව සත් සයුරෙන් එහා දික්විජය කරන්නට මග පාදා ගත්තේය. ඒ මං පෙත සෑදුවේ ද ඔබය. එපමණක් ද නොව ඔවුන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියේ ද ඔබය.

ඔබ ඒ විප්ලවයට මඟ පාදන්නේ සියලු යස ඉසුරු හැර දමමිනි. ඔබ රේඛාව, සන්දේශය, ගම්පෙරළිය, නිධානය, දෙලොවක් අතර, ගොළු හදවත, දෑස නිසා, කලියුගය, යුගාන්තය, අහසින් පොළවට, බැද්දේගම, අවරගිර වැනි සිනමා කෘතීන් රාශියක් තිලිණ කිරීමෙන් නොනැවතුණු ඔබ මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ නැණස වැඩීමෙහිද මහත් වූ මෙහෙයක් කළේය. මහා සිනමාවේදියාණෙනි හෙටට යෙදෙන ඔබේ උපන් දිනය ඔබට නිදුක් නීරෝගී චිර ජීවනයට හේතු වාසනා වේ යැයි අපි ප්‍රාර්ථනා කරමු.

සැමීගේ කතාව රීල් ලයින් උළෙලට දැනටමත් විචාරක ප්‍රතිචාර

ප්‍රියංකර විතානාච්චිගේ සැමීගේ කතාව සිනමාපටය මෙම මස 11 වැනිදා කැනඩාවේ රීල් ලයින් සිනමා උළෙලෙහි තිරගතවීමට නියමිතය.

සැමීගේ කතාව විදෙස් උළෙලක තිරගතවන දෙවන අවස්ථාව මෙයයි.

සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, ජගත් චමිල, නිල්මිණී බුවනෙක, ෂක්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ රඟන සැමීගේ කතාව ග්‍රේෂන් සම්මාන දිනූ කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සෑම්ස් ස්ටෝරි නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි.

අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදනය ද ප්‍රියංකරගෙනි. සහාය නිෂ්පාදනයෙන් සහ සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය දායක විය. සරත් විජේසේකරගේ නිෂ්පාදන කළමනාකරණයකි. රුවන් කොස්තා කැමරාව මෙහෙයවා ඇත. වෙලේ්ගෙදර රණසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. හේමන්ත ගමගේ අංග රචනයෙක් එක් විය.

අර්ජුන් කමලනාත්ගෙන් තහනම් ගිවිසුමක් සමඟ අලුත් නිළියක්

මෙරට ප්‍රථම වතාවට රංගන ශිල්පිනියන් සිය ප්‍රථම චිත්‍රපටය තිරගතවනතුරු ටෙලි නාට්‍යයක රඟපෑම තහනම් කරමින් ගිවිසුමකට එළැඹෙමින් වැඩ ඇරැඹුණ අලුත් චිත්‍රපටයක් මේ දිනවල කොළඹ අවට රූ ගැන්වෙයි. මේ ගිවිසුමට එළැඹි නවක නිළිය ඉමේෂා ජයමාන්න. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ නව පරපුරේ ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත්ය. අර්ජුන්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වූ මේ චිත්‍රපටය නම් කොට ඇත්තේ ආශාවේ මායා යනුවෙනි.

රෙක්ස් කොඩිප්පිලි, අර්ජුන් කමලනාත්, රජිත හිරාන්, අමීෂා කාවින්දි, සමන් ඒකනායක, චංචලා වර්ණසූරිය, චාමි සේනානායක, නිශානි ගමගේ, ප්‍රේමදාස විතානගේ, නුවරඑළියේ මහින්ද සිල්වා, රාජි මෙන්ඩිස්, සංඛ ප්‍රසාද්, චන්න චානක ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති. කැමරාව සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහෙයවයි. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. බන්දුල වීරසේකර කලා අධ්‍යක්ෂවරයාය. දිනූෂ සම්පත්ගේ නිෂ්පාදන කළමනාකරණයකි. කේෂාන් පෙරේරාගේ සංගීතයට රුක්මන් අසිත, අයෝමි පෙරේරා, කේෂාන් පෙරේරා සහ ප්‍රින්සස් ද සිල්වා ගයනු ලබයි.

චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ සජිත් වී. චතුරංග ආශාවේ මායා හි ගීත රචනා කොට ඇත.

ඈෂ්ලි රත්නවිභූෂන ටියුනීසියාවට ආරාධනා

ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපතිවරයා සහ ආසියානු සිනමාවේ සංවර්ධනය සඳහා වූ කේන්ද්‍ර ජාලයේ (නෙට්පැක්) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු සහ ජූරි සම්බන්ධිකාරක වූ ඈෂ්ලි රත්නවිභූෂන ටියුනීසියාවේ හම්මෙත් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර චිත්‍රපට සමිති සම්මේලනයේ විශේෂ ආරාධනාවක් අනුව එහි මහ සමුළුවට සහභාගි වීම සඳහා ටියුනීසියාව බලා පිටත් විය.

එය මෙම මස 01 සිට 07 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ඔහු වසර කිහිපයක්ම එම සම්මේනයේ කළාපීය ලේකම්වරයා විය. 1983 වර්ෂයේ පින්ලන්තයේ හේසින්කි නගරයේ පවත්වන ලද එම සම්මේනයේ මහ සමුළුවේදී ඔහු විසින් විශේෂ දේශනයක් ද පවත්වන ලදී. ඉන් පසුව රෙජියෝ කලාබ්‍රියා නගරයේ පවත්වන ලද විශේෂ සමුළු කිහිපයකට ද ඔහු සහභාගී විය.

‘ද කෲඩ්ස්’ සැවෝයිහී

ඩ්‍රීම් වර්ක්ස් ඇනිිමේෂන් මගින් නිෂ්පාදිත විනෝදාත්මක ත්‍රිමාන චිත්‍රපටයක් වන ද කෲඩ්ස් පසුගියදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සැවෝයි ත්‍රීඩී සිනමා ශාලාවේදී තිරගතවීම ඇරැඹිණ.

පූර්ව ෙඓතිහාසික යුගයේ සිද්ධීන් මාලාවක් වටා ගෙතුණ මෙය කර්ක් ඩෙමිකෝ සහ ක්‍රිස් කැන්ඩර්ස්ගේ අධ්‍යක්ෂණයකි.

ද කෲඩ්සක් ක්‍රිස්ටින් බෙල්සන් සහ ජේන් හාට්වෙල්ගේ නිෂ්පාදනයකි.

සුනන්ද මහේන්ද්‍රගේ ‘සොක්‍රටීස්’ නැවතත් අද


පූජිත ද මැල් නව නිෂ්පාදනය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංග කලාව අධ්‍යයනය කරනු ලබන විද්‍යාර්ථීන් විසින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස් නාට්‍ය නව නිෂ්පාදනයක් ලෙස (04) අද දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී රංගගත කරනු ලබයි.

නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය කාර්යයක් වශයෙන් නිර්මාණය වූ සොක්‍රටීස් පර්යේෂණාත්මක නව නිෂ්පාදන ක්ෂේත්‍ර විශේෂී රංග කලා භාවිතාවෙන් ආභාශය ලද්දකි.

ලලිත කලා අධ්‍යන අංශයේ විද්‍යාර්ථීන් හා ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම දායකත්වයෙන් ප්‍රථම වතාවට නාට්‍ය සඳහා ප්‍රවේශ වෙමින් ඉදිරිපත් කරන සොක්‍රටීස් නව නිෂ්පාදනය පූජිත ද මැල්ගේ අධ්‍යක්ෂණයකි.