වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




පටාචාරා අත හැරියා - සේපාලි අමතක කළා

පටාචාරා අත හැරියා - සේපාලි අමතක කළා

ඕලු නෙළුම් නෙරිය රඟාලා

කිකිණි හඬන වලා නගාලා

ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ

මගේ කුඩා ඔරුව හබල්ගා

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ

1956 වසර අවසානයේ ඇසුණු මේ ගීතය රැගත් රේඛාව චිත්‍රපටයේ එම රූපමය ජවනිකා පෙළ මැවූ කඩවසම් රංගන ශිල්පියා ඊට තම උපරිම රංගන දායකත්වය ලබා දුන්නේය. එබැවින් ඔහු අමතක වන්නට කාලයක් නැත. ඔහු හමුවීම පිණිස මා ඉකුත් සති අන්තයේ අංක 25/1, විහාර මාවත, කොලොන්නාව යන ලිපිනය සොයා ගියේ 011-2330088 අංකය දරන දුරකථනයට පෙර දැනුම්දීමකින් ඉක්බිතිවය. එහිදී හමු වුණු ඔහු නමින් කවරකුවත් නොව ආනන්ද වීරකෝන්ය.

ආනන්ද වීරකෝන්ගෙන් දැනගත් පූර්ව තොරතුරු අනුව ඔහු ඉපිද ඇත්තේ 1934 සැප්තැම්බර් 20 වෙනි දින වැල්ලම්පිටියේදීය. නැගණියන් සිව් දෙනකුත්, එක් වැඩිමහල් සොහොයුරියකුත් පිරිවැරූ පවුලක එකම පිරිමි දරුවා ඔහුය. මවුපිය දෙපළ දොන් විලියම් වීරකෝන් හා අමරාවතී කලන්සූරිය වෙති. අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. 1974 බී. ඒ. උපාධිය සමත් ඔහුගේ දැනුදු ප්‍රියතම විනෝදාංශය විශ්ව සාහිත්‍ය කෘතීන් පරිශීලනයයි.

* ඔබේ පාසැල් සමය සමඟ බැඳුණු රසවත් වගතුග ටිකක් විමසා බලමුද?

කලා කටයුතුවලට සිත නතු වූයේ පුංචි සන්ධියේමයි. ශේෂා පලිහක්කාරගෙන් නර්තනය හැදෑරුවේ එහි ප්‍රාරම්භයක් හැටියට. පනීභාරත ගුරුතුමාත් ස්වල්ප කාලයක් ඇසුරු කළා. හේවුඩ් ආයතනයට ඇතුළු වුණේ නර්තනය සඳහාමයි. 1953 ලංකාවට සැපත් බ්‍රිතාන්‍යයේ මහා රැජින වෙනුවෙන් කොළඹ රීගල් ශාලාවේ ශේෂා පලිහක්කාර හා ටයිටස් තොටවත්ත සමඟින් මම රැඟුමක් පෑම ජීවිතයේ සදා අමරණීය සිහිවටනයක්. ආනන්ද විද්‍යාලය සැණකෙළියක් දා සංවිධානය කළ විජය – කුවේණි තේරීමේ තරගයකදී මම විජය කුමරු ලෙස තෝරා ගැනීම තවත් අමතක නොවන සිද්ධියක්. මේ තරගයෙන් කුවේණිය වූයේ ලීලා ද සිල්වා නම් ගැහැනු ළමයෙක්.

* ඔබට සිනමා රංගනයට පිවිසීමට ද්වාරය විවෘත වූයේ කෙසේද?

විජය කුමරු ලෙස පාසැලේ අභිෂේක ලැබූ ඡායාරූප, පුවත්පත්වල පළ කෙරුවා. මෙය දුටු අසෝක මුවිටෝන් සමාගමේ නිෂ්පාදකවරු මා සොයා පැමිණියේ ඔවුන්ගේ චිත්‍රපටයට මා සම්බන්ධ කර ගන්න. මම කැමැත්ත දුන්නා. සිරිසේන විමලවීර චිත්‍රපටයේ හැරී නම් සෙල්ලක්කාර තරුණයාගේ චරිතය මට ලබා දුන්නේ ඒ අනුවයි. ඔහු මේ උප ප්‍රධාන චරිතය සඳහා මුලින් සිතාගෙන සිට ඇත්තේ සේනාධීර කුරුප්පු.

* ඔබේ මුල්ම චිත්‍රපටය ගැන තව පැහැදිලි කිරීමක් කරන්න බැරිද?

විමලවීර මාස්ටර් තමන්ගෙන් පිට නිෂ්පාදන සමාගමකට නිර්මාණය කර දුන් එකම චිත්‍රපටය අසෝකා පමණයි. නිළියක් පාපැදියක් පදින ජවනිකාවක් පළමු වතාවට සිංහල තිරයට ගෙනාවේ ඔහු. මේ ජවනිකාව ගීතවත් කරන පෙම් සුවඳයි මංගල සිරිදෙයි ගීතය ගයමින් මා සමඟ රඟපෑවේ ප්‍රේම කාන්ති. අසෝකා කතාව සීපා නම් හින්දි චිත්‍රපටයක අනුකරණයක්ලු. නමුත් මේ චිත්‍රපටය මම බලා නැහැ.

* අසෝකා සමඟ ඇරඹෙන ඔබේ සිනමා රංගනයේ ගමන් මඟ මතකද?

1955 වසරේම තිරගත සිරිසේන විමලවීරගේ පොඩි පුතා මගේ දෙවන චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය හිමි වුණෙත් මට. තිරයේ පෙම්වතිය පුෂ්පා ජෙනට්. මේ චිත්‍රපටය මුල් වතාවට දේශීය සිනමා උළෙලකදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීම විශේෂ සිද්ධියක්. අසෝකා චිත්‍රපටයේ සියලුම ගීත ජනප්‍රිය වුණත් පොඩි පුතාගෙන් මතකයේ නිධන්ගත වූයේ කිරි මුහුද කැලැඹීලා හා මේ ලෝක නවාතැනවේ ගීත දෙක පමණයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව සිංහල සිනමාවේ නව මාවතක් විවෘත කළ සිනමා නිර්මාණයක්. 1956 ප්‍රදර්ශිත මෙය ජාත්‍යන්තර සිනමා උත්සව කිහිපයක්ම නියෝජනය කළා. මෙහි ආ නිමල් නම් උප ප්‍රධාන චරිතය හිමි වෙලා තිබුණේ ශේෂා පලිහක්කාරට. පසුව මා හට පැවරුවත් චරිතය ජවනිකා තුනකට සීමා වුණා. ඇලරික් පෙරේරා එක්ක කරපු සටන් ජවනිකාව චිත්‍රපටයෙන් දුටුවේ නැහැ. රේඛාව චිත්‍රපටයේ මගේ තිරයේ පෙම්වතිය මල්ලිකා පිලපිටිය කාලයක් දෙහිවල කඳු වීදියේ පදිංචිව සිටි යුවතියක්.

විමලනාත් දිසානායකගේ පටාචාරා නම් ඉතාමත් මන්දගාමීව නිමැවුණු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අයත් දර්ශන කිහිපයක මම පෙනී සිටියා. හදිසියේ වෙනත් චිත්‍රපටයක රංගන දායකත්වය සඳහා ඉන්දියාවට යාමට සිදුවීම නිසා මා වෙනුවට එම චරිතය ආනන්ද ජයරත්නට පැවරුවා. ඒ ගත් ක්‍රියා මාර්ගය නිවැරදියි. මම මදුරාසියේ තරාෂු චිත්‍රාගාරයේ ශාන්ති කුමාර්ගේ ජීවිත සටන චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය සීතා ජයවර්ධන සමඟ නිරූපණය කළා.

ජීවිත සටන රූපගත කරන කාලයේම දකුණු ඉන්දීය නිෂ්පාදකවරයකු වූ ආර්. සිවසාමි සුකුමලී නමින් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සැලසුම් සම්පාදනය කෙරුවා. අධ්‍යක්ෂවරයා එම්. මස්තාන්. ඔවුන් එයට මාවත් සම්බන්ධ කර ගත්තා. රීටා රත්නායක, අයේෂා වීරකෝන්, ලැඩී රණසිංහ, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සෙසු චරිත හිමි කර ගත් එහි මගේ චරිතය තුළදී වලහෙක් හා සටනක් කළා. වාහිනි චිත්‍රාගාරයේ රූපගත කළ මෙය බිහිසුණු වුවත් දොරේසිංහම් යටතේ මල්ලව පොර ප්‍රගුණ කොට සිටි නිසා අසීරුතාවක් දැනුණේ නැහැ. ඔය කාල වකවානුවේම ඩබ්ලිව්. එම්. එස්. තම්පෝගේ සේපාලි චිත්‍රපටයේ පුහුණුවීම් කටයුතුවලටත් චිත්‍රාගාරය තුළදී සහභාගි වුණා. පුහුණුවීම් කටයුතු භාරව සිටියේ මාක් සමරනායක. නමුත් පසුව මට භාර දුන් චරිතයට ස්ටැන්ලි පෙරේරා තෝරා ගත් හේතුව මම නිශ්චිතව දන්නේ නැහැ.

ඉන්දියාවේ සිට ආපසු ලංකාවට ආ හැටියේම විමලවීර මාස්ටර්ගේ මා ආලය කළ තරුණිය චිත්‍රපටයේ ජයසේන චරිතයට ජීවය දෙන්න ආරාධනය ලැබුණා. තුන්කොන් ප්‍රේම කතාවක් වටා ගෙතුණු එහි පෙම්වතිය කුමාරි මානෙල්. ඇය හා මා දෙවන වර ආදරවන්තයින් කළ චිත්‍රපටය වනමල. 1960 ප්‍රදර්ශිත එය මගේත්, විමලවීර මාස්ටර්ගෙත් අවසාන චිත්‍රපටයයි. මේ චිත්‍රපටය මට නරඹන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

* වනමල චිත්‍රපටයෙන් ඔබ අපට ඒත්තූ ගන්වන්න උත්සාහ දරන්නේ කුමක්ද?

1960 වසරේ මම විදේශගත වෙනවා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි රක්ෂණ සමාගමක වසර 29 පමණ සේවය කළ මගේ විවාහය පවා සිදු වූයේත් ඒ රටේ. ඇය එහි රෝහලක සේවය කළ සිංහල හෙදියක්. ඇය චංගුමී වගේ කාරුණික තැනැත්තියක් කිව්වොත් මගේ හෘද සාක්ෂියට එකඟයි. නම ජානකී ජයකොඩි. දැන් වීරකෝන්. තවත් පැහැදිලි කරනවා නම් පසුගිය පෙබරවාරි 02 වැනිදා අභාවප්‍රාප්ත පටාචාරා නිෂ්පාදක නාරද ජයකොඩිගේ නැඟණිය. අපේ දරුවන් දෙදෙනාම පදිංචිය මෙරටින් එතෙර. ලොකු පුතා රේණුක ඇමෙරිකාවේ. නාලක පුතා ලන්ඩනයේ.

* ඔබට පිටරටදී කලා කටයුතුවල නිරතවීමට ලැබුණේ නැද්ද?

ජී. ඩී. එල්. පෙරේරා හා ගීතාංජලී පෙරේරා පදිංචිව සිටියෙත් ලන්ඩන් නුවර. ඔවුන් එහිදී නිර්මාණ කිහිපයක් කළා. ඉන් රටගිය ඇත්තෝ ටෙලි වෘත්තාන්තයේ මම රඟපෑවේ ආශාවට.

* රංගනය සඳහා නිෂ්පාදකවරු ගෙවූ මුදල් පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද?

විමලවීර මාස්ටර් සැබෑ ශ්‍රී ලාංකේය සිනමාවක් ගොඩ නඟන්න දුක් කන්දරාවක් විඳි සිනමාකරුවෙක් මිස ව්‍යාපාරිකයකු නොවෙයි. මට වැඩි කොට රංගනයේ යෙදෙන්න ලැබුණේ ඔහු යටතේ. ඔහු ගෙවූ මුදල් අඩු හෝ වැඩි යැයි මම තක්සේරු කරන්නේ නැහැ. රේඛාව නිෂ්පාදනය කළේ නවක සමාගමක්. ඔවුන් නළු නිළියන්ට තීරණය කොට තිබුණු ගෙවීමත් සාධාරණයි. ජීවිත සටන චිත්‍රපටයෙන් මට පොරාන්දු මුදල ලැබුණේ නැහැ. සුකුමලී නිෂ්පාදක පොරොන්දු මුදල පොරොන්දු දිනට ගෙවා නිම කළා.

* ඔබ යළිත් රංගනයට යොමුවෙන්න අදහසක් නැද්ද?

1989 නැවත ලංකාවට ආවට පස්සේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සැලසුම් කෙරුවා. මගේ කතා සංකල්පනාවක් අනුව දෙබස් හා තිර නාටකය ලිවීමට නළුවකුට භාර දුන්නා. මිනිහා තමන් රඟපාන චරිතය ඉස්මතු වන අයුරින් කතාව ගොඩ නැගුව නිසා ඊට මම එකඟ වුණේ නැහැ. ඔය මතභේදය මුල් කොට ගෙන චිත්‍රපටය උපන් ගෙයිම මිය ගියා. ළඟදී සිට මට සිතිලා තිබෙනවා කොලුම්බු නමැති අමෙරිකානු රූපවාහිනී කතා මාලාව සිංහලෙන් නිර්මාණය කරන්න. ධනපති සමාජය තුළ සිදු වෙන අබිරහස් ඝාතන වටා ගෙතුණු එහි එන රහස් පරීක්ෂකවරයාගේ භූමිකාව මට යළි රංගන චාරිකාව අරඹන්න පිටු වහලක් විය හැකියි.

* ඔබ වර්තමාන ජීවිතය ගෙවන්නේ පූර්ණ විවේකයෙන්ද?

එහෙම පවසනන් අපහසුයි. මම වෘත්තියෙන් රක්ෂණ උපදේශකවරයෙක්. ජාන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගේ. ඉකුත් වසරේ වාරියපොළ ජානකී ඇපරල්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් ඇරැඹුවා. මේවායේ වැඩවල නියැළුණාම විවේකය සීමාසහිතයි.