වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




හිරේ ගිය දත් සමඟ ලෙඩ වැටුණ තරු

හිරේ ගිය දත් සමඟ ලෙඩ වැටුණ තරු

පොලීසිය මේ දිනවල සංජේ දත්ගේ ජීවිතයේ සෙවණැල්ල බවට පත් වී ඇත. ඔහුගේ සැබෑ ජීවිතයට පොලීසිය නිසා විලංගු වැටී ඇති අතර ඔහු මේ දිනවල රඟන්නේ ද ‘පොලිස් ගර්ල්’ නම් සිනමාපටයේයි.

හිරයට නියම වුණු සංජේ කඳුළු කඩා වැටෙන පුවත්පත් සාකච්ඡාවකින් පසු කෙළින්ම ගොස් ඇත්තේ කමිලිස්තාන් චිත්‍රාගාරයටයි. ඒ ‘පොලිස්ගර්ල්’ රූගත කිරීම සඳහායි.

රූගත කිරීම් අතරතුරේදී ඔහු ඉතා සන්සුන්ව සහ නිර්භීත ලෙස රූගත කිරීම්වල යෙදී තිබේ. එහෙත් කාර්ය මණ්ඩලයේ සමහරු සංජේට ද වඩා සංවේදී වී ඇත. ඔහු සැබෑ වෘත්තීය නළුවකු බව නොසැලී රංගනයේ යෙදීමෙන් පෙන්වා දීම නිසා සංවේදී බව තවත් වැඩි වී තිබේ.

මුළු ‘පොලිස්ගර්ල්’ සිනමා කණ්ඩායම නළුවාට සහයෝගය දැක්වීම සඳහා අතෙහි සුදු පටි පැළැඳගෙන සිටියහ. සිනමාපටයේ නිෂ්පාදකයා කියා සිටියේ සියලු දෙනාම සංජේගේ පැත්ත ගන්නා බවයි.

‘ඔහු මේ වාගේ කටුක කාලයක දර්ශන තලයේ සැබෑ වෘත්තීය නළුවකු ලෙස රංගනයේ යෙදීම අප සියලු දෙනාගේම මවිතයට හා සංජු පිළිබඳ ඇල්ම වැඩි කරන කාරණයක් වුණා’ ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සති තුනකදී තමන් භාරගත් සිනමාපටවල රූගත කිරීම් සියල්ල අවසන් කිරීමට සංජේ බලාපොරොත්තු වන්නේය. තමන් නිසා කිසිදු සිනමාපටයකට පාඩුවක්, කරදරයක් සිදුවෙනවාට ඔහු අකැමැතිය.

‘පොලිස්ගර්ල්’ රූගත කිරීම් අවසන් වූ පසු ඔහු කෙළින්ම ‘සංජීර්’ හඬ කැවීමට සහභාගිවේ. සංජු, ප්‍රියංකා චොප්රා සමඟ දින 3 – 5 ක රූගත කිරීමකට සහභාගිවීමට ද නියමිතය.

එහෙත් ප්‍රියංකා ඇයගේ දෙවැනි ගීතමය ඇල්බමය රූගත කිරීම සඳහා මියාමි ගොස් ඇති නිසා ඇය එනතුරු බලා සිටීමට ඔහුට සිදුවේ.

ප්‍රතිනිර්මාණය වන ‘සංජීර්’හි සංජේ රඟන්නේ ශේර් ඛාන්ගේ චරිතයයි. සිනමාපටය බොහෝ දුරට රූගතකර අවසන් අතර, තවත් රූගත කිරීමට ඇත්තේ කොටස් කිහිපයක් පමණි.

සංජු රඟන ධර්ම නිෂ්පාදනයක් වන ‘උන්ග්ලි’ තවමත් ඇත්තේ පූර්ව නිෂ්පාදන අවස්ථාවේය. එනිසා සංජේ දත් වෙනුවට වෙනත් නළුවකු යොදා ගැනීම පහසුවෙන්ම කළ හැකියි. එහෙත් සංජු නැතිව මුන්නාබායි සිනමාපට මාලාවක් ගැන නම් සිතීමට නොහැකි වනු ඇත.

පස් වසරක සිර දඬුවමකට නියම වී සිටින සංජේ දත් දැනටමත් ඉන් මාස දහ අටක් හිරේ ගතකර අවසන්ය. පුවත්පත් සාකච්ඡාවේදී සංජු කියා සිටියේ තමන් සමාව ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් නොකරන බවයි.

තිරයේ වීරයන් නීතිය ඉදිරියේ වරදකරුවන් වීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී අවසන්ය. සංජේ දත්ට පසු ඊළඟ ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටින්නේ සල්මන් ඛාන්ය. 1998 දී සංරක්ෂිත මුවන් විශේෂයක් දඩයම් කළ වරදට ඔහු 1998 වසරේ සිටම වරදකරුවෙකි. ‘හම් සාත් සාත් හෛ්’ රූගත කරන අතරතුර දඩයමේ ගිය සල්මන් මේ සත්ත්ව ඝාතනය සිදු කරන ලදී. 2013 අප්‍රේල්් 27 වැනිදා ඔහු කළ බරපතළ වරදට නීතියේ තීන්දුව ලැබෙනු ඇත.

ෂාරුක් ඛාන් මහත්මා ගතිවලින් පොහොසත් නළුවකු වුවත්, නීතියෙන් ඔහුටත් ගැලවීමක් නැත. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග පැවැත්වෙද්දී බීමත්ව මුරකරුවකුට නොමනා අන්දමින් බැණ වැදීම නිසා ඔහුට වන්ඛේ ඩේ ක්‍රීඩාංගනයට පිවිසීම මූම්බායි ක්‍රිකට් සංගමය විසින් පස් වසරකට තහනම්කර තිබේ.

සායිෆ් අලිඛාන්, සල්මන් සමඟ මුව දඩයමේ යාම නිසා සහ මූම්බායි තජ් හෝටලයේදී උසස් නිලධාරියකු සමඟ දබරකර ගැනීම නිසා නීතිමය අර්බුදයකට මුහුණ පා සිටියි.

රාජේශ් ඛන්නාට මාරයාගෙන් වගේම නීතියෙන් ද ගැලවීමක් නැත. ඔහු මිය යාමට දිනකට පෙර රාජේශ් සමඟ අට වසරක පෙම් සබඳතාවක් පැවැත් වූ බව පවසන අනිතා අද්වානි, ආශිර්වාද් නිවෙසේ අයිතිය ඉල්ලා නඩුවක් දැම්මාය.

අමිතාබ් බච්චන්ට ගැලවීමක් නැත්තේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙනි. 2001 – 2002 කාලයේදී ඔහු ‘කෝන් බනේගා කරෝර්පති’ වැඩසටහනින් ඉපයූ මුදලින් රුපියල් කෝටි 1.66 ක ආදායමක් තවමත් ගෙවීමට නියමිතය.

නීතියට මැදි වූ තරු අතර සිටින තාරකාවක් වන්නේ සුෂ්මිතා සෙන්ය. විවාහයට පෙර පවත්වන සබඳතා ගැන කළ ප්‍රකාශයක් නිසා ඇය නීතිය ඉදිරියේ වරදකාරියක් වී තිබේ.


මනීෂා නැතිව මාර්කට් නැහැ

හිතේ ඇඳුණු තාරකාව නැතිව තම සිනමා නිර්මාණය ගැන සිතීමට අධ්‍යක්ෂවරයකුට පුළුවන් ද? අධ්‍යක්ෂ ජේ. ප්‍රකාශ්ගේ ඒකායන තෝරා ගැනීම මනීෂා කොයිරාලයි.

තම නවතම නිර්මාණය වන ‘මාර්කට් 2’ සඳහා ඔහු තෝරා ගෙන සිටින්නේ ඇයයි. ‘මාර්කට්’ පළමු සිනමාපටය තිරගත වූයේ 2003 දීයි. සැමියා විසින් බිරිය ගණිකා නිවාසයකට විකුණන අනුවේදනීය කතා පුවතට ද පණ දුන්නේ මනීෂාය. ඇය ප්‍රකාශ්ගේ ‘චාහත් – ඒක් නෂා’ සිනමාපටයේ ද ප්‍රධාන තාරකාවයි.

මනීෂා නැති ‘මාර්කට් 2’ දෙවැන්නක් ප්‍රකාශ්ට නැත. එහෙත් ඔහුට ඇය එනතුරු තව සිව් මසක් පමණ බලා සිටීමට සිදුවේ. ඩිම්බ කෝෂ පිළිකාවට කිමොතෙරපි ප්‍රතිකාර ලබා ගන්නා නිසා ඇය දැන් නතර වී සිටින්නේ නිව්යෝර්ක් නුවරයි. මනීෂා යළි මූම්බායි පැමිණෙන්නේ ජූලි මාසයේදීයි.