වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සිනමා සම්මාන උලෙළ විනිසුරු මඬුල්ල 2016/ 2017

සරසවිය සිනමා සම්මාන උලෙළ විනිසුරු මඬුල්ල 2016/ 2017

සභාපති - ගාමිණී වේරගම

ප්‍රවීණ සිනමා විචාරකයකු ලෙස නම් දරා සිටින ගාමිණී වේරගම කලක් චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීධුරය දැරුවේය. සිංහල විශ්ව කෝෂයේ හිටපු නියෝජ්‍ය කර්තෘවරයා වන ඔහු දේශීය සිනමා වංශය ඇතුළු ග්‍රන්ථ රැසක කතුවරයා ද වෙයි. සිංහල සිනමා සාහිත්‍යයට ඔහු කළ මෙහෙය වෙනුවෙන් 2015 වසරේ සරසවිය සිනමා සම්මාන උලෙළේ දී රණපාල බෝධිනාගොඩ සම්මානයෙන් පිදුම් ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හැදෑරූ දැනුම තම සරසවියේ මෙන්ම කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල සිනමාව හදාරන සිසු සිසුවියන් හට බෙදා දෙමින් බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.


රෝහණ වෙත්තසිංහ

සිනමා විචාරකයකු හා තිර රචකයකු ලෙස 70 දශකය ආරම්භයේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි රෝහණ වෙත්තසිංහ සිනමා පුවත් පත් කලාවේදියකු මෙන්ම සිළුමිණ පුවත්පතේ රසඳුන කලා අතිරේකයේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් ද කටයුතු කළේය. මෙරට මුල්වරට මුද්‍රණද්වාරයෙන් එළිදැක්වූ සතර දිගන්තේ තිර නාටකයේ රචකයා වූ ඔහු අප්පච්චිගේ සිනමාව නම් වූ පොත් පිංචේ කතුවරයා ද වෙයි.


බුද්ධදාස ගලප්පත්ති

ප්‍රවීණ සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, මෙන්ම නවකථා හා කෙටිකථා රචකයකු ද වන බුද්ධදාස ගලප්පත්ති වඩාත් පතළව ඇත්තේ කිවිවරයකු ලෙසිනි. වේදිකා නාට්‍ය වේශනිරූපණ ශිල්පියකු මෙන්ම තීරු ලිපි රචනයේ සහ ගීත රචනයේ යෙදෙන හිටපු විධායක පරිපාලකවරයකු වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරයි.


සමන්තිකා ප්‍රියදර්ශනී

කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ සිනමා විෂයය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ඇය ඉන්දියාවේ පූනෛ සිනමා ආයතනයෙන් සිනමා විෂය පිළිබඳව හදාරා ඇති අතර සිනමා විචාරිකාවක ද වේ.


වසන්ත කොටුවැල්ල

සිනමා හා ටෙලි නාට්‍ය රූපණවේදියකු මෙන්ම චිත්‍රපට සංස්කරණ ශිල්පියකු ලෙසද කටයුතු කර ඇති වසන්ත කොටුවැල්ල රජයේ චිත්‍රපට අංශයේ හිටපු නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වෙයි. සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ වර්තමාන අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.


තිලකරත්න කුරුවිට බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, කලා විචාරකයකු, ප්‍රවීණ සාහිත්‍යධරයකු මෙන්ම ගේය පද රචකයකු වන තිලකරත්න කුරුවිටබණ්ඩාර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේඋපදේශකවරයකු ලෙසද සේවය කරයි. ඔහු සිළුමිණ සහ සරසවිය පුවත්පත්වල හිටපු කතුවරයකු මෙන්ම උපදේශක කර්තෘධුර දරා ඇත.


අරුණ ලොකුලියන

කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවෙදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන ඔහු වර්තමානයේ එහි අංශාධිපතිවරයාද වෙයි. අනතර්ජාතික අවධානයට ලක් වූ කෙටි චිත්‍රපට නිර්මාණ කරුවකු වන අරුණ ලොකුලියන ඊශ්වර විංශතිය ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයාය. සිනමා කලා විචාරකයකු වන ඔහු ජනාධිපති, සරසවි, සිග්නිස් වැනි සිනමා සම්මාන රැසක විනිසුරු මඬුලු සාමාජිකත්වය දරා ඇත.