වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




යක්ෂාදේශය වැඩ ඇරැඹෙයි

යක්ෂාදේශය වැඩ ඇරැඹෙයි

විජය කුවේණි සහ අපේ කාලයේ පටාචාරා තිරයට ගෙන ආ සිනමා අධ්‍යක්ෂ සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කිරීමට නියමිත නවතම චිත්‍රපටය වූ යක්ෂාදේශය හි මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. බුද්ධදාස විතානආරච්චි, ජීවන් කුමාරතුංග, රොජර් සෙනෙවිරත්න, ක්ලීටස් මෙන්ඩිස්, අනුර ධර්මසිරිවර්ධන, දර්ශන් ධර්මරාජ්, සුගත් විජේසේකර, සරත් දික්කුඹුර, රින්ස්ලි වීරරත්න, කුමාර වඳුරැස්ස, කපිල සිගේරා, කුමාර රණපුර, සඳුන් විජේසිරි, මොන්ටිගු සරච්චන්ද්‍ර, අතුල සමරවීර, නෝබට් පෙරේරා, රංග බුද්ධ, චන්දු ඉඹුලාන, නලීන් ගුරුගේ, සුගත් ජානක, බර්ටි පෙරේරා, ප්‍රසන්න මුහන්දිරම් මෙහි චරිත මවති. කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්ත සහ ගාමිණී ප්‍රනාන්දුගෙනි. කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය උපුල් කුමාර උපනන්ද සිදු කරයි. ශාන් ගුණවර්ධනගේ සංගීත අධ්‍යක්ෂණයකි. සංජය සමරකෝන් නිශ්චල ඡායාරූපකාරණයෙන් එක් වෙති.


තුන් දෙනෙක් ලොව වටා යයි

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සමඟ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ තුන් දෙනෙක් සිනමාපටයේ යුරෝපීය මංගල දැක්ම මෙම මස පළමුවැනිදායින් ඇරැඹි ස්විස්ටර්ලන්තයේ ලොකර්නෝ චිත්‍රපට උලෙළේදී පැවැත්විණි. මෙහි ඔස්ට්‍රේලියානු මංගල දැක්ම මෙම මස 11 වැනිදායින් ඇරැඹෙන මෙල්බර්න් ඉන්දියානු සිනමා උලෙළේදී පැවැත්වෙනු ඇත. ඈ ඔහු සහ අනෙකා නමින් වූ කොටස් තුනකින් යුතු මෙම සිනමා නිර්මාණය මාලා සිනමා ආකෘතියෙන් නිම වූවකි. අපේ සිනමා වංශ කතාවේ අධ්‍යක්ෂවරුන් තිදෙනකු එකම සිනමාපටයක් වෙනුවෙන් එකතු වූ මුල් අවස්ථාව වන්නේ මෙයයි. පශ්චාත් යුද සමයේ අත්දැකීම් ත්‍රිත්වයක් මෙම චිත්‍රපටය සඳහා කේන්ද්‍ර වී තිබේ.

ප්‍රසන්න, විමුක්ති සහ හඳගම තිර රචනා කළ මෙම චිත්‍රපටයේ කැමරාකරණය එම්. ඩී. මහින්දපාල, ඊශිට් නරේන් සහ චන්න දේශප්‍රියගෙනි. සංස්කරණය ශීකර් ප්‍රසාද්, සමන් ඇල්විටිගල සහ රවීන්ද්‍ර ගුරුගේ විසිනි. කේශවරාජන්, නිපුනි ශාරදා, ප්‍රදීප් රාමවික්‍රම, දර්ශන විද්‍යා අරවින්ද, ජුලියන් කෞශල්‍යා මෙන්ඩිස්, ෂර්ලි යස්වින් රවිශකර්, එම්. සෆීර්, එම්. රජේශ්වරී, ෂර්ලිජා ජෙයරාජ්, රොෂාන් පොල්වත්තගේ රංගන දායකත්වය ලබාදෙන තුන් දෙනෙක් ඕනර් ආයතනයේ නිෂ්පාදනයකි.


කාල ගෙදර එයි

සුජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ කාල සිනමාපටය ඩී. වී. ඩී මාධ්‍යයෙන් නිකුත් විය. ඉකුත් වසරේ තිරගත වූ කාල සිනමාපටයේ මහේන්ද්‍ර පෙරේරා, මාදිනි මල්වත්තගේ, ඩබ්ලිව්. ජයසිරි, නීටා ප්‍රනාන්දු, ජගත් මනුවර්ණ, විශ්ව කොඩිකාර, ජනක් ප්‍රේමලාල්, ධර්මප්‍රිය ඩයස් ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

කාල, සුජීව ගුණරත්න, නදිනි බමුණුසිංහ සහ ප්‍රදීප් ලක්ශාන්තිගේ නිෂ්පාදනයකි.


විදෙස් චිත්‍රපටයක් සමඟ කතිකාවතක්

Stina Werenfels අධ්‍යක්ෂණය කළ Dora or the Sexual Neuroses of Our Parents සිනමාපටය මෙම මස 12 වැනිදා එනම් එන ඉරිදා සවස 4 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය වේ. මෙහිදී කෙටි කතිකාවතක් ද පැවැත්වෙනු ඇත. භූපති නලීන් සමග කේ. කේ. සමන් කුමාර එහිදී අදහස් දැක්වීමට නියමිතය.