වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන උලෙළේ රසකතා

සම්මාන උලෙළේ රසකතා

තිස් හතර වැනි සරසවිය සම්මාන උලෙළ ඉකුත් දා නිමාව දුටුවේ සුන්දර සිදුවීම් සාගරයක් මැදය. ඉන් ඇතැම් ඒවා කියන්නටත් බැරි තරම් සුමිහිරිය. එහෙයින් එම සිදුවීම් පිළිබඳ නොකියා ඉන්න එක කාගේ කාගෙත් ඇඟට ගුණය. සරසවිය සම්මාන උලෙළේ විචිත්‍රත්වය ගැන බොහෝ දෙනෙකු විවිධ මාධ්‍යයන් ඔස්සේ අදහස් පළ කොට තිබුණි. ඒ ආකර්ෂණීය බව තිරය ඉදිරියට ගෙන එන්නට තිරය පිටුපස සිට මහඟු මෙහෙවරක් ඉටු කළ පිරිසක් සිටින්නේය. ඔවුනට ද මේ මොහොතේ ආචාරය පුද කරන්නට කැමතිය. එලෙස තිරය පිටුපස සිට කරක් ගසද්දී අපූරු සිදුවීම් කිහිපයක් නෙත ගැටිණ. ඉන් එක තැනක දිලීප අබේසේකර සිටින්නේය. උලෙළේ පිටපත ඔහුගේය. පෙර පුහුණුවීමකදී දිලීපට එහි සටහනක් දැමීමට අවශ්‍ය විය.

පෑනක් නැති ලේඛකයෙක් පෑන කෝ...?

ඇඟලා සිටි වස්ත්‍රයේ සාක්කු හතර පහකටම අත දැමූ දිලීපට එහෙම කියැවුණේ ඉබේටමය. පිටපත අතැතිව සිටිය උලෙළේ නිවේදන කටයුත්ත භාරව සිටින සමන් ආතවුදහෙට්ටි එකවරම තම සාක්කුවේ තිබූ පෑනක් ගෙනහැර පෑවේය. 'ලේඛකයා ළඟ පෑනක් නැත. නිවේදකයා ළඟ පෑනක් ඇත' සමන් කටේ තොලේ නොගෑවි කීවේය.


මහත්මිය මෙනවියක් වෙයි

සරසවියේ මුල් පුටුව හෙබ වූ එකම කාන්තාව ලෙස ඉතිහාසගත වූ දීප්ති ෆොන්සේකා මෙනවියක ලෙස හැඳින් වී තිබුණේ පිටපතේය. උලෙළේ පුහුණුවීම් අතර දීප්ති ෆොන්සේකා මෙනෙවියක කළේ සිතාරා කළුආරච්චිය.

සාමාන්‍යයෙන් මෙනවියක, මහත්මියක කරන්නේ පිරිමියෙකි. ඒත් මහත්මියක් මෙනවියක් කරන්න කාන්තාවකට පුළුවන.


තාත්තා සහ දියණියගෙන් වාර්තාවක්

පියකු සහ දියණියක සරසවිය ඉතිහාසය අලුත් කළේ මෙවර සරසවිය උලෙළේදීය. අශෝක හඳගම පියාය. සඳලි හඳගම දුවය. දෙදෙනාම උලෙළින් සම්මාන වෙන්කර ගත්තෝය. හඳයා හොඳම අධ්‍යක්ෂ වෙද්දී ඇගේ ඇස අග රංගනය වෙනුවෙන් සඳලි කුසලතා සම්මාන දිනා ගන්නා ලදී.


සැමවිටම තෙවැනි ඇස

මෙවර සම්මාන උලෙළ සමඟින් පි‍්‍රයන්ත කොළඹගේ ගැන එක්තරා රහසක් හෙළි විය. ඒ රහස වැදගත් වන්නේ ක්ෂේත්‍රයේ සිටිනා කැමරා අධ්‍යක්ෂවරුන්ටය. කැමරා අධ්‍යක්ෂවරුනි, ඔබට සම්මානයක් ගන්නට අවශ්‍ය නම් වැඩ කරන්න ප්‍රියන්ත කොළඹගේ සමඟ. එතකොට සම්මානයක් ස්ථිරයි. ප්‍රියන්ත කොළඹගේ සමඟ නිර්මාණවලට දායක වූ කැමරා ශිල්පීන් සියලු දෙනාම පාහේ සම්මානනීය විය. විමුක්ති, දැහැන සහ අරුමෝසම් වැහි කියන ප්‍රියන්තගේ පළමු චිත්‍රපට ත්‍රිත්වයේම කැමරා අධ්‍යක්ෂණය කළ සුමින්ද වීරසිංහට සරසවිය සහ ජනාධිපති සම්මාන හිමි විය. ආදරණීය කතාවක් හි රුවන් කොස්තා සම්මාන ලැබුවේය. දේදුනු ආකාසේ කැමරා අධ්‍යක්ෂණය කළ රංග එස්. බණ්ඩාරට මෙවර සරසවිය කුසලතා සම්මානයක් හිමි විය.


ගෙදර මංගල්‍යයට පෙර දේශයේ කලා මංගල්‍යයට

සිනමාවේ මහා කලා මංගල්‍යට තම නිවසේ මංගල්‍යක් තියාගෙන පැමිණි අයෙකි. ඔහු වෙනින් කවුරුවත් නොව සරසවිය සම්මානලාභී රංගධර රවීන්ද්‍ර රන්දෙණියයි. ඔහුගේ ආදරණීය පුතු වූ සමීරගේ විවාහ මංගල්‍යය යෙදී තිබුණේ සරසවිය සම්මාන රාත්‍රියට පහුවෙනිදාය. නිවසේ දාහකුත් වැඩ කටයුතු මැද රවී සිනමාවේ මහා කලා මංගල්‍යට සපැමිණියේ එය ද තම ජීවිතයේ උතුම් කාර්යයක් කොට සලකමිනි.