වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




අනාගත සිනමාව වෙනස් මඟක

අනාගත සිනමාව වෙනස් මඟක

2016 හොඳම චිත්‍රපටය තැනූ ශමීර රංගන නාඔටුන්න

චිත්‍රපටයක් හැදුවට පස්සේ එය හොඳ වුණොත් සම්මාන ලැබීම දෙවැනි දෙයක්. එනිසා සම්මාන බලාගෙන නිර්මාණ කළාට සාර්ථක වෙයි කියලා හිතන්න බෑ. හොඳ දෙයක් කළොත් එයට ප්‍රතිචාර හොඳ වෙයි. අපි වර්තමානේ දැක්කා සිනමා කරුවන් කොතරම් සමාජය ඉදිරියේ හැල්ලු වුණාද? අන්තර්ජාතික සිනමා උලෙළ පවා කොතරම් බාල්දු වුණාද? ඒ නිසා හොඳ වැඩක් කරන්න, අප පස්සේ සම්මාන එයි.

මෝටර් බයිසිකල් චිත්‍රපටය මෙවර සරසවිය සිනමා සම්මාන උලෙළේ 2016 වර්ෂය සඳහා ඉදිරිපත් වූ තරග අංශය සඳහා සම්මාන 7ක් දිනා ගැනීමට සමත් විය. එහි අධ්‍යක්ෂ ශමීර නාඔටුන්න සමඟ ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ මෙසේ කතාබහ කළෙමු.

මොකද හිතෙන්නේ සම්මාන රැසක් ලැබීම ගැන?

චිත්‍රපටයක් කරනවා කියන එක ඇත්තටම අපි වගේ තරුණ කට්ටියට අභියෝගයක්. කළත් එය රිලීස් කරන එක ඊට වඩා ගැටලුවක් සහ අභියෝගයක්. එවැනි වකවානුවක චිත්‍රපටයක් හදලා, තිරගත කරලා, ජනප්‍රිය ධාරාවේ සම්මානඋලෙළවල සම්මානයට පාත්‍රවෙලා, ජනතාව අතරට යෑම ගැන නිහතමානී සතුටක් තිබෙනවා.

ඔබේ ගමන් මගේ ආරම්භය ගැන ටිකක් මතක් කරමු?

මුලින් ම ළමා රංගන ශිල්පියකු විදිහට වැඩ කළා නිර්මාණ ගණනාවක. ඒ අතර ඉනේකා සත්‍යාංගනී මහත්මියගේ නිර්මාණවල රංගන ශිල්පියකු ලෙස කටයුතු කරන්න අවස්ථාවව ලැබුණා. උසස් පෙළින් පසු මම රූපවාහිනී නාළිකාවකට සම්බන්ධ වනවා වැඩසටහන් සහාය නිෂ්පාදකවරයකු ලෙස, වසර දෙකක්. එතනින් ඉවත් වී දමින්ද මඩවල කියන සහාය අධ්‍යක්ෂවරයා යටතේ සොමරත්න දිසානායක, ප්‍රසන්න විතානගේ, සුනිල් ආරියරත්න, අරුණ ගුණරත්න වැනි නිර්මාණකරුවන් රැසක් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.

මේ අතර තමයි මම කෙටි චිත්‍රපට කරන්න පටන්ගන්නේ. ඒ කාලේ තිස්ස අබේසේකර මහත්මා යටතේ කෙටි චිත්‍රපට රචනය සම්බන්ධ පාඨමාලාවකට සම්බන්ධ වන්න අවස්ථාව ලැබෙනවා. ඒ වැඩමුළුවේ හොඳම කෙටි චිත්‍රපට රචනය ලෙස මගේ තිර රචනය තේරෙනවා. ඒ නිසා කෙටි චිත්‍රපටයක් කරන්න මූල්‍යාධාර ලැබෙනවා. එයින් මම මගේ මුල්ම කෙටි චිත්‍රපටය කරන්නේ. එයට සම්මාන ගණනාවක් හමුවනවා. ලෝකෙ පුරා උලෙළ ගණනාවක් නියෝජනය කරනවා. ඉන් පසුව තමයි මොටර් බයිසිකල් තිරරචනය ලියලා අධ්‍යක්ෂණය කළේ.

මෙහි වස්තුබීජය ඔබට ලැබුණේ කොහොමද?

මේ චිත්‍රපටය ඇතුළේ මගේ පෞද්ගලික අත්දැකීම් කීපයක්ම තිබෙනවා. මම තරුණයෙක් විදිහට හරි ආසයි මෝටර් බයිසිකල්වලට. ඒත් ඒ කාලේ මම ආසා කළ මෝටර් බයිසිකලේ ගන්න මට හැකියාවක් තිබුණේ නෑ. අම්මට මට බයික් එකක් අරන් දෙන්න තරම් වත්කමක් තිබුණෙත් නෑ. තාත්තත් නැතුව අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. පස්සේ මම අම්මාගේ මාලයක් උගස් තියලා රුපියල් 14000කට පරණ එකක් ගත්තා. ඒක මම බලාපොරොත්තු වෙච්ච බයිසිකලේ නෙවෙයි. ස්ටාර්ට් වෙන්නේ නෑ, ලයිට්, සිග්නල් වැඩ කරන්නේ නෑ. මේ අත්දැකිම මට හිතුණා අපේ බොහෝ තරුණයන්ට තිබෙනවා කියලා. ඒ සමඟ තරුණයන්ගේ ආදරය, ඒ සඳහා ඔවුන්ට තිබෙන නිදහස ගැන කතා කළොත් හොඳයි කියලා හිතුණ නිසයි මේ තේමාව ගොඩ නැඟුණේ.

ඒ තරුණයා ලංකාවේ පොදු තරුණයා කියා ඔබ හිතනවාද?

අපේ නාගරික සමාජයේ ජීවත්වන බහුතර තරුණයන්ට මේ අත්දැකීම අඩුවැඩි වශයෙන් තිබෙනවා. මේ කොටුව ඇතුළේ ජීවත් වන අපි කොච්චර උත්සාහ කළත් එයින් පැන ගන්න අවසානයේ සමාජයේම ගොදුරක් බවටම පත්වෙනවා. මේ ව්‍යසනය නිසා බොහෝ දක්ෂ තරුණයින් මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වනවා. ජීවිත විනාශ කර ගන්නවා. එය අද දකින්න ලැබෙන විශාල ඛේදවාචකයක්. මෙය ලංකාවේ පමණක් නොවේ, ලෝකේ පුරාමත් විශේෂයෙන් ආසියාකරයේ බහුතර වශයෙන් මේ අත්දැකීම තිබෙනවා. ඉන්දියාව වගේ රටවල මෙය වැඩියි.

ඔහුගේ ඉරණම ඔබ මේ ආකාරයෙන් තීරණය කළේ ඒ අත්දැකීම පදනම් කරගෙනද?

සමහරු මේ චිත්‍රපටයේ අවසානයට කැමැති නෑ. සමහරු කැමැතියි. ඇත්තටම මට ඕන වුණේ ප්‍රේක්ෂකයා කම්පනයට පත්කරන්න. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාට මේ තරුණයාගේ වගේම අපේ ජීවිත ස්වභාවය ගැන හිතන්න, ඒ වැනි සංවේදනයක් දනවන්න. මට හිතෙනවා එය බොහෝ සාර්ථකයි කියලා.

මෙයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔබට විශේෂ හේතු තිබුණාද?

ඔව්. ප්‍රධාන චරිතය කරන දසුන් පතිරණ මරදාන පැත්තේ නාගරික තරුණයෙක්. ඔහුට නාගරික තරුණයකුගේ ගති ලක්ෂණ නිසඟයෙන්ම තිබුණා. 2006 දි මම ඔහු චිත්‍රපටයට තෝරා ගනිද්දි ඔහු එතරම් ජනප්‍රිය පුද්ගලයෙකුත් නෙවෙයි.

සමනලී ෆොන්සේකාවත් තෝරාගත්තේ ඔඩිෂන් එකක් තියලා. සමනලීට පුළුවන් බොහොම ගැඹුරින් චරිතය නිරූපණය කරන්න. අමතරව වීනා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, නෙතලි නානායක්කාර, කලණ ගුණසේකර, දිමුතු චින්තක වගේ මේ හැමෝමත්, කාර්මික ශිල්පීන් පවා සම්බන්ධ වුණේ මුදල මුල් කරගෙන නොවේ. අපේ ඇඳුණුම්කම් වගේම අලුත් කෙනකුට උදව් කරන්න ඕන කියන හැඟීම ඔවුන්ට තිබුණ. අපි එකා වගේ වැඩ කළා. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳීන්නේ.

මෝටර් බයිසිකල් සංගීත අධ්‍යක්ෂණයට සහ ගායනයට සම්මාන ලැබුණා?

ඇත්තෙන්ම මේ චිත්‍රපටයට සෞම්‍ය සංගීතය හරියන්නේ නෑ. එහෙම වුණානම් එහි අර්ථය සහ සංවේදනය වෙනස් වෙනවා. මට ඕන වුණු කර්කශ හා කඨෝර සංගීතය ඇතුළෙ තිබෙන සුන්දරත්වය එළියට ගේන්න. මට අජිත් කුමාරසිරි මුණ ගැහුණා ඔහුගෙ ශෛලිය, ගායන ආර මෙයට ගැළපෙයි කියලා මට හොඳටම හිතුණා. එය සාර්ථකයි. මොකද කතාවේ අදහස සංගීතයෙන් දැනවෙනවා. ඇත්තෙන්ම ‘අම්මාගේ මාලේ’ ගීතය ගැයුවෙත්, ලියුවෙත්, ඔහුයි. හීනත් අරන් එන්න ගීතය මම ලීවේ, එයටත් හොඳම ගේය පද රචනයට සම්මානය හිමි වුණා. ඉර පායනවා ගීතය උපුල් ශාන්ත සන්නස්ගල ලීවා. සමහර ගීත ක්ෂණිකව දර්ශන තලයේදී රචනා කළේ. එහෙම සාමූහික ප්‍රයත්නයක් ලෙසයි මේ චිත්‍රපටය මම දකින්නේ.

සරසවිය සම්මාන 7ක් තමන්ගේ පළමුවැනි සිනමා නිර්මාණයටම හිමි වීම නිසා කොතරම් බරක් හිතට දැනෙනවාද?

ඇත්තෙන්ම සරසවිය සම්මාන 7 වගේම දෙරණ සම්මාන 8ක් සහ අන්තර්ජාතික සිනමා සම්මාන රැසක් බයිසිකලයට හිමි වුණා.

සාක් අන්තර්ජාතික සිනමා උලෙළේ දකුණු ආසියාවේ හොඳම සිනමා පටයට හිමි සම්මානය, කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම ශ්‍රී ලාංකීය සිනමා පටයට හිමි නෙටපැක් සම්මානය, එහිම මොසැක් ඔෆ් ශ්‍රී ලංකන් නිව් සිනමා යටතේ හොඳම විශේෂාංග චිත්‍රපටයට හිමි සම්මානය ලැබෙනවා. කල්කටා සිනමා උලෙළේ ආසියාවේ හොඳම සිනමා පටයට නිර්දේශ වෙනවා. බැංගලෝර්, සිනමාලය අන්තර්ජාතික උලෙළ ආදිය නියෝජනය කළා.

මට හිතෙනවා මම වෙච්ච මහන්සියේ ප්‍රතිඵල තමයි මට මේ ලැබෙන්නේ. ඒ නිසා මී ළඟ චිත්‍රපටයකදී මීට වඩා මහන්සියක්, කැපවීමක්, අවංකබවක් තිබෙන්න ඕනා. ඕනෑම නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණයට වන මහන්සිය, කැපවීම අනුව තමයි ප්‍රතිඵලත් ලැබෙන්නේ.

ඔබ කිසියම් හෝ සිනමාකරණ පාඨමාලාවක් හදාරා තිබෙනවාද?

අද වන තුරු මම සිනමා පාසලක කිසිම විධිමත් අධ්‍යයනයක් කරලා නෑ. මට තිබෙන්නේ තැන් තැන්වල ගැවසිලා ලබා ගත්ත දැනුමක්. ඊට අමතරව දර්ශනතලයේ වැඩ කරද්දී ලැබූ ප්‍රායෝගික දැනුම, තිස්ස අබේසේකර, එම්. ඩී. මහින්දපාල වගේ අයගෙන් සිනමාව වෙනස් විදිහකට දකින්න මට දළ අවබෝධයක් ලැබුණා. මම මගේ අධ්‍යක්ෂවරු ගැන ස්වයං අධ්‍යයනයක හිටියා. එයින් තමයි දැනුම ලැබුණේ.

ඔබ හිතනවාද සිනමා පාසලක් තිබුණා නම් හොඳයි කියලා?

සිනමා පාසලක් තිබුණා නම් හොඳයි විධිමත් හැදෑරීමක් කරන්න. එත් ලෝකේ කොපමණ සිනමා පාසල් තිබුණත්, එවායින් දහස් ගණන් සිසුන් එළියට ආවට සිනමා කරුවන් බිහිවන්නේ අතළොස්සයි. එය තමයි ඇත්ත.

මොකද අපි ලොකේ, සමාජය, මනුෂ්‍ය ජීවිතය දිහා දකින විදිහ අනුව තමයි නිර්මාණකරුවකු බිහිවන්නේ. ඒ හැර එය හැමෝටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

තරුණ සිනමාකරුකු හැටියට නව ක්‍රමවේද, තාක්ෂණය ආදිය පිළිබඳ ඇති මතවාද පිළිබඳ ඔබ මොකද හිතන්නේ?

මට නම් ඇත්තටම ප්‍රවීණයි කියන පරම්පරාවෙන් උදව් ලැබුණේ නෑ. ඒ අය අපට උදව් කරන්නේත් නෑ. මම තනිවම තමයි මේ හැම දේම කළේ. අලුත් පරපුරේ අය බොහොම වෙනස්. එකතු වෙලා ස්වාධීන සිනමා එකමුතුව කියලා සංවිධානයක් හදාගෙන තිබෙනවා. අපි සතියකට වරක් එකතු වී සිනමාවේ තිබෙන ගැටලු, අර්බුද විසඳන්න යෝජනාවලියක් සකස් කරමින් ඉන්නවා මේ මොහොතේ. පරණ අයට වඩා අපි වෙනස්. අපි හැමදේම දැනුම, අත්දැකීම් බෙදා ගන්න කැමතියි, අපි ළෙන්ගතුව වැඩ කරගන්න කැමතියි. එහෙම ගමනක් තමයි දැන් අවශ්‍ය වන්නෙත්. එහෙම එකමුතුව වැඩ කළොත්, කර්මාන්තයක් ලෙස ඉදිරියට එන්නත් පුළුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි. අනාගත සිනමාව වෙනස් මාවතක, වෙනස් දේවල් අත්හදා බලමින් ඉතා දියුණු තැනකට එමින් තිබෙනවා. මට විශ්වාසයි, ඉදිරියේ අපේ සිනමාව මහා පෙරළියක් ඇති කරයි. ඉදිරියේදී කාටවත් බොරු කරන්න බෑ. එය ප්‍රේක්ෂකයන්ට අහුවෙනවා.

ඔබ කියන්නේ අද ප්‍රේක්ෂකයා තාක්ෂණයෙන් සන්නද්ධයි කියලාද?

මිනිසුන්ගේ හදවතට දැනෙන, කතාකරන සිනමා පට හදන්න නිර්මාණකරුවන්ට සිදුවෙයි. රජ කතා බණ කතා, නැත්නම් ළමා කතා හදලා ගේම ගැහුවාම හරි කියලා සමහරු හිතනවා. අපි වගේ බරපතළ තේමාවකට අත තියන්න සමහරු හරි බයයි. මොකද අසාර්ථක වීමේ අවදානම වැඩියි. ඒත් මම ඒ් අවදානම ගත්තා. ඒ වගේ වෙනස් විදිහකට හිතුවොත් අපට මොනවා හරි දෙයක් ලැබෙයි කියලා මට නම් විශ්වාසයි.

අද තාකෂණය සරල මෙවලම් බවට පත්වෙලා. අන්තර්ජාලය හරහා අපට ඕනෑම දෙයක් ගැන තොරතුරු දැන ගත හැකියි. අද සිනමා පටයක් සියයට සියයක් නිෂ්පාදනය කරන්න වුණත් හැකියාව තිබෙනවා. ඉස්සර වගේ ඉන්දියාවටම යන්න ඕනෑ නෑ. 5:1, 7:1 වගේ ශබ්ද පරිපාලන ක්‍රම, අලුත් තාක්ෂණික ශිල්පීන් මඟින් අපට නිර්මාණ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්.

ඒ දියුණුවත් සමඟම නිර්මාණවල ගුණාත්මක බව ඉහළ නොගියේ ඇයි?

ඉස්සර මමත් මිලිමීටර 35 තාක්ෂණයෙන් වැඩ කරලා තිබෙනවා. එය බහුතරයක් අලුත් අයට නැති අත්දැකීමක්. ඒත් ඒ තාක්ෂණය නිසා බොහෝ දැඩි විනයක් සිනමා කර්මාන්තය සමඟ බැඳී තිබුණා. එය අද නෑ. අද තාක්ෂණය ඩිජිටල් වෙද්දි දර්ශන තලයේ විනය පිරිහිලා. නිශ්ශබ්දව ටේක් එකක් ගන්න හික්මීමක් එදා තිබුණා. අපෙන් ගිලිහිලා තිබෙන එය යළි හදා ගන්න පුළුවන් වුණොත් තමයි වඩාත් ගුණාත්මක නිර්මාණ බිහිවෙන්න හේතුවක් වෙයි.

බොහෝ නිර්මාණකරුවන් විදේශ සම්මාන ඉලක්ක කර චිත්‍රපට හදන බවට චෝදනාවක් තිබෙනවා?

සිනමා කරුවෙක් විදිහට තමන්ගේ රටේ තමන්ට ප්‍රේක්ෂකාගාරයන් නැත්නම් වැඩක් නෑ. එය සාර්ථක නෑ කියලයයි මට කියන්න තිබෙන්නේ. සිනමා නිර්මාණයක් විශ්වීය මාධ්‍යයක් නිසා පිටරට අයටත් රස විඳීමේ අයිිතිය තිබෙනවා. ඒත් සිනමා නිර්මාණ හදන පරමාර්ථය අනුව කාරණය වෙනස් වෙනවා. අපේ සිනමාවෙන් සිනමාකරුවාගේ අභ්‍යන්තරය පේනවා. ඒ නිසා සම්මාන වැඩක් නෑ, මම හැදුවෙත් සම්මාන හිතාගෙන නෙවෙයි. චිත්‍රපටයක් හැදුවට පස්සේ එය හොඳ වුණොත් සම්මාන ලැබීම දෙවැනි දෙයක්. එනිසා සම්මාන බලාගෙන නිර්මාණ කළාට සාර්ථක වෙයි කියලා හිතන්න බෑ. හොඳ දෙයක් කළොත් එයට ප්‍රතිචාර හොඳ වෙයි. අපි වර්තමානේ දැක්කා සිනමා කරුවන් කොතරම් සමාජය ඉදිරියේ හැල්ලු වුණාද? අන්තර්ජාතික සිනමා උලෙළ පවා කොතරම් බාල්දු වුණාද? ඒ නිසා හොඳ වැඩක් කරන්න, අප පස්සේ සම්මාන එයි.

ඔබ මේ වෙද්දි තව නිර්මාණයක් පටන් ගෙනද?

මම මේ වන විට තිර නාටක 2ක් ලියා තිබෙනවා. ඒවා එළි දක්වන්න සම්පත් දායකයින් ලැබුණොත් ඉතා ඉක්මනින් මගේ දෙවැනි චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න ආසාවෙන් ඉන්නවා. මම කැමතියි අපේ ජීවිතය, අත්දැකීම් තුළින් ප්‍රේක්ෂකයාට යම් අදහසක් කියන්න, ප්‍රශ්න කරන්න. ඉතින් මම හිතනවා මගේ අලුත් චිත්‍රපටයත් ජනතාවට දැනෙයි කියලා.

තේමා හිඟයක් සිනමා ක්ෂේත්‍රයේ තිබෙනවාද?

මට නම් එහෙම ප්‍රශ්නයක් පේන්න නෑ. ඕන තරම් වස්තු බීජ තිබෙනවා. මට චිත්‍රපට දහයක් හදන්න කීවොත් කතා දහයක් තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ පිටපතකට වෙන මහන්සියයි පිළිබඳවයි. අපේ ප්‍රස්තුතය සමඟ ජීවත් වෙලා ඒ ගැන අධ්‍යයනය කරනවා නම් හොඳ තිරනාටකයක් ලියන්න පුළුවන් වෙයි. හැබැයි ලොකු කාලයක් ගත වෙනවා. ඒත් වෘත්තිය මට්ටමේ තිරනාටතක රචකයන් අඩුයි. ඒකයි එහෙම කියන්නේ.

ඔබේ සිනමා පටවල තිර නාටකය ලියන්නේ ඔබමයි. වෙන කෙනකු ලීවොත් ඔබ කැමති නැද්ද?

හොඳ තිරනාටකයක් හුමුවුනොත් අකමැත්තක් නෑ. සමහර විට නරක තිර නාටකයක් දක්ෂ අධ්‍යක්ෂවරයෙකු නිසා හොඳ වන්නත්, හොඳ තිර නාටකයක් අදක්ෂ අධ්‍යක්ෂවරයෙක් නිසා නරක වන්නත් පුළුවන්. තමන් තිර රචකයා වුණාම ඒ ප්‍රස්තුතයේ තමන් කාලයක් ජීවත් වෙනවා. එය බොහෝ විට සාර්ථකයි කියලයි මට හැඟෙන්නේ.

සිනමාව කොතරම් සමාජයට බලපෑම් කරනවාද?

සිනමාවෙන් ඉතා විශාල බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම මේ මොහොතේ නිර්මාණකරුවන්ට විශාල වගකීමක් තිබෙනවා මේ සමාජය, මිනිසුනගේ ජීවිත, මේ දේශපාලන වටපිටාව ගැන ජනතාව දැනුම්වත් කරන්න. මම කොතරම් සාර්ථකද කියන්න මම දන්නේ නැතත් මගේ උත්සාහයත් ඒ වගකීම නිසි ලෙස ඉටු කිරීමයි.