වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය කවදවත් වැජඹුණේ අපක්ෂපාතී ගුණාත්මක විනිශ්චය නිසායි

සරසවිය කවදවත් වැජඹුණේ අපක්ෂපාතී ගුණාත්මක විනිශ්චය නිසායි

2016 රණපාල බෝධිනාගොඩ සම්මානය දිනූ ලක්ෂ්මන් වික්‍රමසිංහ

සරසවිය සතිපතා පුවත්පතට මට පත්වීමක් ලැබී තිබුණි. සරසවිය කර්තෘ මණ්ඩලයෙහි කෙටි කලක් සේවය කළ පසු සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා මට මෙවැන්නක් කීවා මතකය. 'සම්මුඛ පරීක්ෂණයේදී තීරණය වුණේ ලක්ෂ්මන්ව බුදුසරණ පත්තරයට ගන්න. මං ලොකු මහත්තයට කීවා ලක්ෂ්මන්ව මට දෙන්න කියා. මගේ තීරණය ගැන මං සන්තෝෂයි'.

පුවත්පත් කාලවේ 'අ', 'ආ' කියා දුන් ගුරුවරයකු ගැන ගෝලයෙකුට ලිපියක් ලිවීමට ලැබෙන භාග්‍යමත් අවස්ථාවක් මට උදා වී ඇත. ඒ ගෝලයා මම වීමි. ගුරුවරයා වූයේ ලක්ෂ්මන් වික්‍රමසිංහ නම් ඒ උතුම් මිනිසාය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔහු ශාස්ත්‍රවන්තයෙකි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් සේවයේ විශ්‍රාමික නිලධාරියෙකි, ජනසන්නිවේදන ප්‍රවීණයෙකි. ඒ සැමට වඩා 'සරසවිය' පුවත්පත ඇරඹූ මුල් යුගයේ ප්‍රධාන උප කර්තෘවරයා ලෙස නවක ලේඛකයන් පිරිසකට අත හිත දුන් 'සහෝදරයකු' වැනි ගුරුවරයෙකි.

මා ද ඒ අතර සිටිය ද මට පෙර සිටි ඔහුගේ ගෝලයන් අතර සෝමවීර සේනානායක, කුමාරදාස වාගීස්ට, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සිරි කහවල, සිරි කුලරත්න, පියසේන වික්‍රමගේ, අර්නස්ට් වඩුගේ, නන්දසේන සූරියආරච්චි, විමල් තිලකරත්න, ප්‍රභාත් කුමාර, රංජිත් වීරසිංහ, දයාරත්න ලියනගේ, රොහාන් පෙරේරා, ක්‍රිස්ටි, රෙජී බුලත්සිංහල, බන්දු එස්. කොඩිකාර කැපී පෙනුණි.

මහින්ද ලක්ෂ්මන් වික්‍රමසිංහ නම් ඔහු 1942 ජූනි 19 වෙනිදා රත්නපුර වැල්ලන්ඳුර සිය මවගේ මහ ගෙදර උපත ලැබීය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ තම ආතා වූ ප්‍රසිද්ධ වෛද්‍යාචාර්යවරයකු වූ, සමාජ සේවකයකු, දානපතියකු හා ගම්පතිවරයකුව සිටි ගජනායක මහතාගෙන්ය. ලක්ෂ්මන් මුලින්ම ඉගෙනුම ලැබුවේ තම ආතා ඉඩම් පරිත්‍යාග කොට සාදනු ලැබූ ගජනායක විද්‍යාලයෙනි. ලක්ෂ්මන්ගේ ආතා වසර 25 ගම්පතිවරයා වී ඇත්තේ නිතරඟයෙනි. හෙතෙම කොළඹ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ද ලෙස කටයුතු කොට ඇත. 'ගජනායක විද්‍යාලය' පිහිටුවීමට ඉඩම් පරිත්‍යාග කළ ගජනායක ගම්පති වසර 5 ක් එම විද්‍යාලය රජයට පවරා දෙන තෙක් ගුරු භවතුන්ට වැටුප් ද ගෙවා ඇත. එපමණක් නොව ගමේ පන්සල සඳහා ඉඩමක් ද පූජා කර ඇත්තේ මේ දානපතියා විසිනි.

ලක්ෂ්මන්ගේ පියා චිල්ඩස් වික්‍රමසිංහ මහතා ගාල්ලේ මහ නගර සභාවේ ද රක්වාන සුළු නගර සභාවේද ලේකම්වරයා ලෙස සේවය කළේය. ලක්ෂ්මන් රත්නපුර කන්‍යාරාමයට ඇතුළුව ඉගෙනීම ලබන කාලයේ දිවයිනේ පාසල්වලින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වන තරඟ විභාගයෙන් උසස් ලෙස සමත් විය. රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ සිංහල, පාලි, සංස්කෘත ආදී විෂයයන්ය. එකල බටහිර සම්භාව්‍ය සාහිත්‍යය, ලතින් වැනි විෂයයන්වලට පන්තියේ සිසුන්ගෙන් 98% යොමුව සිටියේලු. ලක්ෂ්මන් තව සිසුන් කීප දෙනෙක් පමණක් කේ. සී. ප්‍රනාන්දු ගුරු මහතාගේ උනන්දුව නිසා ප්‍රවීන භාෂා ඉගෙනීමට යොමු වූවත් සෙසු සිසුහු එය මදිකමක් කොට සිතූහ.

මේ සිසුන් තිදෙනා පේරාදෙනියේ ලංකා විශ්ව විද්‍යාලයට සමත් වූහ. ඒ තිදෙනා නම් ඒ. ඒ. විජේතුංග (පසුව පරිපාලන නිලධාරියකු හා හිටපු විදේශීය තානාපති), මේජර් ජනරාල් ගැමුණු කුලතුංග හා ලක්ෂ්මන් වික්‍රමසිංහය. ඔවුන් මහාචාර්ය ඕ. එච්. ඩී. ඒ. විජේසේකර, මහාචාර්ය සිරි ගුණසිංහ, ජේ. බී. දිසානායක (පසුව මහාචාර්ය) යටතේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හදාරා සංස්කෘත යන විශේෂ උපාධි කළහ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ලක්ෂ්මන් 'දවස' පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස පුවත්පත් කලාවේ අත්පොත කියවීය. දවස කර්තෘ ඩී. බි. ධනපාල, ඩේවිඩ් කරුණාරත්න, සිරිල් ඒ. සීලවිමල හා විමලේන්ද්‍ර වතුරේගම යන උප කතුවරයන් ලක්ෂ්මන්ගේ මුල්ම ගුරුවරුන් වූහ. ටික කලකින් ලක්ෂ්මන් ලේක්හවුස් ආයතනයේ ඇබෑර්තුවක් අනුව එහි පරීක්ෂණයකට මුහුණ දුන්නේය. ඔහු පරීක්ෂණයට ගියේ ආතාගේ කීමට ඇහුම්කන් දෙමිනි. ආතා ලක්ෂ්මන්ගෙන් මෙසේ ඇසීය.

"උඹ දැන් කරන රක්ෂාව මොකක්ද?'

'පත්තරේක. දවස පත්තරේ'

'ධනපාල සූර පත්තර කාරයෙක් තමයි. උඹට අනාගතයක් තියෙන්නේ ලේක්හවුස් එකේ.'

ලේක්හවුස් ආයතනය වැනි මනා ප්‍රතිෂ්ඨාපන ආයතනයක සේවය කිරීම ප්‍රඥාගෝචර බව ලක්ෂ්මන්ගේ ආතා හා පියා ද අනුමත කර සිටියහ. එමෙන්ම විවාහ සම්බන්ධතාවයෙන් ඔහුගේ මාමා කෙනෙකු ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වීම ද එයට බලපාන්නට ඇත. ලේක්හවුස් ඇබෑර්තුවකට ලක්ෂ්මන් කැඳවනු ලැබීය. ඔහු 'සරසවිය' පත්‍රයට සම්බන්ධ වූ අයුරු මෙසේ විස්තර කළේය.

'ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූ මා තව කිහිප දෙනෙකු සමඟ සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලැබිණි. එදින මා පැලඳ සිටියේ රතු ටයි පටියකි. එක් කර්තෘ මහතෙක් නැඟු පැනයකින් මම මොහොතකට වික්ෂිප්ත වූවෙමි. 'මහත්මයා ඇඳලා ඉන්නේ රතුපාට ටයි පටියක්. එයින් ඔබේ දේශපාලන දර්ශනය පිළිබිඹු වෙනවද?' මගේ මුවින් ගිලිහුණු පිළිතුර මට අවාසි සහගත වේ යැයි මම පසුව සිතුවෙමි. 'පුද්ගයෙකුගේ ඇඳුමින් ඔහුගේ දේශපාලන අදහස් සෙවීම නුවණට හුරු දෙයක් නෙවෙයි' (නියම වචන දැන් අමතක වුවත් මගේ පිළිතුර මෙවැනි අරුත් ගෙන දෙන්නක් විය). ලේක්හවුස් ආයතනයේ දිනපතා පුවත්පතකට පත්වීමක් නොලැබුණේ මේ පිළිතුර නිසාදෝයි තවමත් නොදනිමි.

සරසවිය සතිපතා පුවත්පතට මට පත්වීමක් ලැබී තිබුණි. සරසවිය කර්තෘ මණ්ඩලයෙහි කෙටි කලක් සේවය කළ පසු සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා මට මෙවැන්නක් කීවා මතකය. 'සම්මුඛ පරීක්ෂණයේදී තීරණය වුණේ ලක්ෂ්මන්ව බුදුසරණ පත්තරයට ගන්න. මං ලොකු මහත්තයට කීවා ලක්ෂ්මන්ව මට දෙන්න කියා. මගේ තීරණය ගැන මං සන්තෝෂයි'.

විමලසිරි පෙරේරා වැනි 'හිත හොඳ මිනිසෙකු' යටතේ සේවය කිරීමට ලැබීම මට ද මහත් සතුට දනවන්නක් විය. පුවත්පත් කලාවට ආයුබෝවන් කියා සන්නිවේදන ක්ෂේත්‍රයේම වෙනත් අංශ කෙරෙහි අවධානය යොමු කරන උප කර්තෘවරයකු ලෙස සේවය කළෙමි. අට වසරක් වූ ඒ කාලය තුළ අන්‍යෝන්‍ය විශ්වාසය නිසා උපන් ඒ සහනශීලී සතුට දිනෙන් දින තීව්‍ර වූවා මිස අඩුවක් නම් නොවීය. එයට ප්‍රධානතම හේතුව නම් විමලසිරි පෙරේරාගේ හොඳ හිත ජය පරාජය අබියස අඩු වැඩි නොවූ බැවිනි.

විමලසිරි පෙරේරා සතු හොඳ හිත හා සැබැඳි පුද්ගලික ගුණාංග සරසවිය කර්තෘ මණ්ඩල ප්‍රතිපත්ති හා ආචාර ධර්ම දාමය ගෙතීමෙහිලා විශේෂයෙන්ම දායක වූවා යයි මම විශ්වාස කරමි.

අවංකශීලී බව සරසවිය පත්‍රය හා සබැඳි ආචාර ධර්ම දාමය ගෙතු රන් හුය විය. ප්‍රධාන කර්තෘ ඇතුළු සියලුම කර්තෘ මාණ්ඩලිකයන් තුළ මෙම ගුණය අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය විය යුතු බව විමලසිරි පෙරේරා පෞද්ගලික හැසිරීම රටාව තුළින් සනාථ කළේය. මුදල්, රූපලාවණ්‍යය මෙන්ම විවිධ කුසලතා මත යැපෙන සිනමා කර්මාන්තය හා සැබැඳි පත්‍රයකට අවංක බව අත්‍යාවශ්‍ය ගුණාංගයකි. එකල සරසවිය පත්‍රය සිනමා කර්මාන්තය තුළ මෙන්ම පාඨකයන් අතර ද ඉමහත් ගෞරවයට පාත්‍ර වූයේ අවංක බව මත පදනම් වූ සමතුලිත ගුණාත්මක ප්‍රචාරණකරණය නිසායි. සරසවිය සම්මාන ඉමහත් හරසරින් පිළිගැනුණේ ද අවංකශීලී බව පදනම් කරගත් අපක්ෂපාතී ගුණාත්මක විනිශ්චය නිසායි.

විමලසිරි පෙරේරා ප්‍රසන්න පුද්ගලයෙකි. හෙතෙම සරසවියට පැමිණි අමුත්තන් නිරතුරුවම පාහේ සුහදත්වයෙන්, සිනාමුසු මුහුණින් පිළිගත්තේය. කර්තෘවරයෙකු වශයෙන් ඔහු තුළ ආරූඪ කරගත් ගාම්භීරත්වයක් නොතිබුණු මුත් පුවත්පත් කලාව පිළිබඳ හසළ දැනුමෙන් හා මනා පරිචයෙන් ඔප් නැංවුණු ප්‍රෞඪත්වයක් ඔහු තුළ තිබිණි. එමෙන්ම ඔහු නිරහංකාර විය. ඕනෑම සමාජ තලයක අයෙකු සමඟ සුහදත්වයෙන් ක්‍රියා කිරීමට ඔහු තුළ හැකියාවක් හා ශක්තියක් තිබිණි. ප්‍රවීණ නළු නිළියන් සමඟ මෙන්ම ලේක්හවුස් කාර්මික අංශයේ සරසවිය පත්‍රයේ පිටු හදන බාස්උන්නැහේලා සමඟ ද සුහදත්වයෙන් කටයුතු කිරීමට ඔහුට හැකි විය.

සරසවිය මුල් පිටුව පුරා පළ කරන නළු නිළි ඡායාරූප සංයමයෙන් හා කලාත්මක ගුණයෙන් හෙබි ඡායාරූප විය යුතු බව විමලසිරි පෙරේරා විශ්වාස කළේය. කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද මේ මතයෙහි ම පිහිටියහ. මෙවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා විමලසිරි පෙරේරාට සරසවිය පත්‍රයෙහි ඡායාරූප සංස්කාරක නිමල් පෙරේරා සක්‍රියව දායක විය. තරුණ ඡායාරුප ශිල්පීන් කුමන මාදිලියේ ඡායාරූප ඉදිරිපත් කර ඒවා මුල් පිටුවෙහි පළ කර ගැනීමට උත්සුක වුව ද නිමල්ගේ උකුසු ඇසින් පැනයාමට ඔවුන්ට නොහැකි විය. නිමල් පෙරේරා සක්‍රියව දායක වූයේ ප්‍රතිපත්තියට අනුකූල ගුණාත්මක ඡායාරූප තේරීමට පමණක් නොවේ. ඔහු ස්වාධීන තරුණ ඡායාරූප ශිල්පීන්ගේ තාක්ෂණ කුසලතා මෙන්ම කලාත්මක කුසලතා ද නිරතුරුව උසස් කිරීමට උපදේශකයකු සේ කටයුතු කළේය. කලක් යත්ම සරසවිය මුල් පිටුවේ පළ කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ සංයමයෙන් හෙබි කලාත්මක ඡායාරූප වීම විමලසිරිගේ හා නිමල්ගේ ජයග්‍රහණයක් බව නිසැකයෙන්ම ප්‍රකාශ කළ හැකිය.

විමලසිරි පෙරේරා මහතා එකල ප්‍රචලිත වූ 'පේරාදෙණිය ගුරු කැල' නමැති ව්‍යාපාරයට හා සංකල්පයට අකැමැති වූවා මිස එම ගුරු කුලය තුළ වූ ප්‍රවීණයන්ට කිසිසේත්ම විරුද්ධ නොවූ බව මම දනිමි. ඔහු ආචාර්ය සරච්චන්ද්‍ර ආදී බුද්ධිමතුන්ට ගරු කළේය. ඔවුනගෙන් වූ සාහිත්‍ය සේවයට ගරු කළේය. එහෙත් පේරාදෙණිය ගුරු කුලය මඟින් කොළඹ කවි සම්ප්‍රදාය අල්පීකරණය කිරීම ඔහු නොඉවසුවේය. මෙය විමලසිරි පෙරේරා සතු වූ ව්‍යාකූලභාවයක් නොව ජීවිතාවබෝධය ලැබූ පරිණතයෙකුගේ බුද්ධිමත් තීරණයක් ලෙස මම විශ්වාස කරමි. විමලසිරි පෙරේරා මහතා සරසවිය සහ නවයුගය මඟින් ආචාර්ය සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර ආදීන්ගේ සාහිත්‍ය සේවය ගැන කාලීන ලිපි හා විමර්ශන පළ කළේය. සත්සමුදුර චිත්‍රපටය ප්‍රදර්ශනය වූ පසු එහි අධ්‍යක්ෂ ආචාර්ය සිරි ගුණසිංහ හමු වී විශේෂ ලිපියක් සකස් කර සරසවියේ පළකරන ලෙස මට පැවරුවේ සිරි ගුණසිංහය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාගේ ගුරුවරයෙකු වූ නිසාම නොව, සත් සමුදුර අග්‍රගණ්‍ය චිත්‍රපටයක් ලෙස විමලසිරි පෙරේරා මහතා පිළිගත් නිසාමය.

විමලසිරි පෙරේරා ශූරීහු නුතන සම්මත වහර අනුව මාධ්‍යවේදියෙක් නොවූවද අග්‍රගණ්‍ය පුවත්පත් කලාවේදියෙකි. කවියෙකි, රසිකයෙකි. සුදනෙකි. පුවත්පත් කලාවේදී යන අනවර්ථ නාමය නොබියව, නොපැකිළව ඔහුගේ නම ඉදිරියෙන් යෙදිය හැකි සිංහල පුවත්පත් කලාවට හා පොදු වශයෙන් පුවත්පත් කර්මාන්තයට අමිල සේවයක් කළ ආදර්ශමත් පුවත්පත් කර්තෘවරයෙකි."

1972 වසරේ 'සරසවිය' පත්‍රයේ පිටපත් එක් ලක්ෂ පහළොස් දාහක අලෙවි වාර්තාවක් තැබූව අවස්ථාවේ නියෝජ්‍ය කතුවරයාව සිටියේ ලක්ෂ්මන්ය. සරසවිය සම්මාන උලෙළට සහභාගි වූ ෆිල්ම් ෆෙයා කර්තෘ කරන්ජියා සහ භාරතීය නළු නිළියන් වූ සුනිල් දත්, නූටාන්, මීනා කුමාරි ආදීන් සමඟ පැවැත් වූ සුහදතාවය එදා පළ වූ 'සරසවිය' පත්‍රවලින් මැනවින් විද්‍යාමාන වේ.

1972 ලේක්හවුස් ආයතනයෙන් සමු ගන්නා ලක්ෂ්මන් රාජ්‍ය මැණික් සංස්ථාවේ ප්‍රචාරක අධ්‍යක්ෂවරයා විය. ඉන්පසු ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පුහුණු කිරීම් අධ්‍යක්ෂ ලෙස ද යුනෙස්කෝ හි සංනිවේදන හා ප්‍රවෘත්ති අංශ ප්‍රධානි ලෙස මාලදිවයින හා ලංකාවේ ද, යුනෙස්කෝ ජාත්‍යන්තර සිවිල් සේවයේ ද කටයුතු කළ නිලධරයෙකි.

ලක්ෂ්මන් විවාහ වූයේ සර් ඩී. බී. ජයතිලක මහතාගේ ඥාතියකු වූ ආනන්ද විද්‍යාලයේ ප්‍රධානාචාර්ය කේ. ඩී. ලැනරෝල් මහතාගේ දියණියක් වූ ගෞරි ලැනරෝල් මහත්මිය සමඟය. ලක්ෂ්මන් මහතා තමාට හිමි වූ සරසවිය සම්මානය ස්වකීය සමකාලීන සගයන්ට ද ලබා දුන් උපහාරයක් සේ දකියි.