වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න හීන දකින්න

එන්න හීන දකින්න

ලස්සනම ලස්සන චිත්‍රපටයක්

ඉන්දික ෆර්ඩිනැන්ඩු

ඈත හද්දා පිටිසර ගම්මානයකි. ගුරුවරු නැති ඉස්කෝලයකි. මේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ දුප්පත්ම දුප්පත් ළමයි දහඅට දෙනෙකි. එක්වරම එක්තරා උදෑසනක ඉස්කෝලෙට අරගෙන එන අබිරහස් පෙට්ටියකි.

“ කෝ මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ”

එය රැගෙන පැමිණෙන්නා අසන්නේ විදුහල්පතිතුමෙක් කොහොම වෙතත් ඉස්කෝලේ විසිර සිටින පාසල් ළමුන්ගෙනි.

“ අර කළු පෙට්ටිය මොකක්ද ලොකු සර් ? ”

ඉස්කෝලෙට ගෙනා අබිරහස් පෙට්ටිය ගැන මේ ළමයින්ගේ සිත්වල හටගෙන ඇත්තේ කුහුලකි.

“ඒක ඇතුළේ ඉන්නවා භයානක මකරෙක්. ”

මුල් ගුරුතුමා කුතුහලයෙන් පිරුණු ළමයින් දෙස බලා පවසන්නේ ඔවුන් බිය ගන්වන අදහසිනි. එනමුත් මේ ළමුන්ගේ කුතුහලය රැඳුණු මුහුණු පවසන්නේ එය පිළි නොගන්නා බවකි. ඒ අතර අබිරහස් පෙට්ටියේ කතාව විසඳන්නට මෙන් ඔවුන් හමුවට පැමිණෙන්නේ අමුත්තියකි. මේ අමුත්තිය අමුතුම කෙනෙකි.

“ ඔන්න එහෙමනම් අල්ලමු ”

“ නෝනා මේ පළාතට අලුත් වගෙයි”

“ඒ වුණාට මේ වගේ වැඩවලට අලුත් නැහැ ”

අමුත්තිය මුළු ගමටමත් අමුත්තියකි. ඈ අබිරහස් පෙට්ටිය වයමින් ගයයි.

ලලලල ලලලල
ලලලල ලල ලා ලා
රෑට පේන කිරි හාවා
හදේ ඉන්නවද සොයන්න
මිනිස්සු එකොමත් කාලෙක
හදට ගියාලු
ලොකු රොකැට්ටුවක්
හදාන හදට ගියාලු
හදට ගියාලු
හදට ගියාලු
මුහුද උඩින් අහස මැදින්
හදට ගියාලු
ඇහැට පේන දේට වඩා
නොපෙනෙන දේවල් හුඟයිලු
ඒ දේවල් දැකලා එන්න
හීන දකින එක හොඳයිලු
ඒ දේවල් දැකලා එන්න
හීන දකින එක හොඳයිලු
බොහොම හොඳයිලු
බොහොම හොඳයිලු
නින්දේදී දකින හීන
නින්දෙම අමතක නොවේලු
ඒ වගේ හීනයක් එක්ක
අලුත් දිනක අවදි වන්න
ඒ වගේ හීනයක් එක්ක
අලුත් ඉරට ඇහැ අරින්න
කැමැති ද යාළු....
කැමැති ද යාළු....

හදිසියේම හැමෝටම මුණ ගැහෙන මුළු ගමම ඇහැරවන හරි අමුතු හීනයකි. හැමෝගෙම රෑ නින්ද නැති කරන එකම එක හීනයකි.

“ මම අද කතා කරන්න යන්නේ අපි කවුරුවත් කවදාවත් දැකලා නැති දෙයක් ගැන.”

“ ඒක තියෙන්නේ කොහෙද ලොකු සර්”

“ ඒක කොයි වගේ ද?”

“ අනේ දෙයියනේ ”

ඒ හීනෙට පාර කියන මහා වීර අරගලයකි.

මොකක්ද මේ අරගලය. මොකක්ද මේ හීනය. ඒ ගැන දැන ගන්න නම් මේ 11 වැනිදා සිට තිරගත වන ඉන්දික ෆර්ඩි නැන්ඩුගේ ‘හෝ ගානා පොකුණ ’ ළමා චිත්‍රපටය නැරැඹීමට ඔබට සිදුවනු නියතය. ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් ‘ හෝ ගානා පොකුණ ’පවුලේ සියලුදෙනාටම නැරැඹිය හැකි සොඳුරු සිනමා නිර්මාණයකි. එන්න. මේ නිවාඩු මාසයේ ඔබ වෙනුවෙන්ම නිමවුණු ‘ හෝ ගාන පොකුණ’ සිනමාපටය නරඹන්න. අපි ඔබ හැමෝටම ආරාධනා කරන්නෙමු.