වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




තිස්තුන්දෙනා

තිස්තුන්දෙනා

දිනය : 2010 අගෝස්තු 5 වන බ්‍රහස්පතින්දා

ස්ථානය : චිලී රාජ්‍යයේ, කැපියාපෝ නගරයට කි.මී. 45ක් දුරින්, අටකාමා කාන්තාරයේ පිහිටි වසර 121 ක් පැරණි ශාන්ත ජොසේ තඹ සහ රන් පතල.

වේලාව : චිලී වේලාවෙන් ප. ව. 2.00

මීටර් 800 ක ගැඹුරට දිවෙන දීර්ඝ සර්පිලාකාර උමං මාර්ගයකින් සමන්විත ශාන්ත ජොසේ පතල හදිසියේ කඩා වැටෙන්නේ පතලට පිවිසිය හැකි එම එකම මාර්ගයත් වසා දමමිනි. මේ කඩා වැටීමෙන්, මීටර් 700ක් ගැඹුරෙහි පතලේ රාජකාරියෙහි නියුතු පතල්කරුවන් 33න් දෙනෙක් පතල තුලම සිරවෙති. අස්ථාවරබව ගැනත් අතීත ඛේදවාචකයන් ගැනත් නම් දරා ඇති ශාන්ත ජොසේ පතලේ සිරවූ පතල්කරුවන් කිහිප දෙනෙකු හෝ ජීවත්ව සිටීදැයි යන්න පවා අවිනිශ්චිතය. අනෙක් අතට අති විශාල ධනස්කන්ධයක් වැය වන බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කලද, එතරම් කාලයක් ඔවුන් ජීවත්ව සිටීම ඉතා අවිශ්වාසදායකය.

එසේ නමුත් පතල්කරුවන්ගේ පවුල්වල උද්ඝෝෂණ හා බලකිරීම් හේතුවෙන් චිලී රජයට අපහසු වූත්, විශේෂිත වූත් මෙහෙයුමක් මේ පතල්කරුවන් වෙනුවෙන්ම ක්‍රියාත්මක කිරීමට සිදු විය. මීටර් සිය ගණනක් ගැඹුරට විදුම් ක්‍රියාත්මක වූ අතර, දින 17කට පසුව මීටර් 700ක් පමණ ගැඹුරට ගිය විදුම් කටුවක් නැවත උඩට ගන්නා විට එහි මෙවැනි සටහනක් ඇමිණී තිබිණි. “අපි 33 දෙනාම පතල පතුලෙහි ආරක්ෂිතව සිටිමු”. කිසිසේත් අපේක්ෂා නොකළ පණිවුඩයක් වූ මෙය ලැබීමෙන් චිලී රජය විසින් පතල්කරුවන් බේරාගැනීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර, අනතුරෙන් දින 69 කට පසුව, එනම් ඔක්තෝබර් 13 වන දා පතල්කරුවන් 33 දෙනාම සාර්ථකව බේරාගනු ලැබිණි.

වරකට එක් කෙනෙකු බැගින් ඉහලට ගැනුණු මෙහෙයුමේ අවසන් අදියර පුරා පැය 24ක් තිස්සේ සිදු විය. මෙම අදියර රූපවාහිනී සහ අන්තර්ජාලය ඔස්සේ විකාශය වුනු අතර ලොවපුරා බිලියනයකට අධික ප්‍රමාණයක් එය සජීවීව නරඹා ඇති බවද වාර්තා විය.

පසුගිය 13 වන දා ලොව පුරා තිරගතවීමට පටන්ගත් “The 33” (තිස්තුන්දෙනා) මෙම සත්‍ය සිදුවීම ඇසුරින්, නිර්මාණය කෙරුණු චිත්‍රපටයකි. පැට්‍රීසියා රීගන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු “The 33” , රොබට් කට්ස්, එඩ්වර්ඩ් මැගන් සහ මයික් මෙදවොයි ගේ නිෂ්පාදනයකි. ප්‍රවීන නළු ඇන්ටෝනියෝ බැන්ඩාරස් පතල්කරුවන්ට නායකත්වය දුන් මාරියෝ සෙපුල්වේදා ගේ චරිතයට පන පොවන අතර, රොඩ්රිගෝ සන්ටෝරෝ, ජුලියට් බිනොචේ, ජේම්ස් බ්රෝලින් ඇතුළු ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙති. ජේම්ස් හෝනර් ගේ සංගීතයෙන් ඔපවත් වන “The 33” , වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් සහ 20 ත් සෙන්චරි ෆොක්ස් බෙදාහැරීමකි.

“The 33” හි පිරිවැය ඇ.ඩොලර් මිලියන 26 කි. අගෝස්තු 6 වනදා චිලී රාජ්‍යයේත්, නොවැම්බර් 13 වනදා එක්සත් ජනපදයේත් තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටය මේ වන විට ඇ.ඩොලර් 23ක ආදායමක් ලබා ඇත. IMDB දර්ශකයේ 7 / 10 කුත්, රෝටන් ටෝමාටෝස් හි 42% කුත්, මෙටාක්රිටික්හි 55% කුත් හිමිකරගෙන ඇති “The 33” මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලත් චිත්‍රපටයකි. ත්‍රාසජනක ඛේදවාචක චිත්‍රපටයක ට (Disaster Movie) වඩා දුක්මුසු වාර්තාමය චිත්‍රපටයක ලක්ෂණ මෙහි ගැබ්වී ඇති බව එක විචාරකක් පවසා ඇති අතර, කතාවේ අන්තර්ගතයත්, ප්‍රවීන සංගීතවේදී ජේම්ස් හෝනර් ගේ සංගීතයත් විචාරක පැසසුමට ලක්වී තිබේ.