වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කලා පොලිසියක නිදාන කතාව

කලා පොලිසියක නිදාන කතාව

කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළේ දෙවැන්න අවසන්ව දැන් මාසයකට ආසන්නය. එහෙත් එහි ප්‍රහර්ශය තවමත් අප සිතින් බැහැර කරන්නට අපොහොසත්ය. උලෙළ ආරම්භයේදී සිනමා උලෙළේ අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම මෙරට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් සිනමා උලෙළ අරබයා ලබා දුන් පූර්ණ නිදහස මහත් ඉහළින් අගය කරන ලදී. අන්තර් ජාතික සිනමා උලෙළකදී සිනමාකරුවන්ට ලැබෙන නිදහස ඉහළින් අගය කළ යුතු දෙයකි. සිනමාවේ නිදහස වෙනුවෙන් ලොව පුරා බොහෝ සිනමාකරුවන් අරගල කළහ. වර්තමානයේ චිත්‍රපට වාරණය දේශ සීමාවලට වලංගු කළ නොහැක. මෙයට 26 වසරකට පෙරාතුව මෙරට පැවැති සිනමා උලෙළක් සම්බන්ධයෙන් ඇති වූ අතීතාවර්ජනයක් පසුගිය දවසක අප මිත්‍ර සමාගමයකදී ඇදී ආවේ එම කතාබහ අතරය.

ඉංග්මාර් බර්ග්මාන් යනු ලෝකයේ ජීවත් වූ අග්‍රගණ්‍ය සිනමාකරුවෙකි. සිනමා ලෝකයේ ඔහු මහා මුනිවරයකු බඳුය. එහෙත් මෙයට 26 වසරකට පෙර 1989 වසරේ ඉංග්මාර් බර්ග්මාන් ගේ නම මෙරට ගම් නියම්ගම් පුරා එකවර පැතිර ගියේය. ඒ මෙරට පැවැත් වූ බර්ග්මාන් සිනමා උලෙළක් නිසාය. බර්ග්මාන් නාමය අපේ රටේ දන්නා නොදන්නා සිනමාකරුවන් අතර කතාබහට ලක් වූයේ එම චිත්‍රපට උලෙළට නියමිත එක් චිත්‍රපටයක් වාරණයට ලක්වීමත් සමඟය. ඇත්තටම වාරණයට ලක් වූවා නොව, චිත්‍රපටයක දර්ශන දෙකක් ඉවත් කර ප්‍රදර්ශනය කරන ලෙස දැන්වීමය. සාමාන්‍යයෙන් සිනමා උලෙළකට එක් වන චිත්‍රපටයක දර්ශන ඉවත් කිරීමට සිදු වන්නේ නැත. කලා කෘතියක අඬු කඩා පෙන්වන තැනක් නැත. අනිත් අතට ලොව සම්මත විශිෂ්ට කලා කෘතියක නිර්මාණකරුට හොරෙන් එලෙස දර්ශනයක් ඉවත් කරන්නේ ද නැත.

බර්ග්මාන් සිනමා උලෙළ සංවිධානය කරන ලද්දේ ස්වර්ණ සංඛ සිනමා පදනමයි. එහි සභාපති ධූරය දැරුවේ කලා රසිකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වූ සුනිල් ෆොන්සේකාය. සුනිල් එයට පෙර ෂෙල්ටන් පයාගල හා චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කරන ලද මලට නොඑන බඹරු චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විය (මෑතක ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා ද සුනිල්ය) එමෙන්ම ස්වර්ණ සංඛ පදනම මඟින් සංවිධානය කරන ලද විශිෂ්ට ඝණයේ සිනමා සම්මාන උලෙළක් ද එකල වාර්ෂිකව පැවැත්විණ. කෙසේ හෝ බර්ග්මාන් සිනමා උලෙළ ස්වර්ණ සංඛ පදනම මඟින් පවත්වන ලද්දේ යහපත් සිනමා ආශ්වාදයක් මෙරට ප්‍රේක්ෂකයාට ගෙන ඒමටය. බර්ගමාන් සිනමා උලෙළ මෙරටට හඳුන්වා දෙන ලද්දේ ප්‍රවීණ සිනමාවේදී තිස්ස අබේසේකරයන්ය. ඒ මා සරසවිය පුවත්පතට එක් වූ අලුතය. ලෝක සිනමාව පිළිබඳ මගේ ආසාව වටහා ගත් එවකට සරසවිය කර්තෘ ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා බර්ග්මාන් සිනමා උලෙළේ සංවිධාන සහායට මාද යොමු කළේය. උලෙළේදී මම තිස්ස අබේසේකරයන්ගේ සහායකයා වීමි.

ස්වීඩීන සිනමාවේදී ඉංග්මාර් බර්ග්මාන් 1918 ජූලි 14 වැනි දින උපත ලැබ 2007 වසරේ ජූලි 30 වැනි දින අභාවප්‍රාප්ත විය. නාට්‍යකරුවකු ලෙස බර්ග්මාන් නාට්‍ය පිටපත් 170 කට වඩා රචනා කර තිබිණ. සිනමාකරුවකු ලෙස ඔහු එළි දකිනුයේ 1944 දී ටෝමන්ට් චිත්‍රපටයේ තිර රචකයා ලෙසය. 1940 දී ඔහුගේ මුල්ම වෘතාන්ත අධ්‍යක්ෂණය ක්‍රයිසිස් එළි දැක්විණ, 2003 වසරේ සරාබාන්ඩ් චිත්‍රපටය දක්වා ඔහු චිත්‍රපට 45 ක් එළි දැක් වූයේය. මෙයින් සමහරක් ටෙලිවිෂනය වෙනුවෙන් තැනූ නිර්මාණයන්ය. මේ ලෝ පූජිත සිනමාකරු 13 වතාවක් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ අතර තුන් වරක්ම හොඳම විදේශ භාෂා චිත්‍රපටයට වෙනුවෙන් වූ ඇකඩමි සම්මානය ස්වීඩනයට ගෙන ඒමට සමත් වූයේය. ඒ ද වර්ජිං ස්ප්‍රිංග්, තෲ අ ග්ලාස් ඩාක්ලි හා ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් සඳහාය. හොඳම තිර නාටක සහ අධ්‍යක්ෂණය උදෙසා ද තෲ අ ග්ලාස් ඩාක්ලි තිර රචනය උදෙසා ද බර්ග්මාන් නාම යෝජනා දිනා ගත්තේය. කෙසේ වෙතත් ඔහු ලොව පුරා අවධානයට මුල්වරට පාත්‍ර වූයේ 1955 දී කාන්ස් සිනමා උලෙළේදී ඔහුගේ ස්මයිල්ස් ඔෆ් අ සමර් නයිට් චිත්‍රපටය සම්මාන දිනා ගැනීමත් සමඟය. ද සෙවන්ත් සිල්, බ්‍රින්ක් ඔෆ් ලයිෆ්, ද වර්ජින් ස්ප්‍රිං හා ක්‍රයිස් ඇන්ඩ් විස්පර්ස් එලෙස කාන් උලෙළේදී ඔහුගේ සම්මාන දිනූ සෙසු චිත්‍රපට විය. ලෝක සිනමාව වෙනුවෙන් කළ මෙහෙය උදෙසා හොලිවුඩ් සිනමාව පිදෙන යාවජීව සම්මානය වන අර්වින් තාල්බර්ග් සම්මානයෙන් බර්ග්මාන් පිදුම් ලද්දේ 1971 වසෙර්ය.

බර්ග්මාන් සිනමා උලෙළ සමය වන විට මෙරට ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට නැරැඹීමට බහුලව තිබුණේ සිනමා ශාලා පමණි. සිනමා උත්සව පැවැත්වීම දුෂ්කර කාර්යයක් විය. වීඩියෝ යන්ත්‍රය ද සුඛෝපභෝගී භාණ්ඩයක් විය. අද මෙන් හිතූමනාපයට චිත්‍රපට අන්තර් ජාලය හරහා බා ගැනීම ද පහසු නොවීය. එබැවින් මේ වකවානුවේ ඇරඹි බර්ග්මාන් සිනමා උලෙළ යළි සංස්කෘතික පිබිදීමක් ඇති කළ වකවානුවක් විය.

බර්ග්මාන් සිනමා උලෙළ සඳහා තෲ අ ග්ලාස් ඩාක්ලි, ද සෙවන්ත් සීල්, සමර් විත් මොනිකා, ස්මයිල්ස් ඔෆ් අ සමර් නයිට්, වින්ටර් ලයිට්, ද සයිලන්ස් හා ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් යන චිත්‍රපට උලෙළට ඇතුළත්ව තිබිණි. මේ අවධියේ මෙරට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩ ලයේ සභාපති පදවියට පත්ව සිටියේ ආර්. පල්ලේවෙල මහතාය. කලා විචාරකයකු වූ මෙන්ම නීතිඥවරයකු ලෙස ද පල්ලේවෙල මහතා කීර්තියට පත්ව සිටියේය. එයින් දශකයකට පමණ පෙරාතුව රිවිරැස පුවත්පත හරහා සාහිත්‍ය කෘති විචාරයේ යෙදුනු පල්ලේවෙල මහතා නිර්දය සාහිත්‍ය විචරකයකු ලෙස පතලව සිටියේය. කෙසේ හෝ වේවා පල්ලේවෙල රැඟුªම් පාලක මණ්ඩලයේ සභාපති ධූරය දැරුවේ දැලි පිහියක් අතට ගත් වඳුරෙකු ලෙසය. ඔහු චිත්‍රපට රාශියක්ම සිය නිෂේධ බලය යොදවමින් තහනම් කළේය. මේ අතරට සිංහල චිත්‍රපට රාශියක් ද විය. පල්ලේවෙල ගේ කතුර ඉතා බලසම්පන්න එකක් විය. බර්ග්මාන් සිනමා උලෙළ ආරම්භ වනුයේ මේ පසුබිම යටතේය. කෙසේ වෙතත් යහපත් අකාරයෙන් සියල්ල විසඳේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. ඒ අවදියේ මෙරට ස්වීඩීන තානාපති කාර්යාලයක් නොවූ අතර මෙරට පිහිටියේ කොන්සල්් ජනරාල් කාර්යාලයකි. මගේ මතකයේ හැටියට චිත්‍රපට ගෙන්වා ගනු ලද්දේ ද ඉන්දියාවේ පැවැති ස්විඩීන තානාපති කාර්යාලය ඔස්සේය.

උලෙළේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් ශෘංගාරාත්මක ජවනිකා රාශියක් තිබුණේ ද සයිලන්ස් චිත්‍රපටයේ බැවින් සංවිධායකයන් බොහෝ දෙනා සිතා සිටියේ එය පල්ලේවෙල ගේ කතුරට හසු වනු ඇති බවය. පුදුමය නම් සයිලන්ස් බේරිණි. කතුරට හසු වූයේ ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්ය. එහි දර්ශන කිහිපයක් ඉවත් කරන්නේ නම් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ හැරීය හැකි බව පල්ලේවෙලගේ මතය විය. ඉවත් කළ යුතු වූයේ එහි කුඩා දරුවන් විහිළුවෙන් සනසන ඥාතියකු අධෝ වාතයෙන් පහනක් නිවන දර්ශනයක් හා සිය පියාගේ මරණය පසුපසින් යන දරුවන්ගේ පිරිමි දරුවා කුණුහරුප කියමින් යාමය. කෙසේ හෝ වේවා මේ දර්ශන ප්‍රදර්ශන සඳහා අවසර නොලැබිණ. මෙය මහත් අන්දෝලනාත්මක සිදුවීමක් විය. මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය කලා පොලිසිය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා දෙන ලද්දේ මේ සිදුවීමෙන් පසුවය. සමාජ වෙබ් අඩවි නොමැකි එකල අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ තිබුණේ පුවත්පත් ඔස්සේ පමණි. අවම වශයෙන් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ද නොවීය. කලා පොලීසියට විරුද්ධව දවසින් දවස මතවාද ගොඩ නැංවිණ. බොහෝ දෙනා සිතා සිටියේ ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් ඉතා ශෘංගාරාත්මක චිත්‍රපටයක් හැටියටය. උලෙළෙහි ප්‍රදර්ශනය සඳහා අවසර නොලැබුණ ද විශේෂ ආරාධිතයන් සඳහා දර්ශන දෙකක් පැවැත්වීමට ස්වර්ණ සංඛ පදනම මෙන්ම නාහට නාහන තිස්ස අබේසේකරයන් ද කටයුතු කළේය. එම දර්ශන සඳහා සහභාගි වූයේ ප්‍රවීණ විචාරකයක් ඇතුළු පිරිසකි. මෙයින් එක් දර්ශනයක් මරදානේ එල්ෆින්ස්ටන් ශාලාවේදී ද තවත් දර්ශනයක් රජයේ චිත්‍රපට අංශයේ ශාලාවේදී ද පැවැත්විණ. හොඳ හොඳ කෑලි බලන්නට ගිය විද්වතුන්ගේ මුහුණු ඇකුළුණ ද, යහපත් සිනමා කෘතියක් ප්‍රසිද්ධ කරන්නට නොහැකි වීම පිළිබඳ බහුතර සිනමා විචාරකයන් දැඩි මතවාදයක් ගොඩ නැංවූහ.

ඒ අතරවාරයේ කොළඹ සමාජීය හා සාමුහික කේන්ද්‍රය මඟින් ආර්. පල්ලෙවෙල මහතාටත්, ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට අවස්්ථාවක් ලබා දුන්නේය. ඔහු ඒ සඳහා සහභාගි වූවා පමණක් නොව ආවේගශීලීව ප්‍රශ්න කළ එහි සිටි බොහෝ තරුණයන්ට සිය පෙරකදෝරු ගැට අස්සෙන් අවඥාවෙන් සිනාසෙන්නට ද සමත් විය. කොටින්ම ඔහු ප්‍රශ්න අස්සේ ලස්සනට ලිස්සා ගියේය. බර්ග්මාන් චිත්‍රපට උලෙළ ෆැනී ඇන්ඩ් අලෙක්සැන්ඩර් ගෙන් තොරව හැම දර්ශනයක්ම 'හවුස් ෆුල්' කොට මරදානේ එල්ෆින්ස්ටන් ශාලාවේදී තිරගත කෙරිණ. ඉතා පුළුල් සංස්කෘතික සංවාදයකට මුල පිරිණ. ඉන් පසුව ස්වර්ණ සංඛ පදනම ප්‍රංශ චිත්‍රපට උලෙළක් පැවැත්වීමට කටයුතු යෙදුවද එහි තිරගතවීමට නියමිත ල' පසරෙල්ලි ඇතුළු චිත්‍රපට තුනක්ම තහනම් කෙරුණෙන් උලෙළ නොපැවැත්විණ. එයින් පසුව ස්වර්ණ සංඛ පදනම ප්‍රංශ මහා සිනමාකරු ෆ්‍රාංශුවා ටෲෆෝ ගේ උලෙළක් සංවිධානය කළහ. තවත් දස වසරක් ගෙවිණ. පල්ලේවෙල ද පරලෝ සැපත් විය. තවත් චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ වින්සන් ෆිල්ම්ස් අධිපති රංජිත් පෙරේරා සිනමා විචාර ලේඛක සංගමය හා එක්ව යළිත් වරක් ස්වීඩන් සිනමා උලෙළක් 1999 වසරේ ඉදිරිපත් කෙරිණ. එවර කිසිදු රූප රාමුවක් ඉවත් කිරීමකින් තොරව ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් තිරගත කෙරිණ. එහෙත් දස වසරකට පෙර කලා පොලිසිය මඟින් ඇති කළ 'ප්‍රබෝධය' නිසා එවර මහජනයා සඳහා දර්ශන වාර දෙකක්ම පවත්වන්නට සංවිධායකයන්ට සිදු විය.