වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මාත් එක්ක වැඩ කරන්න නම් ඒ ගැන හදාරලා එන්න ඕනෑ

මාත් එක්ක වැඩ කරන්න නම් ඒ ගැන හදාරලා එන්න ඕනෑ

පසුගිය සතියේ පැවැති දෙරණ සම්මාන උලෙළේ හොඳම අංගරචනා ශිල්පියා ලෙස සම්මාන ලබන්නේ නාරද ධනංජි තොටගමුවයි. මේ වනවිට සම්මාන රැසකට උරුමකම් කියන තරුණ පරපුරේ සිටින දක්ෂ අංග රචනා ශිල්පියෙක් වන ඔහු මෙවර ‘හැඩවැඩමැද’ හැඩ කරයි. මුලින්ම රංගන ශිල්පියෙක් ලෙස පාසල් වේදිකාවෙන් සිය කලාවේ ආගමනය ආරම්භ කරන ඔහු ගමරාළ දිව්‍ය ලොකේ ගියහැටි ගැන කළ වේදිකා නාට්‍යයේ ගමරාළ ලෙස ද රංගනයේ යෙදෙයි. එතැනින් නොවතින මේ කොලු ගැටයා නර්තනයද හදාරා තුරුණු ශක්ති සෞන්දර්යය චාරිකාවේ වේදිකාවෙත් නර්තනයේ නියැළෙන්නේ තම අනෙකුත් දක්ෂකම් පිළිබඳ ද කියා පාමිනි. ඒ වනවිටත් හොඳටම නළු උණ වැලදී තිබීම නිසා ඔහු කොළඹට පැමිණෙන්නේ නළුවක් වීමේ අදහසිනි. ඒ අනුව ඔහු පළමුව කරන්නේ ටවර් හෝල් රඟහල පදනමෙන් කරන නාට්‍ය පාසලට ඇතුළත් වීමයි.

මේ රංගන පාසලේදියි ඔබ මේ දැන් නියුතු අංග රචනා ශිල්පයට මූලික අඩිතාලම වැටෙන්නේ ?

මෙහිදි අංගරචනා පන්තියට එන්නේ ජයන්ත රණවක මහත්තයා. ඔහු එහිදී කරන ලද විවිධ කාරණාත් සමඟ මගේ සිතේ මේකප්වලට කැමැත්තක් ඇති වෙනවා. ඒ අතර එහි කෙරෙන විවිධ නිර්මාණ කටයුතුවලට මම අංගරචනයෙන් උදව් වෙනවා. මෙන්න මේ අවස්ථාවෙදියි මා තීරණය කරන්නේ අංගරචනා ශිල්පියෙක් වන බව. ඒත් මේ අතර මම විවිධ නිර්මාණවල රඟපෑවා. අන්දර වැට ටෙලි නාට්‍ය මාලාවේ එක් නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා.

අංග රචනා ශිල්පියෙක් විදියට මුලින්ම වැඩකටයුතු ආරම්භ කරන්නේ කුමන නිර්මාණයෙන් ද?

මම වැඩ කරන්නේ ස්වාධීන රූපවාහිනයේ අනුර ජයසේකර මහත්තයා යටතේ. ඒ ‘කම්මිත්ත’ කියන ටෙලි නාට්‍යයේ. ඒ වනවිට මම අංගරචනා ශිල්පය ගැන දැනගෙන සිටියේ නැහැ. අඩුම ගණනේ මට කටු රැවුලක්වත් දමා ගන්න බැහැ. වේදිකාවේ අංගරචනය ගැන දැනගෙන සිටියත් මේ මාධ්‍ය මට අලුත්. එහි එක් අවස්ථාවකදි කටු රැවුල දමන්න මට කියලා දෙන්නේ රොජර් අයියා. වරක් ඔහුගේ අතින්ම හොඳම අංගරචනා ශිල්පියා විදියට මම සම්මානයත් ලබා ගන්නවා. ඒ අවස්ථාවෙදිත් මම මේ ගැන ඔහුට මතක් කළ බව මට මතකයි.

ඉදිරි කටයුතුවලදි මේ තත්ත්වය ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?

ඊට පස්සේ එක්තරා නිර්මාණයකදි එහි සිටිය නෝබට් රත්නසිරි කියන දක්ෂ කැමරා ශිල්පියා මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒයි ‘නාරද උඹ දන්නවද ඩේ ලයිට් එකෙයි ටන්සන් ලයිට් එකෙයි වෙනස’ කියලා. මම ඔහුට පිළිතුරු දෙන්නේ ‘දන්නෑ’ කියලයි. එහෙමනම් උඹ මේ ලයිටි දෙකේ වෙනස දැනගෙන වරෙන්කෝ මේකප් කරන්න කියලත් ඔහු මට පැවසුවා. ඔන්න ඊට පස්සේ මම මේ ගැන හොයන්න ගන්නවා.

ඔබ මේ වෙනස ගැන සොයා ගන්නේ කොහොමද?

ඒ වනවිටත් මම සහය අංගරචනා ශිල්පියෙක් විදියට කටයුතු කරලා තිබුණේ නාට්‍ය දෙකක පමණයි. ඊළඟට මම දැන ගත්තා අංගරචනා කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නොවෙයි කියන එක. එතකොටමයි ජයන්ත රණවක මහත්තයාගේ අංගරචනා පන්තිය පටන් ගන්නේ. මෙතැන්දි මම මතක් කළ යුතුම පුද්ගලයෙක් ඉන්නවා. ඒ අපේ ගමේ දිසානායක අයියා. ඔහුයි මට මේ පන්තියට යන්න අවශ්‍ය කෝස් පීස් එකේ ගණනේ මුදල්වලින් භාගයක් දෙන්නේ. ඒ වනවිට අපේ අම්මටවත්, තාත්තාටවත් මට ඒ තරම් මුදලක් දෙන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතිරි මුදල මට දෙන්නේ සුනෙර පදනමෙන්. මේ පන්තියේදි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එතැනින් වැටුණු පදනම වර්ධනය කර ගන්න මට අවස්ථාවත් ලැබිලා තිබුණා. ඒ ඒ වනවිටත් මම විවිධ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩකටයුතු කළ නිසයි. විශේෂයෙන්ම ප්‍රියන්ත ප්‍රනාන්දුට මෙහිදි ස්තූති කළ යුතුයි. ඒ අවස්ථාව ලබා දෙන්නේ ඔහු නිසයි. මේ ඉගෙන ගැනීමෙන් පස්සේ මම සහභාගි වෙන්නේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයා අධ්‍යක්ෂණය කළ ‘සුදුහාමිනේ’ ටෙලි නාට්‍යයටයි.

‘මහතලා හටන’ ටෙලි නාට්‍යය ඔබගේ කලා ජීවිතයේ කඩඉමක්?

ජනක චමින්ද අත්තනායක කියන පුද්ගලයාගේ හමුවීමයි මේ සඳහා මුල පුරන්නේ. අනුර මාධව ජයසේකර කළ මේ නාට්‍යයට මාව යෝජනා කරන්නේ ඔහුයි. මේ නිර්මාණයේදි මම, මගේ උපරිමයෙන් වැඩ කරනවා. මේ නිසයි ඊට පස්සේ මට ‘කළුවර ගෙදර’ ලැබෙන්නේ. මේ සඳහා කළ මේකප් එකට සුදත් අයියා ඉහළින්ම කැමැති වෙනවා. මේ අතර මා කළ නිර්මාණ දෙකම විකාශය වෙන්නට පටන් ගන්නවා. එතැනින් පස්සේ මේ නිර්මාණවලට සම්මාන ලැබෙනවා. ඒ සියල්ල සමඟ සමන් කුමාර ලියනගේගේ ‘සඳගිරි පව්ව’, ‘මොනර තැන්න’, ‘රන්තලිය වලව්ව’ ඇතුළු නිර්මාණ රැසකම වැඩ කරන්න ලැබෙන්නේ ඊට පස්සෙයි. ඒ වගේම මේ සෑම අවස්ථාවකදිම මොකක් හෝ පර්යේෂණ කටයුත්තක නියැළීමත් මගේ එක් අරමුණක් වුණා.

ඒ වගේ නිර්මාණයක් තමයි රන්තලිය වලව්ව කියන්නේ ?

මෙහිදි තිබුණු එක් චරිතයක් සඳහා කොස්තටික් මේකප් එකක් කරමුද කියලා මම සමන් අයියාට යෝජනා කරනවා. ඒ සඳහා තරමක වැඩි මුදලක් ගියත් ඔහුගෙන් ලැබුණු අවසරය මත ඒ කටයුත්තේ නියැළෙන්න අවසර ලැබෙනවා. මගේ ජීවිතයේ මේ මේකප් එක කළ පළමු වතාව භාවිත වුණේ මේ අවස්ථාවටයි. මේ ඔස්සේ මා පිළිබඳ දැන ගන්න බොහෝ අය ඔවුන්ගේ නිර්මාණවලට මට කතා කරනවා. මේ සියලු නිර්මාණ ඔස්සේ මේකප් කරන්න ලැබුණු නළු - නිළියන් වුණත් උපරිමයෙන් මට සහයෝගය ලබා දුන්නා. ඔවුන් වුණත් මාත් සමඟ වැඩ කරන්න බොහොම කැමැති වුණා.

මෙතෙක් ඔබ මේ ශිල්පයේ යෙදීමේදී කළ නිර්මාණවලින් බොහොම මහන්සියෙන් අංගරචනා කටයුතු කළ චරිත තියෙනවද?

මා අංගරචනා කළ සෑම චරිතයක්ම මට සුවිශේෂයි. ඒත් බොහෝ රස මුසු සිදුවීම්වලින් පිරුණු සමහර අවස්ථා තිබෙනවා. ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේදියි මේ සිදුවීම් සිද්ධ වුණේ. කුමාර තිරිමාදුර බොහොම මහන්සිවෙලා වැඩ කරලා ඇවිත් හොඳටම නිදි. ඒ නිසා මම ඇහැරවන්න නැතිව මේකප් එක දැම්මා. අනෙක් අයටත් මේකප් එක දමලා අන්තිමට ගිහින් මම කුමාර අයියාව සෙව්වා. මට ඇහෙනවා කවුරු හරි වොෂ් රූම් එකට වෙලා මුහුණ සෝදන සද්දයක්. ගිහින් බැලින් නම් මම දැම්ම මේකප් එක කුමාර අයියා හෝදනවා. ඒ ගැන කිව්ව විතරයි ඔහු යළිත් මුහුණේ සබන් පිටින්ම දුවගෙන ආවත් වැඩක් වුණේ නැහැ. ඒ නිසා නැවතත් ඔහුට මේකප් එක දාන්න මට සිද්ධ වුණා.

අද මේ ශිල්පය විකාශය වෙන්නේ ගුරු - ගෝල සම්බන්ධතාවක් මතයි. මේ යන විදිය නිවැරැදිද?

ඒ අපේ ලංකාවේ අංගරචනය විකාශය වුණු විදියයි. නමුත් එහිදි අපට කොයිතරම් දේ මග හැරෙන්න පුළුවන්ද? ගුරුතුමාට නිර්මාණයක් ඇතුළේ කිසියම් හෝ දෙයක් කරන්න අවස්ථාව ලැබුණේ නැත්නම් ඒ දෙය ගුරුතුමාගෙන් ගෝලයට එන්නේ නැහැ. මේ නිසා මම විශ්වාස කරන්නේ මේක ගුරු-ගෝල සම්බන්ධතාවකට වැඩිය එහාගිය ඇකඩමික් වැඩක් විය යුතු බවයි. ලෝකයේ සෑම අංගරචනා ශිල්පියෙක්ම වගේ ඉන්නේ මේ ශිල්පය ගැන ඉගෙන ගෙනයි. එහෙම කළ යුත්තේ අංග රචනා ශිල්පය කියන්නේ වැදගත් වගේම වගකිවයුතු ශිල්පයක් නිසයි. ඒ නිසා මගෙත් එක්ක වැඩ කරනවා නම් ඒ අය අනිවාර්යයෙන්ම ජයන්ත සර් ළඟ මේ කෝස් එක කරලා, ඒ ගැන හදාරලා එන්න ඕනෑ.

එහෙම කරන්නට බලපාන හේතු මොනවාද?

අපට හමුවන කැන්වස් එකයි මුහුණ කියන්නේ. ඒ ඔස්සේ අපි මතු කරන්නේ සියුම් කාරණායි. බ්‍රෂ්පාරවල්වලින් අපි සියුම් චරිතයක් හදා ගන්නවා. ඒ චරිතයට අදාළ දත්ත පිළිබඳ හොඳ අවබෝධයක් සහය අංගරචනා ශිල්පියාට තිබිය යුතුයි. කුමක් කරන්නේ ද යන්න පිළිබඳ දැනුමක් ඔහු සතුවිය යුතුයි. ඒ වගේම දර්ශන තලයේ දී කන්ටිනියුටි එක තියාගෙන පවත්වාගෙන යන්න ඔහුට හැකිවිය යුතුයි. අංගරචනා ශිල්පියා විදියට මම අනෙක් අයගේ අංගරචනා පිළිබඳවත් බැලිය යුතු වෙනවා. ඒ නිසා එකම තලයක ඉගෙන ගත්තට පස්සේ මේ අයට අඩු වෙන්නේ අත්දැකීම් විතරයි. නමුත් එහි තාක්ෂණික කාරණා ටික ඔවුන් දන්නවා. අනෙක් එක දර්ශන තලයකට ගියාට පස්සේ අපිට ඒ අයට උගන්න, උගන්න ඉන්න වෙලාවක් නැහැ. ඒ මේ නිර්මාණ කරන අය ඒ සම්බන්ධයෙන් විශාල වියදමක් කරන නිසා. මේ නිසා අප ඒ සියලු කාරණා සැලකිල්ලට ගත යුතුයි.

අංගරචනා ශිල්පය සම්බන්ධයෙන් අන්තර්ජාතික තලය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොම ද?

අන්තර්ජාතිකව මේ කාරණය ගත්තොත් අංග රචනා ශිල්පයේ ඩිසයිනර් කෙනෙක් ඉන්නවා. එයා යටතේ අංගරචනා අංශ ප්‍රධානීන් ඉන්නවා. අංගරචනා ශිල්පීන් ඉන්නවා. සහය අංගරචනා ශිල්පීන් ඉන්නවා. මේ කණ්ඩායමෙන් චරිතයක් නිර්මාණය කරනවා යැයි සිතන්න. ඊළඟට කරන්නේ අවශ්‍ය තාක්ෂණික කාරණා ටික සොයාබලා කිරීමයි. ඉන් පස්සේ ඒක ඇප්ලයි කරලා බලලා, එහි වගකීම අංගරචනා ශිල්පියාට භාරදීමයි සිදුවන්නේ. එතැනදි එයා ඒ දර්ශන තලයේ අංගරචනා ශිල්පියා. එයා ඒක ඇප්ලයි කරනවා. ඒ කන්ඩිෂන් එක පවත්වා ගෙන යනවා. මේ විදියට අංගරචනයේදි කටයුතු කළොත් සියුම් කාරණා අපට මග ඇරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මම කියන්නේ අංගරචනය කියන්නෙත් කණ්ඩායම් වැඩක් කියලයි. මම නිතරම වගේ වැඩ කරන්නේ කණ්ඩායමක් විදියටයි. එහිදි මගේ කණ්ඩායමේ ඉන්න කෙනෙකුට භාරදෙන මේකප් එකකට මම අත තියන්න යන්නේ නැහැ. ඩිසයින් කරනවා නම් ඒක එයාටම කියලා කරවනවා නම් එයා තමයි ඒ කාර්ය දිගටම කළ යුත්තේ. හේතුව මම මගේ වැඩෙත් කරන ගමන් ඒ කෙනාගේ මේකප් එකත් කරන්න ගිහින් වැඩ අනාගන්න ඕන නැති නිසයි. නමුත් මේ සියල්ල සිද්ධ වෙන්නේ මගේ අධීක්ෂණය යටතේ. මෙන්න මේකයි අන්තර්ජාතික තලයේ වන්නේ. හැබැයි ලංකාවේ නම් මේක ටිකක් අමාරුයි.

ඔබ කලින්ම මේකප් ටෙස්ට් එකක් ඉල්ලන නිසා එය ගැටලුකාරි තත්ත්වයක් වුණු අවස්ථා තියෙනවද?

එහෙම දේවල් තියෙනවා. ඒ වෙලාවෙදි මම මේකප් ටෙස්ට් එකක් ඉල්ලුවා. නමුත් ඒක ලැබුණේ නැහැ. ඒ වගේ දේවල් මේ අවස්ථාවට ලොකුවට උලුප්පන්නත් මම කැමැති නැහැ. එහෙම වුණත් මම කියන්නේ අංගරචනා ශිල්පින් විදියට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන විට අපේ විවිධ අයිති තිබෙනවා. එවැනි අයිතිවලට කවුරු හෝ විරුද්ධ වෙනවා නම් මම ඒ කාරණයට විරුද්ධ වෙනවා. එවැනි අවස්ථාවල ගත්ත තීන්දු තීරණත් මේ ක්ෂේත්‍රයේ අය දන්නවා. මම කියන්නේ ඒ අයිතිය මට තිබිය යුතුයි. ඒ අයිතිය ඕනෑම අංගරචනා ශිල්පියෙකුට තිබිය යුතු බවයි. මේ පිළිබඳ තියෙන රසවත් අත්දැකීම තමයි ටෙලි නාට්‍යයකදි සරත් අයියා සම්බන්ධයෙන් තියෙන්නේ. ඔහුට මේකප් ටෙස්ට් එක කරන්න ඕනෑ හින්දාම අපිත් උදේ පාන්දරම ලෑස්තිවෙලා අධ්‍යක්ෂගේ කාර්එකේ ඉන්නවා. සරත් අයියත් තොප්පියකුත් දාගෙන ත්‍රිවිලර් එකෙන් බැහැලා අපිව මුණ ගැහෙන්න එනවා. ඔහුව දැක්ක ගමන් අපි දෙන්නටම පුදුම හිතුණා. මොකද ඔහු ඒ පැමිණි විදියයි අපට උවමනා මේකප් එක වුණේ. එතැනදි විශේෂයෙන්ම කියලා මේකප් එකක් අපි එයාට දැම්මේ නැහැ.

මේ ලැබුණු සම්මානය පිළිබඳත් යමක් කියමු ?

චිත්‍රපට සම්බන්ධයෙන් මුලින්ම සම්මානයක් ලැබුණේ මේ සම්මාන උලෙළෙදියි. ඒක ගැන මට සතුටුයි. මොකද ඉස්සර ඉඳලාම සිනමාවයි අපේ හීනය වුණේ.