වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණීගේ සුරය මගේ බෙල්ලෙ එල්ලෙයි

ගාමිණීගේ සුරය මගේ බෙල්ලෙ එල්ලෙයි

'ආචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයට නවක නළු නිළියන් අවශ්‍ය කර තිබේ'

1966 වසරේ එක්තරා දවසක 'විසිතුර' පුවත්පතේ එවැනි හෝ එවැනි සමාන දැන්වීමක් පළ වී තිබුණි.

'ඔන්න ස්වර්ණා අපිට හොඳ චාන්ස් එකක් සිරි ගුණසිංහව බලන්න.' අපේ කල්ලියට එක් වූ කමලා කීවාය. කමලාත් අලුත පිට වූ නවකතා, කෙටි කතා හා නිසඳැස් පොත් තලු මරා කිය වූ යුවතියකි. යසෝධරා විද්‍යාලයේම ස්වර්ණා සමඟ ඉගෙන ගත් ඇයත් කොස්ගස් හන්දියේමය.

අපේ කල්ලියේ වූ ස්වර්ණා, කාන්ති, ඉන්ද්‍රා, මර්සි, ප්‍රේමරත්න, තුංගසේන ඇතුළු මගේ ද වීරයකු වූ සිරි ගුණසිංහ ජීවමානව දැක නැත. ඔහුගේ කතා ගුවන් විදුලියෙන් අසා තිබුණි. හෙවනැල්ල, රත් කැකුල, මස් ලේ නැති ඇට, අබිනික්මන නම් ඔහු ලියූ පොත් කියවා අපේ සිත් ගත් මේ ලේඛකයා දැකීමට දැන් අවස්ථාව ලැබී තිබේ.

'ස්වර්ණා, අපි මේකට ඉල්ලුම් කරමු. එතකොට ඉබේටම කැඳවීමක් ලැබේවි. මොකද කියන්නේ' කමලා යෝජනා කළාය.

'අපෝ උඹලා පිස්සු කරන්න එපා . . .' නෝක්කාඩු ස්වරයෙන් ස්වර්ණා කීවාය.

කමලා කාන්ති, ඉන්ද්‍රා කීවේ 'අපි බොරුවක් කරන්නේ, අපි සිරි ගුණසිංහව බලලා එමු'

කමලා ස්වර්ණා වෙනුවෙන් ඉල්ලුම් පත්‍රයක් දැම්මාය.

කැඳවීමක් ලැබිණි. අපි ස්වර්ණා පෙරටු කරගෙන කොළඹ 07 වෝඩ් පෙදෙසේ නිවසක් සොයා ගියෙමු. එය චිත්‍රපටයේ නිෂ්පාදක දොස්තර ලීනස් දිසානායකගේ නිවසය.

ඩී. බී. නිහාල්සිංහ කැමරාවකින් තෝරා ගත් අයගේ පින්තූර ගනී. ආනන්දයට ආ නිසා මම ඔහු හඳුනා ගතිමි. 'මුදු පුත්තු' නරඹා තිබූ නිසා සිරිල් වික්‍රමගේ ද හඳුනා ගත්තේය. ආචාර්ය සිරි ගුණසිංහ, නිහාල්සිංහ, සිරිල් හමුවට ගිය ස්වර්ණා සම්මුඛ පරික්ෂණයට මුහුණ දුන්නේ චකිතයකිනි. ඇය චකිතයකින් අප දෙස වරින්වර බැලුවාය.

පුදුමය පරීක්ෂණයෙන් තේරුණේ ස්වර්ණාය. කොස්ගස් හන්දියේ අපේ මිතුරියට අපි සුබ පැතුවෙමු. පසුකාලීනව ඇය මෙරට බිහි වූ සම්භාවනීය සිනමා කෘති කිහිපයකට දායකත්වය ලබා දුන් විශිෂ්ට අග්‍රගණ්‍ය නිළියක වූවාය. මගේ ප්‍රියතම නිළියන් අතර ඇයට හිමි වන්නේ මුල් තැනකි. ඇය ඒ තරම්ම විශිෂ්ට ගණයේ නිළියකි. ඇය රඟපෑ චිත්‍රපට බලන විට ස්මිතා පටේල්, ෂාබානා ආස්මි, දීප්ති නවාල් ආදී විශිෂ්ට භාරත නිළියන් මට සිහිපත් වෙයි.

මේ අතර මට ගුණරත්න රත්නායක (මාමා) සමඟ ඔහු වේදිකා නිර්මාණ හා වෙස් ගැන් වූ වේදිකා නාට්‍ය කිහිපයකට සහාය වීමට ලැබුණි. මුදලිනායක සෝමරත්න නිෂ්පාදනය කළ සංවත්සරය, ගිනි කඳු, මහදැනමුත්තා සහ කොණ්ඩ කැවුම්, දරු දුක නාට්‍යවල දී මම මාමාට අත් උදව් දෙමින් ඇතැම් නළු නිළියන් හැඩ වැඩ කළෙමි. ඒ. පී. ගුණරත්න, විජේරත්න වරකාගොඩ , සිරිමතී රසාදරී, බෙන් සිරිමාන්න, ධර්ම ශ්‍රී මුණසිංහ, චන්ද්‍රා කළුආරච්චි, වොලී නානායක්කාර ආදීන්ට මම වෙස් ගැන්වීමට සහාය වී ඇත්තෙමි. වේදිකා නාට්‍යවල වෙස් ගැන්වීම් ගැන විශේෂඥයකු වූ ඒ. පී. ගුණරත්න මහතා මගේ හිස අතගා සුබපැතූ දිනය මට අමතක නොවේ.

කොස්ගස් හන්දියේ අපේ නිවසේ ලංකාවේ ප්‍රථම විරුදු නාට්‍යය නිෂ්පාදනය කිරීමේ සංකල්පය බිහි විය. බොරලැස්ගමුවේ විමලවීර පෙරේරා (ඔහු එවකට ලංකාදීප කර්තෘ මාණ්ඩලිකයෙකි) රචනා කළ 'මධුමතී' ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළේය. මේ නාට්‍යයේ රංජිත් දයානන්ද, ෆෙ‍්‍රඩී සිල්වා, විජේරත්න වරකාගොඩ , කිංස්ලි දිසානායක රඟපෑහ. මේ අය නාට්‍ය පුහුණු කළේ අපේ නිවසේදීය. කමල් ඩී. අතුකෝරාළ සංගීතවත් කළ මේ නාට්‍යයේ වේදිකා සැරසිලි හා වෙස් ගැන්වීම ගුණරත්න මාමාය. මම ඔහුගේ සහායට ඩැනී වීමි.

ධර්ම ශ්‍රී කල්දේරා හාපුරා කියා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට පෙරුම් පුරමින් සිටියේය. කොටහේනේ දාවිත් සිංඤෝ මුදලාලි නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ තිර නාටකය කල්දේරා මාමා රචනා කළේ අපේ ගෙදර කළු මේසයේය. මම සී. ආර්. පොතක ඉරි ගසා කොලම් වෙන් කොට කල්දේරා මාමා මේසය වටා රඟමින් කියන දෙබස් සටහන් කර ගතිමි. ඔහු වරෙක නළුවාගේ හා නිළියගේ සංවාදය මට රඟපා පෙන්වයි. 'රංජි පුතා දන්නවාද? බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න දෙබස් කියන්නේත් මේ වගේ. එයාට අයිති හොරොම්බාව වත්තේ දෙබස් කිය කියා බී. ඒ. ඩබ්ලිව්. ඇවිදිනවලු. එයාගේ ගෝලයා - තිමෙතියස් පෙරේරා මොනිටර් ඇක්සයිස් පොතක් අරගෙන පස්සෙන් ගිහින් ඒ දෙබස් ලියා ගන්නවලු. මම කරන්නේත් ඒකයි.'

'එතකොට මාමේ මම ද මාමගේ තිමතියස්? මම අසන විට ඔහු හඬ නඟා සිනාසෙයි.

චිත්‍රපටයේ වැඩ කටයුතු ලහි ලහියේ නිම වෙයි. මා පොතේ ලියන දෙබස් කපා කොටා කල්දේරා මාමා යළි ලියයි. මම ඒවා නැවත ලියමි'.

චිත්‍රපටයේ ගාමිණී, අනුලා, ෂෙල්ටන් සිල්වා, රන්ජිත් දයානන්ද ආදීන් රඟපෑ අතර ගීත සියල්ලම රචනා වුණේ අපේ නිවසේය. සංගීත අධ්‍යක්ෂ ප්‍රේමසිරි කේමදාස කිහිප වතාවක් අප නිවසට ආවේ අමරදේවයන් ගැයූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ රචනා කළ 'සීතල වතුර ගලයි - සිතුවිලි තරඟ නටයි' ගීත තනුව නිර්මාණය කිරීමටය. කේමදාසගේ ගොරහැඬි හඬින් ඔහු ගීතය ගයමින් සර්පිනාව වාදනය කරන විට 'මේ මොන විකාරයක්දැයි' මට සිතුණි. කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේ මේ ගීතය පටිගත කරන විටත් අමරදේවයන් ඒ ගීතය ගයන විටත් මම අමුතුම ආස්වාදයක් විඳ ගත්තෙමි. චිත්‍රපටයක ගීත පටිගත කරන අයුරු දුටු මුල්ම අවස්ථාව එය විය.

මේ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් කිරිබත්ගොඩ නව ජිවන චිත්‍රාගාරයේ ගුණරත්න මාමාගේ කලා අධ්‍යක්ෂණය යටතේ ගෙවල් කිහිපයක්ම ඇතුළත අලුතින්ම නිර්මාණය විය. එයට මම අත් උදව් දුනිමි. චිත්‍රාගාරය එවකට බාරව සිටි හෙන්රි මාස්ටර් අපට බෙහෙවින් උපකාර කළේය. එක යුගයක සිරිසේන විමලවීර මාස්ටර් එහි රජ කරමින් චිත්‍රපට හැදූ මේ පින්බිම එදා පුරන්ව තිබීම අප කාගේත් කනගාටුවට හේතුවක් විය. මම චිත්‍රාගාය පුරා ඔහු සිහි කරමින් ඇවිදිමි. චිත්‍රපටයේ වූ එක් දර්ශනයක් මට ජීවිතයට අමතක නොවේ.

එය ගිනි ගන්නා දර්ශනයකි. චිත්‍රපටයේ රඟපෑ රංජිත් දයානන්ද (ඔහු එවකට ගුරුවරයෙකි. සුරංගනී, කුරුලුබැද්ද, වනමල චිත්‍රපටවල රඟපා තිබුණි) ගිනි ගන්නා නිවසේ සිට එළියට එන දර්ශනයකි. හදිසියේ ගින්න ඇවිලී වහලේ පරාල ගිනි ගෙන ඔහුගේ ඇඟ මතට කඩා වැටුණේ අප නොසිතූ ලෙසය.

රංජිත් වේදනාවෙන් දැඟලුවේය. කලබල වූ සියල්ලෝම රූපගත කිරීම් නවතා රංජිත් වාහනයක නංවා කිරිබත්ගොඩ රජයේ රෝහල වෙත ගෙන ගියහ. 'සීතල වතුර' චිත්‍රපටයේ නිෂ්පාදක දාවිත් සිංඤෝ මුදලාලි මහතා තමාගේ හිත මිතුරු එවකට ඇමතිවරයකුව සිටි දොස්තර ඇම්. සී. ඇම්. කලීල්ගේ පුද්ගලික රෝහලට ඇතුළත් කොට මාස දෙකක් ප්‍රතිකාර කළේය.

සංදේශය, රන්මුතු දූව, චණ්ඩියා, ගැටවරයෝ රඟපෑ ගාමිණී ෆොන්සේකා ගැන පැහැදී සිටි මට 'සීතල වතුර' චිත්‍රපටයේ ගිනි ගන්නා දර්ශනයේ සිටි ඔහු ඊළඟ අවස්ථාවට සුදානම් වූයේ රංජිත් දයානන්ද රෝහලට ගෙන ගොස් පැය කීපයකට පසුවය. මම ගාමිණී සමඟ සිනාසුණෙමි. ඔහු මඳ සිනාවක් පෑවේය. සරමක් ඇඳ උඩු කය නිරාවරණව සිටි ඔහු සුරයක් පැළඳ සිටියේය. කැමරා ශිල්පී ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා යෝධ විදුලි පහන් දල්වා ආලෝකය පාලනය කරමින් සිටියේය. ගුණරත්න මාමා අවස්ථාවෝචිත කලා අධ්‍යක්ෂණය කළේය. වේෂ නිරූපණ ශිල්පී රොහාන් මුදන්නායක වරින් වර ගාමිණී අසලට ගොස් වෙස් ගැන්වූයේය.

උරුවම් බාමින් ගාමිණී සක්මන් කරයි. පැමිණ සිටි අය හා කාර්මික පිරිස ඔහු ගැන අවධානය යොමු කරති. එකල ගාමිණී ඒ තරම්ම ජනප්‍රියය.

'ගාමිණී මහත්තයා සෙට් එක ලෑස්තියි' කවුදෝ ගාමිණීට කීය.

ගාමිණී සුරය ගැලෙව්වේය. වට පිට බැලීය. මට ඔහු අභිනයෙන් කතා කළේය. පුදුමයකි. මම වටපිට බැලීමි. 'මට ද?' මම පිටුපස සිටි අය දෙස බැලුවෙමි.

'ඔයාට . . .' ගාමිණී මට යළිත් කීවේය.

'අයිසේ . . . ඔයා දැන්ම යනවද?'

'නෑ . . . මම හවස් වෙනකම්ම ඉන්නවා'

'මේ සුරය ඔයා ගාව තියා ගන්න. මම ෂූටිං ඉවර වෙලා ගන්නම්'

'හොඳයි'

සුරය හීනි එකකි. රත්ත්‍රන් පාටය. එය වටිනා එකක් යයි මම සිතුවෙමි. මම එය ගෙන ලේන්සුව තුළ රුවා ගෙන කලිසම් සාක්කුවේ දමා ගැනීමට සැරසුණෙමි.

'එපා ඔයා ඕක කරේ දාගන්න' ගාමිණී කීවේය.

මා ගැන ඇයි මේ තරම් විශ්වාසයක් සැලකිල්ලක්? අදමයි දුටුවේ. මට සිතුණි.

ඔහු දර්ශන තලයට ගියේය. මට ලොකු වගකීමක් පැවරී ඇත. නිතරම මගේ අත කමිසය හා බැනියම යටින් ඇති සුරය වෙත ඇදී යයි. මම අතින් එය තද කර ගතිමි. මට එක අතකින් ආඩම්බරයකි.

කෙනෙක් මා ළඟට ආවේය.

'ගාමිණී මහත්තයා අඳුනනවද?'

'නෑ අදයි දැක්කෙත්'

'ඔයා ලක්කාරයෙක්'

'එයා අමුතු කෙනෙක්. හිනා වෙන්නෙත් භාගෙට' ඔහු කීවේය.

ගාමිණී රඟපෑ දර්ශනය රූගත කිරීමට පැය පහක් පමණ ගත විය. ඔහු මා වෙත පැමිණියේය.

'අරක දෙනවද?'

මම සුරය ඔහු අතට දුනිමි. ගුණරත්න මාමා මා අසලට ආවේය.

'ගාමිණී මේ මගේ බෑනා'

'එහෙනම් නියම මිනිහට මම සුරය පරෙස්සම් කරන්න දීලා තියෙන්නේ. කොහෙද ඉගෙන ගන්නේ . . .'

'ආනන්දේ'

ඔහු සිනාසුණා පමණි. මගේ පිටට තට්ටු කොට ඔහු නික්ම ගියේය.

පසුකාලීනව ඔහු මගේ සමීප මිතුරෙකු වූ අතර පසු කලක හෙළ සිනමාවේ සක්විති නමින් ගාමිණී වෙනුවෙන් ග්‍රන්ථයක් ලිවිමට මට භාග්‍යය ලැබුණු අතර මේ අපගේ ප්‍රථම හමුවීමයි.