වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




විමුක්තිගේ ‘සුළඟ ගිනි අරන්’ අන්තර් ජාතික ඇගැයුමට

විමුක්තිගේ ‘සුළඟ ගිනි අරන්’ අන්තර් ජාතික ඇගැයුමට

පසුගියදා නිමාව දුටු ''16 වෙනි ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ'' ( 16th Tokyo FILMeX International Film Festival)  තරඟකාරී අවසන් වටය නියෝජනය කල විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ ගිනි අරන්' (Dark in the White Light) නම් වෘත්තාන්ත සිනමාපටය, ජූරියේ විශේෂ සඳහනකින් (Jury Special Mention) පිදුම් ලැබීය.

2015 වසරේ ''ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙල'' නියෝජනය කිරීම උදෙසා ආසියානු කලාපීය සිනමා සිත්තම් 35 ක් සුදුසුකම් ලැබ තිබූ අතර, ඒ අතුරින් චීනය, ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, තායිලන්තය, තායිවානය, කසකස්ථානය, නේපාලය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් 09ක් නියෝජනය කල සිනමාපට 10ක් උළෙලේ තරඟකාරී අංශය යටතේ තරඟ වැදීමට සුදුසුකම් ලැබීය.

2000 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී, මීට පෙරාතුරුව 2009 වර්ෂයේදී විමුක්ති ජයසුන්දරගේ ''අහසින් වැටෙයි'' (Between Two Worlds) සිනමාපටයත්, 2011 වර්ෂයේදී සංජීව පුෂ්පකුමාරගේ ''ඉගිල්ලෙන මාළුවෝ'' (Flying Fish) සිනමාපටයත්, උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට වරම් හිමිව තිබුණි.. එනමුදු ෆිල්මෙක්ස් සිනමා උළෙලේදී ශ්‍රි ලංකාව සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව ලෙසට මෙය වාර්තා පොත් අතරට එක්වේ.

ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී 'සුළඟ ගිනි අරන්' ලද මෙම ජයග්‍රහණයත් සමග, සිය සිනමාපට උදෙසා විමුක්ති ජයසුන්දර ලද සමස්ථ අන්තර්ජාතික තරගකාරී සිනමා සම්මාන සංඛ්‍යාව 11ක් බවට පත්විය. 2005 වර්ෂයේදී සුළඟ එනු පිණිස (The Forsaken Land) සිනමාපටය තුලින් ශ්‍රී ලාංකේය සිනමාවට අවතීර්ණ වූ විමුක්ති ජයසුන්දර, මේ වනවිට සිය සියළුම සිනමා නිර්මාණ උදෙසා (සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, චත්‍රක්, සුළඟ ගිනි අරන්) අන්තර්ජාතික සිනමා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව තිබීම කැපී පෙනේ. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ , විමුක්ති ජයසුන්දරට අමතරව සිය සියළුම සිනමා නිර්මාණ උදෙසා (අවමය සිනමාපට 03) අන්තර්ජාතික සිනමා සම්මානයෙන් පිදුම් ලද අනෙකුත් ශ්‍රීලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන් වනුයේ සෝමරත්න දිසානායකයන් සහ බෙනට් රත්නායක පමණි.

2015 වසරේ අගෝස්තු මස ස්විට්සර්ලන්තයේදී නිමාව දුටු, ලොව 'ඒ' ශ්‍රේණියේ ලෝකර්නෝ සිනමා උළෙලේ ''ප්‍රධානතම තරඟකාරී අංශය'' හරහා අන්තර්ජාතික සිනමා උළෙල සහභාගිත්වයේ ආරම්භය සනිටුහන් කල 'සුළඟ ගිනි අරන්' මේ වනවිට නියෝජනය කල සමස්ථ අන්තර්ජාතික සිනමා උළෙල සංඛ්‍යාව 07කි. මෙහිදී, Locarno FF-ස්විට්සර්ලන්තය ,  Tokyo FILMeX- ජපානය, Vladivostok IFF- රුසියාව, Festival des 3 Continents ප්‍රංශය, Asia Pacific Screen Awards- ඕස්ට්‍රේලියාව යන සිනමා උළෙලවල ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කල 'සුළඟ ගිනි අරන්' සිනමාපටය ඊට අමතරව Busan IFF  - දකුණු කොරියාව හා Singapore IFF -සිංගප්පූරුව සිනමා උළෙලවල තිරගත කරලීම උදෙසාද සුදුසුකම් ලැබීය.

මහේන්ද්‍ර පෙරේරා, ස්ටීව් ද සිල්වා, බන්දුල විතානගේ, රොෂාන් රවීන්ද්‍ර, රුවින් ද සිල්වා, කෞෂල්‍යා ප්‍රනාන්දු, සුරංගා රණවක, සුලෝචනා වීරසිංහ හා තිලක්ෂිනි රත්නායකගේ රංගන දායකත්වයෙන් හැඩවෙන 'සුළඟ ගිනි අරන්' සිනමාපටයේ කැමරාකරණය චන්න දේශප්‍රිය හා ධනුෂ්ක ගුණතිලක ගෙනි. මිට අමතරව සමන් ඇල්විටිගලගේ සංස්කරණ දායකත්වයද , ලක්ෂ්මන් ජෝසප් ද සේරම්ගේ සංගීත නිර්මාණ දායකත්වයද , ලාල් හරේන්ද්‍රනාත්ගේ කලා අධ්‍යක්ෂණ දායකත්වයද මේ සඳහා හිමිව ඇත.