වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කවදා හෝ නොම්මර එකේ නිළියක් වෙනවා

කවදා හෝ නොම්මර එකේ නිළියක් වෙනවා

- පියුමි උපේක්ෂා

පියුමි නමැති නිළියන් කිහිප දෙනෙකුම අප ක්ෂේත්‍රයේ සිටිති. උපේක්ෂා නම ඇත්තියක් ද අප ක්ෂේත්‍රය නියෝජනය කරයි. ඒ නම් දෙක එකතු වී තැනුණ නමක් ඇති යුවතියක් මේ වන විට රංගන ක්ෂේත්‍රයට පැමිණ සිටියි. ඇය පියුමි උපේක්ෂා වේ. ඒ පියුමි මෙවර ජ්ඕ පිටුව සරසන්නියයි.

පියුමි මං ඔබට කොහොමද කතා කරන්න ඕනෑ?

ගොඩක් අය මට අමතන්නේ පියුමි කියලා. අතළොස්සක් දෙනා උපේක්ෂා කියලත් කියනවා. ඒ නමින් වැඩිය මට අමතන්නේ නැත්තේ උපේක්ෂා නමින් මට වඩා ජනප්‍රිය කෙනෙක් ඉන්නවනෙ. ඒක වෙන්න ඇති.

පියුමි කොහොමද රංගන ක්ෂේත්‍රයට එන්නේ?

මං හා හා පුරා කියලා රඟපාන්න එනකොට මට අවුරුදු පහක් විතර ඇති. කාලෙකට ඉස්සර මගෙ පොඩි යාළු කියලා වීඩියෝත් එකක ළමා ගී තැටි දෙකක් නිකුත් කළා මතකද. මං එහි දෙවැනි තැටියේ ගීත හතරකට පෙනී සිටියා. ඒක තමයි මගේ මුල්ම රංගනය. ඊට පස්සේ 2012 ස්වර්ණවාහිනිය ස්වර්ණ කුමරිය වැඩසටහනට ඇප්ලයි කරලා එහි දෙවැනියා වුණා. ඒත් එක්කම නිරූපණ ක්ෂේත්‍රයට එනවා. ඒ කටයුතු කරන ගමන් තමයි රංගනයට ආවේ.

මොකක්ද ඔබේ පළමු ටෙලි සිතුවම?

ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණය කළ සඳ විනිවිද. මං එහි නර්ස් කෙනෙකුගේ චරිතයක් කළේ. එයින් අනතුරුව පෝය නාට්‍ය කිහිපයක හිටියා. මේ දිනවල විකාශය වන ඉරේෂ් ලොකු බණ්ඩාර අයියාගේ ළබැඳියේ ටෙලි සිතුවමේ මං නදිනි.

පියුමි මේ වන විට නාට්‍ය කිහිපයක රඟපාලා තියෙනවා. වැඩේ අල්ලලා ගිහින් වගේ?

රඟපාන්න ආසයි. නමුත් ඉගෙන ගන්න ඕනෑ. මට ඒක හොඳටම දැනුණා කැමරාව ඉදිරියට ගිය මුල්ම දවසේ.

හොඳටම බය වෙන්න ඇති?

ඔව්නෙ. බය වැඩිකමට ගල් ගැහුණා.

තවමත් ගල් ගැහෙනවද?

අපෝ නැහැ. දැන් හරි.

කොහොමද ක්ෂේත්‍රය ඔබට දැනෙන්නේ?

මං තවම දොර ඇරගෙන කලාවට ආවා පමණයි. තව ගොඩක් දුර යන්න තියෙනවා. ක්ෂේත්‍රය සුන්දරයි. දැනට එහෙමයි මට දැනෙන්නේ.

මොකක්ද පියුමිගේ අනාගත බලාපොරොත්තුව?

අංක එකේ නිළියක් වෙන්න තමයි.

මේ වන විට කී වෙනි තැන ද ඔබ ඉන්නේ?

මං හිතන්නේ දහ වැනි තැන. ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ඇවිත් අංක එකටම එන්න ඕනෑ.

ඉගෙන ගෙන කලාවට ආවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

ඇත්තම හිතෙනවා. ඒත් රඟනොපෑව කාලෙ එච්චරටම මට ඒක හිතුණේ නැහැ. නමුත් දැන් දැන් මට හිතෙනවා මා ඉගෙන ගත යුතුමයි කියලා.

පියුමිගේ පෙම්වතා කලා ලොවේ කෙනෙක්. ඔහු ගැනත් කියමු?

මං හිතන්නේ එයා ගැන කතා නොකර ඉමු. ඔහු ඉන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙනෙ. ඒ නිසා අපි දෙන්නගෙ සම්බන්ධය අපි දෙන්නා දැනගෙන හිටියම ඇති.

හැබැයි ඔබලාගේ ආදරය රහසක් නම් නෙවෙයි අපිට නම්?

ඒ වුණාට . . . දැන්මම නම කියන එක හරි නැහැ නේද.

ඇයි ඔබේ සහකරුවා හැටියට ක්ෂේත්‍රයෙම කෙනෙක්ව තෝර ගත්තේ?

මේ ක්ෂේත්‍රය ගැන දන්නේ මේ ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක්. එතකොට බැඳලා හොඳින් එකට ජීවත් වන්නට පුළුවනි.

ඔබ ඔහොම කිව්වට අපේ රටේ ජනප්‍රිය නිළියෝ රැසක්ම වෙනින් ක්ෂේත්‍රයක කෙනෙක්ව විවාහ කරගෙන සතුටින් කල් ගෙවනවා?

අනිත් අය ගැන මට කියන්නට දන්නේ නැහැ. මං කිව්වේ මං ගැන.

විවාහයෙයන් පසුව රංගන ගමනට වඩා පවුල් ජීවිතයට මුල්තැන දෙනවද?

ඒක එහෙම වෙන්න එපායැ. නමුත් මං හිතාගෙන ඉන්නවා මගේ සහකරුවාව ක්ෂේත්‍රයෙන් අයින් කර ගන්න.

සාමාන්‍යයෙන් විවාහයෙන් අනතුරුව කාන්තා පාර්ශවයේ කෙනානෙ ක්ෂේත්‍රයෙන් සමු ගන්නේ?

මං හිතනවා එයාට මිට වඩා හොඳට ජීවත් වන්න පුළුවන් ක්‍රම ඇති කියලා.

පියුමි ටිකක් සැර පාටයි?

ඔව්. හැබැයි ඒ බව පිටට පෙන්වන්නේ නැහැ මං.

නපුරු චරිතයක් ලැබුණොත් හොඳට නිරූපණය කරයි?

ඇත්තටම මමත් ආසයි නපුරු චරිතයක් කරන්න.

මේ වන තෙක් පියුමි පුංචි තිරයේදී ආදරවන්තියක් වෙලා නැහැ නේද?

ඔව්නෙ. බොහොමත්ම ආසාවෙන් ඉන්නවා පුංචි තිරයේ ආදරවන්තියක් වන්නට. බලමුකො.

ඔබ ඉදිරියේදී වේදිකාවටත් නගින්න සූදානම් වෙනවා කියලා ආරංචියි?

වේදිකා නාට්‍යකට ඇරැයුම් ලැබුණා. ඒක අජාසත් පුවත ඇසුරෙන් නිර්මාණය වන්නක්. නම අජාත චතෲ. රත්නසිරි පරණවිතාන මහත්මයා තමයි අධ්‍යක්ෂ.

පියුමි ඉගෙන ගත්තු පාසල මතක් කළොත්?

කෝට්ටෙ ආනන්ද බාලිකාව.

උපන් දිනය?

1994. 09. 07

ගම?

හෝමාගම.

පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි.

ජීවිතයට වඩාත් සමීපතම කෙනා?

මගේ අම්මා.

මෙතෙක් කරපු ලොකුම මෝඩ වැඩේ?

එහෙම එකක් කරලා නැහැ.

ඔබ ඔය නොකියා කිව්වේ ඔබ බුද්ධිමත් කෙනෙක් කියලද?

අනේ නැහැ. මෝඩ වැඩ කරලා නැහැ කියලා කිව්වේ.

කාටද තුති පුදන්න තියෙන්නේ?

මට උදව් කළ හැමෝටම.

ඒ අය කවුද කියලා නම් වශයෙන් කියන්න අවශ්‍ය නැතිද?

නැහැ. එහෙම කියන්න ගිහින් කාගෙ හරි නමක් මඟ හැරැණොත් ඒ අයට හරි නැහැනෙ.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

නපුරුත් නැති අහිංසකත් නැති කෙනෙක්.