වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සුදු නොමැති ලොවක තනියෙන් ඉඳ පලක් නෑ එදා සිසිර ගැයුවේ මා ගැනයි

සුදු නොමැති ලොවක තනියෙන් ඉඳ පලක් නෑ එදා සිසිර ගැයුවේ මා ගැනයි

ඉන්ද්‍රාණි විජයබණ්ඩාර

'මාගේ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමු වූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ . . .'

සිසිර සේනාරත්නයන් ගී අඹරෙන් වෙන්ව ජීවන ගමනෙන් ද සමුගෙන ගොස් තිබුණ ද ඔහු අපට ඉතිරි කර ගිය ඒ හෘදයාංගම හඬ අදත් ජීවමානය. එදා සිසිර ඉන්ද්‍රාණි සුසංයෝගයෙන් ගී අඹරේ ශ්‍රාවක සිත් අමන්දානන්දයට පත් කළ ඒ සුසංයෝගයේ අද ඉතිරිව ඇත්තේ ඉන්ද්‍රාණි සේනාරත්නයන් පමණි.

ටික කලකින් ගී අඹරේ නොදැකපු ඉන්ද්‍රාණිගේ අලුත් තොරතුරු සොයා අප පිය මැන්නේ සී 3/2, ඇල්විටිගල මහල් නිවාස, කොළඹ 08 ලිපිනය වෙතය. එහිදී අපට හමු වූයේ ගායනයෙන් රසික හදවත් වැලඳ ගත් ඉන්ද්‍රාණි සේනාරත්නයන්ය. මේ ඇය සමඟ කෙරෙන පිළිසඳරකි.

ඔබේ නිහඬ බව සදහටම ගායනයෙන් සමු ගැනීමට ද?

නෑ, ඒක තාවකාලික දෙයක්. සිසිර නැති වෙලා තවම මාස නමයක් විතර. මේ කාලය තුළ මම සංගීතය පැත්තෙන් දුරස් වෙලයි හිටියේ.

ඒ දුරස්වීම තුළ ඉදිරියටත් රැඳෙන්න ද ඔබේ බලාපොරොත්තුව?

මම සිසිර නැති වුණාම සිතාගෙන හිටියේ ගායනයෙන් සදහටම සමුගන්න. ඒත් දැන් නම් හිත මිත්‍රයෝ වගේම මගේ දරුවොත් කියනවා තවදුරටත් ගායනයේ නියැළෙන්න කියලා.

අඩුම තරමේ දරුවන්ගේ ඉල්ලීමටවත් ඔබේ අදහස් වෙනස් වෙයිද?

මම හිතුව වෙනස් කරන්න. බොහෝ විට මගේ දවස ගෙවෙන්නේ විවේකීව. ඒ නිසාම සිසිර නැති පාළුව මට තදින් දැනෙනවා. ඒ අඩුව මට යම්තමින් හෝ මැකිලා යන්නේ මගේ දරු මුනුපුරු මිනිබිරින්ගේ ආදරයත් එක්ක. මම හිතුවා නිහඬව ඉන්නවට වඩා මට තවම ගායනා කිරිමේ හැකියාව තියෙන නිසාම ආයෙත් ගායනයේ නියැළෙන්න.

ඒ කියන්නේ ආයෙත් ඉන්ද්‍රාණි සේනාරත්න ප්‍රසංග වේදිකාවේ?

බොහෝ විට මාගේ ගී ගායනයන් මින් ඉදිරියට එළිමහන් ප්‍රසංගවල දකින්න නැති වෙයි. දැන් මට දුරබැහැර යන්නත් අපහසුයි කකුලේ තියෙන ආබාධයක් නිසාම.

මේ දවස්වල ඔබේ කල දවස ගෙවී යන්නේ කොයි ආකාරයෙන්ද?

මේ අවුරුද්දේ පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය දවසේ තමයි සිසිර නැති වුණේ. ඒ නිසා මම එයා වෙනුවෙන් පින් දහම් කටයුතුවල තමයි මේ දක්වා නියැළිලා හිටියේ. සෑම මාසයකම සිසිර සිහිපත් කරලා මම මැනිංටවුන් හි රාජායතන බෞද්ධ මධ්‍යස්ථානට සාංඝීක දානයක් පිරිනමනවා. ඔය අතරේ මේ මාස නවය පුරාවට මම එයා වෙනුවෙන් සිහිපත් කරලා හුණුපිටිය ගංගාරාමයේ විශේෂ සාංඝීීක දානයක් පිරිනැමුවා. කොළඹ ජාතික මහ රෝහලේ ස්නායු අංශයේ දාසය වෙනි වාට්ටුවට අඩු පාඩුවක්ව තිබුණු බෙහෙත් රැගෙන යන ට්‍රොලියක් පරිත්‍යාග කළා.

සිසිරගේ උපන් දිනය යෙදිලා තිබුණු මාර්තු 29 වැනිදා අනුරාධපුර ජයශ්‍රි මහා බෝධීන් වහන්සේට විශේෂ පින්කමක් සිද්ධ කළා. රුවන්වැලි මහ සැයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මුල්‍යමය පරිත්‍යාගයක් සිද්ධ කළා.

ස්වාමියා වෙනුවෙන් පින්දහම් කටයුතුවල දිගටම නියැළෙන්නද ඔබේ අදහස?

සිසිර, ඉන්ද්‍රානි විවාහ වූදා

එයා වෙනුවෙන් පින් දහම් කරන්න මට දවසක් වෙලාවක් නෑ, හැමදාව වුණත් මම එයා වෙනුවෙන් පිං දහම් කරනවා. සිඟමන් යදින යාචකයෙකුට මුදලක් දුන්නත් මම එයාව සිහිපත් කරලා එයාට පින් අයිති වේවා කියලා සිතින් ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම තමයි මම දන්න කියන පිළිකා රෝගීන් වෙනුවෙනුත් මට හැකි පමණින් සිසිර සිහිපත් කර උදවු උපකාර සිද්ධ කරනවා.

සිසිර ජීවත් වෙලා ඉන්න කාලෙත් බොහෝ පින් දහම් කටයුතුවල නියැළී සිටි පුද්ගලයෙක් නේද?

එයා මිනිස්සුන්ට විතරක් නොවෙයි සතුන්ටත් හරියට ආදරය කළා. ගෙදරට ආපු කවුරු හරි කෙනෙකුට කෑම ටිකක් කන්න දීලා යවන එක එයාගේ ජීවිතයේ සිරිතක් වුණා. අඩුම තරමින් තේ කෝප්පයක් හරි දීම සිරිතක් විධියට එයා ඉටු කළා. එයා හමුවන්න එන කාව හරි කෑමට ආරාධනා කලොත් මම නොවැරැදීම උයල පිහලා කෑම ටික සුදානම් කරනවා.

සිසිර නැති එකේ හුදකලාවේ මේ නිවසට වෙලා කල් ගත කරන්න ද ඔබේ මනාපය?

පොඩි පුතා සමීර මාලඹේ පදිංචි වෙලා ඉන්නේ. ලොකු පුතා සංජය ජර්මනියේ පදිංචි වෙලා ඉන්නේ. දුව සුභානි කුමාරි මැනිංටවුන්වල පදිංචි වෙලා ඉන්නේ. පොඩි පුතා වුණත් නිතර දවල් වරුවට මාත් එක්කම තමයි වැඩි දවසක් ගත කරන්නේ. දුවත් මගේ ගෙදරට කිට්ටුව පදිංචි නිසා නිතර ඇවිත් යනවා. මට එහෙම තනිකමක් කියලා හිතට දැනෙනවා අඩුයි. මේ අවට පදිංචි අසල්වාසීනුත් හරිම හොඳයි. දරුවෝ හැම කෙනෙක්ම මට එයාල ළඟට එන්න කියලා බල කරනවා මේ ගේ විකුණල දාල හරි කුලියට දීල හරි. ඒත් මම කැමැති නැහැ සිසිරත් මමත් එකට හිටිය මේ නිවහන දාලා යන්න. මට ඕනෑ මැරෙන තුරු නිදහස් ජීවිතයක් ගත කරන්න.

සිසිර සේනාරත්න කියන්නේ ජනතා හද බැඳ ගත් ගායකයෙක්. මේ ජන හද බැඳ ගැනීමේ රහස මොකක්ද?

මම හිතන්නේ එයා තුළ තිබුණ නිහතමානීකම, ඒ වගේම එයාගේ ඇඟපතේ රූප ස්වභාවය, රූපයත් සමඟ එයාගේ ළයාන්විත කටහඬ, මානව දයාව මේ හැම දෙයක්ම එයාව ජන හදවත්වලට සමීප කළා.

ජන හද බැඳ ගත් සිසිර ගායනා කළ ගී යළි යළිත් අපිට අසන්න ලැබෙයිද ඉදිරියේ?

ලැබෙයි. මගේ පොඩි පුතා සමීර තාත්තා වගේම දක්ෂයි ගායනයට. එයාට තාත්තාගේ හඬ හොඳට පිහිටලා තියෙනවා. මගේ පුතා ඉදිරියේදී තාත්තාගේ ගී ගායනා කරයි. සිසිර ජීවත් වෙලා ඉන්න කාලෙත් එයාට ගායනය අපහසු අවධියේ පවත්වපු සිසින්ද්‍රා ප්‍රසංගයේ මාත් එක්ක යුග ගී ගැයුවේ සමීර පුතා.

බොහෝ විට ඔබ සිසිර සමඟ යුග ගී ගායනා කළා. අද ඒ අඩුව පුරවන්නේ?

මම යළිත් ගායනයට දැන් පිවිසිලා. බොහෝ දෙනාගේ ඉල්ලීමට මා සමඟ එදා සිසිර කිව්ව කොටස අද මගේම පුතු සමිර තාත්තා වගේම ගායනා කරනවා.

ඇත්තද මුනුපුරෙක් හරි අපූරුවට සිසිරගේ අඩි පාරේ යනවා කියන්නේ?

මගේ පුතාගේ දරුවා සෙනුත් බණ්ඩාර හරි අපූරුවට සිංදු කියනවා. තාම එයාට අවුරුදු දහතුනයි. මම ආසයි පුතාව සංගීතය පැත්තෙන් ඉදිරියට ගෙනි යන්න. පුහුණු වෙන්න පුතත් කැමැතියි. සමීර වගේම එයාගේ පුතත් සිංදු කියන එක මට ලොකු සතුටක්.

ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින අවධියේ ඔබෙන් ඉල්ලීමක් කර තිබුණා කියන්නේ මොකක්ද?

දිගටම ගීත ගායනයේ නියැළෙන්න කියන දේ එයා මට කියා තිබුණා.

සිසිර සේනාරත්න

වෙනත් අය අද ජීවතුන් අතර සිටින අයගේ ගීත කියන වකවානුවක එදා ඔබේ ස්වාමියා ජනප්‍රිය තලයේ වැජඹූ ගීත එවන් බාහිර පුද්ගලයන් නැවත ගායනා කිරීම ගැන ඔබේ අදහස?

මම කැමැති නැහැ මගේ මහත්තයාගේ ගීත කවුරුවත් ගායනා කරලා විනාශ කරනවා දකින්න. මගේ මහත්තයාගේ ගීත දැන් අයිති මට. මගේ දරුවන්ට. මගේ දරුවෝ විතරයි මගේ මහත්තයාගේ ගීත කියන්න ඕනෑ. මම එහෙම කියන්නේ මම දැක්කා මහත්තයා මේ ගීත හදන්න මොන තරම් මහන්සි වුණා ද කියලා. ඒ වගේ මහන්සියක් දරලා හදපු ජනප්‍රිය කරපු ගීත කවුරු හරි විනාශ කරනවට මම කැමැති නැහැ.

ඔබේ ස්වාමියා ගී පද රචනයේ, ගී ගායනයේ, සංගීතයේ තුන් ඈදුල් නිර්මාපකයෙක්?

ගායනය, වාදනය, ගී රචනය කියන තුන් ඉරියව්වෙන්ම හොඳට ශිල්ප ප්‍රගුණ කළ පුද්ගලයෙක් තමයි සිසිර. එයා සිංදු හදන කොට අපිට එයාගේ කාමරයට ඒම තහනම්. මම දරුවො හදිසියේවත් කාමරයට ගියොත් සැර වැර දානවා. එයා මොන දේ කළත් ඒකට උපරිමයෙන් කැප වෙලා කරන්න පුළුවන් උපරිමය ඉෂ්ට කළා.

සිසිර මිය ගියත් හරි ඔබට කලා ලෝකයේ ආරාධනා නැද්ද?

තවම තියෙනවා. සිසිර නැති වුණාට පස්සේ රයිගම් ටෙලි සම්මාන උළෙලට ගීත ගායනා කරන්න මට ආරාධනාවක් ආවා සිසිර වෙනුවට පුතාත් එක්ක ගීත ගායනා කරන්න කියලා. ඒත් මම එයා නැති වෙලා වැඩි කාලයක් නැති නිසා තියන දුක වැඩිකමට, ගායනයේදී මට දැනෙන දුක වැඩිකමට මම ආරාධනය ප්‍රතික්ෂේප කළා. මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේදී මට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානය හිමි වුණා. මේ සම්මානය මටත් සිසිරටත් දෙන්න තමයි එයාලා සැලසුම් කරලා තිබිලා තියෙන්නේ. ඒත් සිසිරගේ හදිසි අභාවය නිසා මට තනියෙන් එය භාරගන්න සිද්ධ වුණා.

සිසිර ඉන්ද්‍රාණිගේ යුග දිවියේ ඇරඹුම කොහොමද?

අපි දෙන්නා 1962 මැයි 31 වැනිදා විවාහ වුණා. අපි දෙන්නාගේ හමුවීම සිද්ධ වුණේ රේඛාව චිත්‍රපටයේ සිංදු කියන්න ගිහින්. සිසිර හලාවත. මම වැලිමඩ. අපේ සම්බන්ධයට මුලදී නම් දෙමාපියන්ගේ විරෝධය එල්ල වුණා. පස්සේ පස්සේ ඒ අමනාපකම් දුරස් වෙලා අපිට ආශිර්වාද කළා දෙපැත්තේම දෙමාපියෝ. අපේ විවාහ ජීවිතයට අවුරුදු පනස් දෙකක්. මේ අවුරුදු පනස් දෙක පුරා අපි දෙන්නා පුදුම බැඳීමකින් ජීවත් වුණා.

1956 තිරයට ආ රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයත් සමඟ ඔබ දෙපළ අඛණ්ඩ ජනප්‍රිය රැල්ලේ ඉදිරියට පිය මනිනවා?

සුදු සඳ එළියේ . . ., වෙසක් කැකුළු . . ., ඕලු නෙලුම් . . ., දඟකාරී මං . . ., මල් සූටික්කෝ . . ., නීල ජලාසේ . . ., සඳ වැසුනට ඉර ගිලුනට . . . මේ වගේ ජනප්‍රිය ගීත රැල්ලක් අපි දෙන්නා වටේ එකතු වෙනවා. එකකට එකක් වෙනස් ගීත කොච්චර නම් අපි දෙන්නා ගායනා කරලා තියෙනවාද.

ඔබ වෙනුවෙනුත් සිසිර ගීත ගායනා කළා කියලයි අපිට දැනගන්න තියෙන්නේ?

ඒක ඇත්තක්. මම එයත් එක්ක යාළු වෙලා ඉන්න කොටත් එයා මට ගීත ලිව්වා, කිව්වා. අපි විවාහ වෙලා ඉන්න කොටත් එයා මට ගීත කිව්වා.

එහෙම කිව්ව එක ගීතයක පද වැලක් කිව්වොත්?

'සඳ වැසුනට තරු නිවුනට කමක් නෑ
මල් වැටුනට තරු නිවුනට කමක් නෑ
ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ
සුදු නොමැති ලොවක තනියෙන් ඉඳ පලක් නෑ . . .'

දේශීය වගේම විදේශීය ප්‍රසංගවලත් එදා සිසිර ඉන්ද්‍රාණි යුවලට ආරාධනා එමටයි?

අපි දෙන්නා රටවල් දාහතරකට ප්‍රසංග සඳහා සහභාගි වුණා. ඒ අතරින් ජර්මනිය, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාවට අපි දෙපාරක් ප්‍රසංග සඳහා ගියා.

සිසිරගේ ගී ගායනා එකතුවක් එළිදක්වන්න අදහසක් නැද්ද?

මේ වනතුරු සිසිර ගායනා කළ ශ්‍රාවකයන් අතරට නොගිය ගීත බොහොමයක් තියෙනවා. මම අදහස් කරලා තියෙනවා ඒ වගේ මිනිස්සු අතරට තවම ආපු නැති ගීත එකතුවක් එයා වෙනුවෙන් එළිදක්වන්න.