වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

දිරිය, ශක්තිය ලැබේවා...

තමන් ගැන පමණක් සිතන කාලයක එසේ නොසිතා අප වැනි කලාකරුවන් සිහිකර උපහාර සහ තිළිණ පිදීම අගය කළ යුතු කරුණකි. තවත් මෙවැනි දේ කිරීමට සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ ශි‍්‍රයා එදිරිසිංහ මහත්මියට ශක්තිය ලැබේවා. ඔබ දෙපළට සදා ලැදි,
 

දේවිකා සුරම්මි

අතුරුගිරිය

ගුරු සිසුනගේ හද තුළ ඇති ආදරය

තරුවක් වගේ ඒ කාලේ බැබළුණිය
සැම පෝයටම සිල් ගන්නා පිනැත්තිය
සුජාතා මැඩම් නිදුකින් සැරදේය
 

සෝමා රණසිංහ

රත්නපුර

වරුණි උත්පලා කෝ?

‘භාරත ගී වින්දන’ වැඩසටහන මුලදී ඉදිරිපත් කළ ප්‍රවීණ නිවේදක මහතා පසුව එම වැඩසටහන නැරඹීමට අප්‍රසන්න වන අයුරින් තමන්ගේ හිතුමතේට ඉදිරිපත් කරද්දී රසිකයන් වන අප එය නැරඹීම අත්හැර සිටියදී වරුණි උත්පලා නම් නිවේදිකාව එම වැඩසටහන නැවතත් ඉතා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කර ඒ වටා යළිත් රසිකයන් ඒකරාශී වන විට, දැනට මාසයක නිහැඬියාවකින් පසුව එම වැඩසටහන නැවතත් පසු ගිය සතියේ සිට විකාශය වෙද්දී, වරුණි උත්පලා නොමැතිව ඉහත කී ප්‍රවීණ නිවේදක මහතාම පසුගිය සතියේ එම වැඩසටහන ඉදිරිපත් කෙරුවේ එම අගනා වැඩසටහන නැවතත් රසිකයන්ට එපා කරවීමටද? මෙම වැඩසටහන වෙත රසිකයන් වන අපව නැවතත් ඒකරාශී කළ වරුණි උත්පලා යළි මෙම වැඩසටහන ඉදිරිපත් නොකරන්නීද? වරුණි උත්පලා කෝ?
 

කඳුරට පැරැණි ගී රසිකයන් ගේ සංගමය වෙනුවෙන්

ධම්මික එල්ලාවල

සිනමාවට අගනා දායකත්වයක්...

සිංහල සිනමාවට නොමනා දායකත්වයක් දැක්වූ, අසරණ ජනතාවට අනුපමේය සමාජ සත්කාරයන් ඉටුකළ ව්‍යාපාර ලෝකයේද ඉහලින් නම රැන්දූ ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිනියට නිවන් සුව පතමු.
 

අයිලින් සෝවිස්

වැලිසර, රාගම

චිත්‍රා කුමාරි ට ප්‍රණාමය...

සෑම අඟහරුවාදාවකම වෙළෙඳ සේවයෙන් සවස 4 ට ප්‍රචාරය වන ‘මා කැමැති ජෝති ගී’ ඉදිරිපත් කරන නිවේදිකා චිත්‍රා කුමාරි පත්තප්පෙරුම මහත්මියට අපගේ ප්‍රණාමය. ඉදිරි වැඩසටහන්වල දී රෝයි ද සිල්වා, ජයන්ත පීරිස්, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, සුමනා අමරසිංහ, ඇන්ජලින් ගුණතිලක යන අයත් සහභාගි කරවා ගන්න.

බී. පී. එස්. බෙලිගම්මන

කෑගල්ල

ජාතික රූපවාහිනියට ගෞරවය...

එදා මෙන් අදත් ජනපි‍්‍රය ගායකයකු, ගීත රචකයකු, සංගීතඥයකු වූ සුනිල් සාන්තයන් පිළිබඳ ‘සුසැර දැහැන’ මඟින් එතුමා නිර්මාණය කළ ගීත කිහිපයක් ප්‍රේක්‍ෂකයාට නැරඹීමට සැලැස්වීම ගැන ජාතික රූපවාහිනියට අපගේ ගෞරවනීය ස්තුතිය.
 

දිනේෂ් ගුණසේකර

මාතර
 

උතුම් සත් ක්‍රියාවක්...

ලක්හඬ ගුවන් විදුලියේ 20 වන සංවත්සරය නිමිති කර ගනිමින් ලක්හඬ ශ්‍රී සම්බුද්ධ රාජ වන්දනා වැඩසටහන බැති සිත් පෙරදැරිව, සැදැහැවත් දෑ හිත කාමීන් හට පූජෝපහාරයක් ලෙස තිළිණ කිරීම ලක්හඬ ගුවන් විදුලිය සිදු කළ සුවිශේෂී උතුම් සත් ක්‍රියාවකි.
 

එච්. ඉන්ද්‍රපාල

සංඝමිත්තා මාවත, මුංහේන

දක්‍ෂයකු ඉවත් වීම ගැන කනගාටුයි...

දෙරණ සිහින තරු මාවතේ පාවී ආ චරිත මවන්නා කනිෂ්ක ප්‍රසාද් තරුණයාට තරගයෙන් ඉවත්වන්නට සිදුවීම කනගාටුවට කරුණකි. එවැනි දක්‍ෂයෙක් දැනට සිටින අවසන් තරග කරුවන් අතර ද නැති බව මගේ හැඟීමයි. මෙය ඔහුට කරන ලද බලවත් අසාධාරණයකි.
 

ඇම්. ඩී. විල්ෆ්‍රඩ්

කට්ටුව, මීගමුව

පණ්ඩිත් අමරදේවයන්ට චිරං ජයතු

දෙසැම්බර් 05 වැනි දින 88 වැනි ඡන්ම දිනය සමරණ පණ්ඩිත් අමරදේව ගාන්ධර්වයාණෙනි, චිරං ජයතු, දිගුකල් නිරෝගීව වැජඹේවා.
 

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ, යාගොඩමුල්ල

රසික ප්‍රතිචාරය මුදල්වලින්....

රසික ආකර්ෂණය වැඩි වශයෙන්ම දිනූ එළිමහන් ප්‍රසංග වේදිකාව සුමියුරු සංගීතයෙන් හැඩ වැඩ කළ අංක එකේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් වූයේ නම් ඒ අර්නස්ට් සොයිසා ප්‍රමුඛ ‘සුපර්ස්ටාර්ස්’ලාම පමණයි. ඔවුන්ට රසික ආකර්ෂණය කොතෙක් දැයි කියතොත් එකල මීගමුව වැල්ල වීදියේ ශාන්ත සෙබස්තියන් මුනිඳු ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් පැවැති සංගීත ප්‍රසංගයේ දී ‘සුපර්ස්ටාර්ස්’ලාට ප්‍රතිචාර දැක්වූයේ මුදල් නෝට්ටුවලින් මාල සදා පැලඳ වීමෙනි. දස අත විසිරී ගිය අර්නස්ට් සොයිසා, සරත් ද අල්විස්, උපාලි කන්නංගර, මහින්ද සිල්වා, මොරිස් ප්‍රමුඛ සාමාජිකයන් නැවත එක්වී සුපර්ස්ටාර්ස් සුපර් කොන්සට් 2015 ප්‍රසංගය සමඟින් නැවත කරළියට පිවිසීම රසික අපගේ බලාපොරොත්තු ඉටුවීමකි.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල, දූනගහ

අනූ තුන් වැනි වියට ආසිරි...

ඇවිදින විශ්ව කෝෂයක් බඳු මහා වියතකු වූ කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද (03) සිය 93 වැනි විය සපුරයි. මාර්ටින් වික්‍රමසිංහයන් ගෙන් පසු දකුණින් බිහි වූ මහා ප්‍රාඥයාට මම නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ පතන්නෙමි.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද, මොරටුව

විනීතාගේ රසාලිප්ත ඉදිරිපත් කිරීම...

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ආලකමන්දාව වැඩසටහන අපගේ සිත්ගත් සුන්දර රසාංගයකි. බොහෝ ප්‍රවීණ කලා ශිල්පි, ශිල්පිනියන්ගේ අප නොදත් නොදුටු බොහෝ දේ ඉතාම රසාලිප්ත අයුරින් එය අධ්‍යක්‍ණය කොට ඉදිරිපත් කරන විනීතා කරුණාරත්න මහත්මියටත් එහි ඉතා හැඟුම්බරව කටහඬ හසුරුවන ක්‍රිශාන්ත දයානන්ද මහතාටත් අපගේ උණසුම් ප්‍රතිචාරය මෙයින් පද කරමු.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

‘මල් සමනල්ලු’ විශිෂ්ටයි...

ජාතික ගුවන් විදුලියේ සිටි එෆ්. එම්. හි ‘මල් සමනල්ලු’ අති විශිෂ්ට ළමා වැඩසටහනකි. එම වැඩසටහන තුළින් ලබා දෙන තොරතුරු මඟින් දැනුම් සම්භාරයක් ළමා පරපුරට ලබා ගත හැක. එය ඉදිරිපත් කරන දිසිනි, ජනිඳු හා නෙතාරාගේ නිවේදන හැකියාව විශිෂ්ටයි. අපි ඔවුන්ට හදවතින්ම සුබ පතන්නෙමු.
 

තිසාරා පූජානි ජයකොඩි, පහන් විස්මිත ජයකොඩි, සුජීව ජයකොඩි, නිලන්ති ජයකොඩි

ශ්‍රී අමරවංශ මාවත, පේරාදෙණිය

තෙලි තුඩක අසිරියෙන් විජය හරසර

බැද්දේගම බැබුන් හාමි අමතකව නැතේ
ගඟ අද්දර පෙම් කැඳවුම අමතකව නැතේ
අවිහිංසක සිනා රැල්ල අමතකව නැතේ
සොඳුරු දැයක් පැතු මිනිසා අමතකව නැතේ

යොවුන් වසන්තය හැඩ කළ සුපුන් සඳ ඔබයි
නිබඳ සිනා රැල් පිරි මුව මඬල ඔබ සතුයි
ගං තෙර, ගී හඬ, සාගර රළ හඬ නිහඬයි
රසික දනන් රඟහල් ළඟ තවම ඔබ සොයයි
 

තිස්ස කුමාර කෝරාළගේ

දිසානෑගම, කොටුගොඩ

S.M.S.

‘පරසතුමල්, තුංමං හන්දිය’ බිහිකළ චිත්‍ර බාලසූරිය ගැන ඇයි කතා කරන්නෙ නැත්තේ.
 

ලක්මාල්

උඩුගම්පොල

සිංහල චිත්‍රපට ගණනාවක් සංගීතයෙන් රස ගැන්වූ සරත් දසනායකයන් ගේ 17 වැනි ගුණ සැමරුව වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ.
 

ගාමිණී මහබාලගේ

පිළියන්දල

ළමා ගීත ළමා හඬින්ම ගායනා කිරීම අප දකින්නේ ඉන්ද්‍රාණි සේනාරත්නගේ සුවිශේෂී හැකියාවක් ලෙසයි. ‘අම්මා ඔබයිනේ අප්පා ඔබයිනේ, හොඳ හොඳ ළමයින් අපි වාගේ, හිතන්නකෝ අයියේ, වෙසක් කැකුළු, සුදු සඳ එළියේ’ වැනි ගීත එයට හොඳම නිදසුන්ය. අද ද ඒ මිහිරි හඬ ඔබ සතුව තිබීම ඔබ ලද භාග්‍යයකි.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ජාතික රූපවාහිනියේ ‘ළබැඳියේ’ ටෙලි නාට්‍යයේ විශ්ව අයියාගේ සහ සමාධි අක්කාගෙ රංගනය අති විශිෂ්ටයි.
 

සන්දීපනී

බෝධිමුල්ල, කුලියාපිටිය

නිරෝෂා විරාජිනී, ඔබ මෙතෙක් ගායනා කළ සෑම චිත්‍රපට ගීතයක්ම එකකට එකක් දෙවැනි නොවේ. ඔබ තමයි මගේ පි‍්‍රයතම ගායිකාව.
 

ෂෙහාන්

තඹුත්තේගම

තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට දායකවන උද්දික අයියේ ඔබගේ ඒ හොඳ ප්‍රතිපත්ති හැමදාම රැකගන්න. සිනමාවට ලැබුණු වත්මන් චරිතාංග නළුවා ඔබ වනු නිසැකයි. ‘පත්තිනි’ ඇතුළු ඔබ රඟපෑ චිත්‍රපට එනතුරු අප පුල පුලා බලා සිටිනවා.
 

ටිරොන්

මාතර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0773124377