වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ප්‍රදර්ශනය කළ ‘ඉංගී‍්‍රසි සහ හින්දි’ චිත්‍රපට කුමක්ද?

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල, තටාකය පාර, කෑගල්ල

අර්ජුන් – ඉංගී‍්‍රසි චිත්‍රපටය ‘මෙලඩි ඔෆ් ලව්’. හින්දි චිත්‍රපටය ‘බිල්වා මංගල්’.

ප්‍රශ්නය – වැඩිම මුදලක් අය කරන ඉන්දියානු නිළිය කවුද?

නෝබර්ට් හෙට්ටිආරච්චි, යටිහේන, මල්වාන

අර්ජුන් – පී‍්‍රඩා පින්ටෝ.

ප්‍රශ්නය – ‘සුදෝ සුදු’ කාව්‍යය ලියූ කලල් ඇල්ලේ ආනන්ද සාගර ‘කේයස්’ නමින් හැඳින් වුණේ ඔහුගේ නමේ මුල් අකුරු තුන එකතු වීමෙන් හැදෙන වචනය නිසාද?

විමල් රණසිංහ, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14

අර්ජුන් – ඔව්, විමල්.

ප්‍රශ්නය - සිංහලෙන් දෙබස් කවා මුලින්ම පෙන්වන ලද හින්දි චිත්‍රපටය කුමක්ද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා

මීටියාගොඩ, මරදානවත්ත

අර්ජුන් – චිත්‍රපටයේ නම ‘සල්ලි එපා’

ප්‍රශ්නය – ‘ආ මග කෙටියි යා යුතු මග දුරයි’ යන ගීතයේ පද රචනය කාගේද?

ඩඩ්ලි ගෝමස්, කටුබැද්ද, මොරටුව

අර්ජුන් – කුලරත්න ආරියවංශ

ප්‍රශ්නය - සිංහල සිනමාවේ දිගම නම ඇති චිත්‍රපටය ලෙස ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ ලෙස පසුගිය සතියක නම් කර තිබුණා. නමුත් ඔබට අමතක වුණා නේද රොබින් තම්පෝ ගේ ‘සමාජයේ අපි ඔක්කොම එක සමානයි’ චිත්‍රපටය. එහි පුංචි යෝධයා ලෙස ප්‍රකට වූ හේරත් බණ්ඩා ද චරිතයක් රඟපෑවා.

උපාලි අමරසිංහ, වඳුරාගොඩ වත්ත, නාන්කුරු ගම, මාවනැල්ල

අර්ජුන් – උපාලි ඔය චිත්‍රපටයේ නම ඔබ සඳහන් කර තිබෙන්නේ වැරදියට. ‘එක’ සමානයි කියලා එහි සඳහන් වන්නේ නෑ. එහි ඇත්තේ ‘සමාජයේ අපි ඔක්කොම සමානයි’ කියා. එතකොට බලන්න ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ නම දිගයි නේද කියා.

ප්‍රශ්නය - ‘කුරුලු රෑන් රෑන් රෑන් සතුට ගේන් ගේන් ගේන්’ ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද?

චන්ද්‍රකාන්ති පියතුංග, දළුගම, කැලණිය

අර්ජුන් – චිත්‍රපටය ‘කපටිකම’.

ප්‍රශ්නය- බිමල් රෝයි ගේ ‘පරක්’ චිත්‍රපටයේ පිටපත දැනට තිබෙනවාද?

සරත් රණසිංහ, කපුගොඩ, මාළිද

අර්ජුන් – ඔව්, සරත් පිටපත තිබෙනවා.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10