වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




හැඩයි - වැඩයි දෙකම තියෙන කොල්ලො ඉන්න හික්කඩුවේ Shiny නැවතත් ප්‍රසංග වේදිකාවට

හැඩයි - වැඩයි දෙකම තියෙන කොල්ලො ඉන්න හික්කඩුවේ Shiny නැවතත් ප්‍රසංග වේදිකාවට

‘ෂයිනි’ 1st night' හෙට බද්දේගමදී

මේ වන විට ප්‍රසංග වේදිකාවේ සුරු විරුකම් පානා සංගීත කණ්ඩායම් බොහොමයකි. ඒ අතරට එක්වන තවත් යොවුන් සංගීත කණ්ඩායමකි හික්කඩුවේ 'ෂයිනි'. මියැසියට පෙම් බැඳි ආදරණීය යෞවනයන් පිරිසකගෙන් සුසැදි 'ෂයිනි' සංගීත කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ජනක දීප්තය. ඔවුන්ගේ මංගල ගී ප්‍රසංගය හෙට රාත්‍රියේ සිට පසුදා පහන් වනතුරු බද්දේගම සතිපොළ අසල ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

'හික්කඩුවේ ෂයිනි' මම හිතන්නේ කලකට ඉහත ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියව තිබූ සංගීත කණ්ඩායමක්?

ජනක දීප්ත හෙවත් 'ෂයිනි' සංගීත කණ්ඩායමේ සොඳුරු නියමුවාගෙන් මා විමසුවේ ඔහු හා කෙටි පිළිසඳරකට එක් වෙමිනි.

ඔව්... ඇත්ත. මීට අවුරුදු දහයකට විතර කලින් ෂයිනි සංගීත කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ නමක් දිනාගෙන හිටියා. ඇත්තටම ප්‍රසංග වේදිකාවේ අපට හොඳ ඉල්ලුමක් තිබුණ වෙලාවකයි අපි එයින් ඈත් වුණේ.

හේතුව?

ඇත්තටම මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඕනෑ නිසා තමයි සංගීත කණ්ඩායමේ වැඩවලින් ඈත් වුණේ. ඒත් මේ වෙන කොට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මගේ අරමුණු, බලාපොරොත්තු ඉටු කර ගන්න මට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ආයෙත් සංගීත කණ්ඩායම ආරම්භ කරන්න තීරණය කළේ ඒ නිසයි.

ෂයිනි මේ අලුත් ගමන පටන් ගන්නේ අලුත්ම සාමාජිකයෝ පිරිසක් එක්ක. මම හිතන්නේ සමහරු ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයෝ වෙලා හිටපු අය?

ඔව්. සමහර ශිල්පියෝ ඉන්නවා අවුරුදු පහළොව, දාසය ලංකවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල  play  කරපු අය. ඔවුන් ඉතාම දක්ෂ, තරුණ ශිල්පීන්. නව ජවයකින් අපට මේ ගමන යන්න පුළුවන් කියා හිතෙනවා.

ඇයි සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලා ආයෙත් සංගීතය පැත්තට නැඹුරු වෙන්න හිතුවේ?

ඇඟේ සංගීතය තියෙන කොට ඒක ඉතිං නවත්තන්න බෑනේ. මම ආසාවට සංගීතය කරන්නේ. එහෙම නැතිව මුදල් ඉපයීමටවත්, වෙන බලාපොරොත්තුවකින්වත් නෙවේ. මුලින්ම මම සංගීතයට ඇලුම් කරන්න පටන් ගත්තේ පාසල් යන කාලේ ඉඳන්. මම රිදම් ගිටාර් එක  play  කළේ. හික්කඩුවේ සෙන්ට්‍රල් එකට මම ගියේ. ඒකේ  A/L කරන කාලේ තමයි මුලින්ම 'ෂයිනි' සංගීත කණ්ඩායම ආරම්භ කළේ.

පන්ති සගයෝ එක්ක?

ඔව්. පන්තියේ යාළුවෝ කීප දෙනෙක්ම හිටියා මුලින්. ඊට පස්සේ සමාජිකයෝ වෙනස් වුණා. දැන් ඉතින් ලොකු වෙනසක් එක්ක තමයි ආයේ මේක පටන් ගත්තේ.

රිදම් ගිටාරය වැයීමේ හැකියාව තිබිලත් ඇයි ඔබ වාදකයෙක් විදිහට සංගීත කණ්ඩායමට දායකත්වය නොදෙන්නේ?

මගේ කාර්යබහුලත්වය නිසා ඇත්තටම පුහුණුවීම් සඳහා කාලය වෙන් කරගන්න අමාරුයි. Band එකේ කට්ටියට උපරිම සහයෝගය දීලා වැඩේ සාර්ථකව කරගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

මේ වෙන කොට ජනප්‍රිය සංගීත කණ්ඩායම් ගොඩක් ලංකාවේ තියෙනවා. එතකොට ඔවුන් 'ෂයිනි'ලාට අභියෝගයක් නෙවේද?

මෙහෙම දෙයක් තියෙනවා. මම තෝරා ගත් ශිල්පීන් සියල්ලම වගේ විශේෂ දක්ෂතා තිබෙන අය. වෘත්තීය මට්ටමේ ශිල්පීන්. ඒ නිසා බොහෝ දුරට මට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකද ඔවුන් සංගීතය ගැන හුඟක් දන්න, සංගීත ශිල්පය ප්‍රගුණ කරපු අය. මම හිතන්නේ ඒ නිසා මට ලොකු අභියෝගයක් වෙන එකක් නෑ ඒක.

සංගීත කණ්ඩායම් ඉතිහාසය දිහා බැලුවොත් අපි දන්නවා බොහෝ විට ඒවා බිඳ වැටුණු අවස්ථා. සාමාජිකයෝ ඉවත්ව ගිහින් නව සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්නවා. ඔවැනි දේවල් අපට අලුත් නෑනේ. ශිල්පීන් පිරිසක් හසුරුවාගෙන දිිගු ගමනක් යන එකත් අභියෝගයක්?

අද කාලෙත් එක්ක ආර්ථිකෙයි හැම දේම බලපානවානේ ඉතින්. මම නම් අපේ ශිල්පීන්ට මාසික වැටුපක් දෙනවා. ඉදිරියේදී ප්‍රසංග සඳහා ඒ අයට වෙනමම මුදලක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒ අර මාසික වැටුපට අමතරව. අපි මේ හැම දේම කරන්නේ ජීවත් වෙන්නනේ. මේ ක්‍රමයට ඔවුනුත් කැමැතියි. ඒ විදිහට සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන්න මට පුළුවන්කම ලැබුණේ ඇත්තටම ව්‍යාපාරිකයෙක් විදිහට මම සාර්ථකත්වයට පත් වූ නිසයි.

දඟකාර, හැඩකාර කොල්ලෝ ටිකක් 'ෂයිනි' සංගීත කණ්ඩායමේ ඉන්නවා?

හැඩයි, වැඩයි දෙකම තියෙන හොඳ කොල්ලෝ ටිකක් අපිට ඉන්නවා. මේ හැමෝටම තමන්ගේ දක්ෂතා තවත් ඔප මට්ටම් කරගෙන එකා වගේ මේ අලුත් ගමනට මුලපුරන්න දැඩි' කැපවීමකින්, උනන්දුවකින් වැඩ කරනවා. මම හිතන්නේ 'ෂයිනි' සාර්ථක ගමනකට ඒ ශක්තිය, එකමුතුකම ලොකු ආශිර්වාදයක් වේවි.

හොඳයි හෙට පැවැත්වෙන සංගීත ප්‍රසංගය ගැන වැඩිදුර යමක් කියමුද?

'ෂයිනි 1st night සංගීත ප්‍රසංගය විශේෂාංග රැසක් සමඟ ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහිදී ප්‍රසන්න වික්‍රමගේ ඔක්ටපෑඩයෙන් බේස් ගිටාර් සෝලෝ එකක් වාදනය කරනවා. මම හිතන්නේ එවැනි හපන්කමක් කරන්න පුළුවන් එකම ශිල්පියා තමයි ප්‍රසන්න. ඒක රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි. සේනානායක වේරලියද්ද, ශානිකා වනිගසේකර, දිමන්ත එල්ලාවල , ජින්ජර්, චාමර රණවක යන ගායක ගායිකාවන් මේ සංගීත ප්‍රසංගය රස ගන්වන්න අප හා එක් වෙනවා. බැද්දේගම ජනතාවට කාලෙකට අමතක නොවන හොඳ ගී ප්‍රසංගයක් පැවැත්වීමයි අපේ බලාපොරොත්තුව.

විශේෂ ස්තුතිය පුද කළ යුතු අය ඉන්නවා නම් මේ ඊට අවස්ථාව?

මේ ප්‍රසංගය සංවිධානය කිරීමේදී සුරංග ජයලත් මහතාගෙන් අපට ලොකු සහයෝගයක් ලැබුණා. ඔහුට විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනෑ. ඒ වගේම හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායම නැවත ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට ඉමහත් කැපවීමක් කළ ඔක්ටපෑඩ් වාදක ප්‍රසන්න වික්‍රමගේත් මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා.