වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කෝපි කඩේ ඇසිලින් සදහටම නික්ම යයි

කෝපි කඩේ ඇසිලින් සදහටම නික්ම යයි

දමිතා සළුවඩන වියෝ වී සත් දවසක් සපිරෙන අද දින සවස පැවැත්වෙන දානමය පින්කමට පැමිණෙන්නට යැයි ඇගේ දියණිය වෙනු, දමිතාට ළෙංගතු වූ සියලු දෙනා හට විවෘත ආරාධනාවක් කරයි. අංක 47/ඒ, ජය මාවත, හැඩිගම, පිළියන්දල පිහිටි ඇගේ නිවසෙහි එම පින්කම සංවිධානය කොට ඇත.

පසුගිය සරසවිය කළාපයේ තෙවැනි පිටුවෙහි ගිලන්ව සිටිනා කලාකරුවන් තිදෙනෙකු පිළිබඳ පුවතක් පළ විය. නම් වශයෙන් සඳහන් කළහොත් ඔවුන් තිදෙනා වූයේ සුසිලා කෝට්ටගේ, නිශාන්ත ද අල්විස් සහ දමිතා සළුවඩනය. ඒ අය ගැන වැඩි විස්තර ඉදිරි සරසවිය කළාපයන් තුළින් බලාපොරොත්තු වන්නට කියා ද එම පුවතෙහි අග සනිටුහන්ව තිබිණි. සුසිලා, නිශාන්ත සහ දමිතා අතරින් සුසිලාත් නිශාන්තත් මේ වන විට විවේකයෙන් තම නිවෙස්වල පසුවන වග ඇසීමට අප වාසනාවන්තය. එනමුදු දමිතා සදහටම නික්ම ගිය වග අසන්නට අපි අවාසනාවන්ත වූයෙමු. පසුගිය සිකුරාදා එනම් විසි හත් වැනිදා ඇයගේ අවසන් සුසුම් පොද වාතලයට මුසු වූයේ සුවහසක් හදවත් කම්පා කරවමිනි'.

මහාමේරු පර්වතය තව මොහොතකින් හිසට කඩා වැටේවි යැයි කිව්වත් එය ද සැහැල්ලුවට ගන්නා තරමේ සිතක් දමිතාට තිබිණ. වෘත්තීය කලාකරුවන් හෑල්ලුවට ලක්වන යුගයක ඇය ඇගේ වටිනාකම තබාගෙන කලාවේ නියැලුණේ එය දේවත්වයෙන් සලකමින්ය. මේ ලිපිය ලියන්නට පෙර මම දමිතා ළඟින් ඇසුරු කළ කලාකරුවන් කිහිප පොළකගෙන්ම ඇය පිළිබඳ ඇසුවෙමි. ඔවුන් සියල්ලම දමිතා සළුවඩන ගැන නොයෙක් දේ කිව්වෝය. ඒ අතර ඔවුන් දමිතාගේ පොදු ගති ලක්ෂණයක් පැවසීය. ඒ තමන් ඇය සමඟ කලා කටයුතුවලට ගිය පසු මවක මෙන් සියලු කටයුතු සොයා බලන කාරණයයි. ඔවුන් බොහෝ සෙයින් සංවේදී වූයේ දමිතාගෙන් පසුව එවන් වූ කෙනෙකු නැති බව කියමිනි.

1948 සැප්තැම්බර් 18 වැනිදා උපන් දමිතා සළුවඩන හා හාපුරා කියා රංගනයට පිවිසෙනුයේ හැංගි හොරා සිනමා සිතුවමෙනි. එය රෝහිණී ජයකොඩිගේ අධ්‍යක්ෂණයකි. එවිට දමිතාගේ වයස අවුරුදු 18 ක් විය. අනතුරුව දෙහිවල වොලීස් නාට්‍ය කණ්ඩායම හා එකතුවන ඇය එමඟින් රඟ දැක් වූ වෙසක් නාට්‍යයන් හි නිතර දක්නට ලැබුණු චරිතයක් විය. ප්‍රේමදාස විතානගේ, කාන්ති ෆොන්සේකා, මාලනී කල්දේරා ඇතුළු නළු නිළියන් රැසක් එකල වොලීස් නාට්‍ය කණ්ඩායමෙහි සිටියහ. දමිතා ඉතා දිගු කාලයක් වොලීස් නාට්‍ය කණ්ඩායමේ සිටියේ තමන්ට මුලින්ම අත දුන් තැනට කෘතගුණ දැක්වීමක් ලෙසටය.

දමිතා රංගනයට පිවිසෙන කාල වකවානුවේ රූපවාහිනී නාළිකා නැත්තටම නැත්තේය. සිනමාව පමණක් අතික්‍රමණය කළ එම දශකයේ දමිතාට සිනමාවෙහි වැඩි අවස්ථාවක් නොලැබුණේ ඇගේ උවන වඩාත් රිදී තිරයට නොගැළපුන බැවිනි. ඇගේ වයසෙහි නිළියන් සිනමාපටයන්හි ප්‍රධාන චරිත මවද්දී ඇයට හිමි වූයේ අතුරු චරිතය. ඒ පිළිබඳ මඳකුදු නොතැකුව දමිතා ඒ සියල්ල ගැන නොසිතමින් වේදිකාවට පිවිසෙන්නේ තම සහජ හැකියාව ඔප මට්ටම් කර ගැනීමටය. ඇයට වේදිකාව හරි ගියේය. ක්‍රම ක්‍රමයෙන් වේදිකාවට ලැබෙන ඇරැයුම් වැඩිවන්නට පටන් ගත්තේය. අපූරු යාළුවෝ, බයිසාගේ වාඩිය, යකඩ සපත්තු, බබානෝනා ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක රඟන්නට ඇයට අවස්ථාව හිමි වූවාය. ඉලක්කමින් ගතහොත් ඇය රඟපෑ නාට්‍ය හත්සියය ඉක්මවයි. එවන් වූ වේදිකා නාට්‍ය ප්‍රමාණයක් රඟපෑ නිළියක් වර්තමානයේ සෙවීම කලු නික සොයනවා වැනිය. නමුත් දමිතා මිය යන තෙක්ම වේදිකාව පොඩ්ඩකටවත් අමතක නොකළාය.

දමිතාව පුංචි තිරයට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ චන්ද්‍රරත්න මාපිටිගමටය. ඔහුගේ සුද්දාහාමි ටෙලි සිතුවම දමිතාගේ පළමු ටෙලි නිර්මාණය විය. තිස්සමහාරාමය පැත්තේ රූගත කළ එයට දමිතා එකතු වූයේ බොහොම ආසාවෙන් බව මාපිටිගම අප හා පැවසීය. දමිතා වඩාත් ජනප්‍රිය චරිතයක් වන්නේ කෝපි කඩේ ඇසිලින්ගේ චරිතය සමඟිනි. තමන්ගේ නම අමතක වන තරමට එම නම ජනප්‍රිය වූ හෙයින් වැඩි දෙනෙකු ඇයව ඇමතුවේ ද ඇසිලින් කියාය. දමිතා සළුවඩන මිය ගියා යැයි පවසන විට ක්ෂේත්‍රයේ නොවන ඇතැම් අය ඒ කවුදැයි ඇසූ කළෙක ඒ කෝපි කඩේ ඇසිලින් බව කීවෙමි. 'අයියෝ එයාද' යනුවෙන් ඔවුන් විස්සෝප විය. ඇසිලින් ඒතරම්ම ජනගත වී තිබිණ. සරා, නීල පළිඟු දිය, කෝපි කඩේ ඇතුළු නාට්‍ය තුන්සීයයකට වැඩි ප්‍රමාණයක් ඇගේ ටෙලි රංගන චාරිකාවට ඇතුළත්ය. ඒ අතරින් දෛවෝපගත සිදුවීම වන්නේ දමිතාගේ අවසන් නාට්‍ය වූයේ ද මාපිටිගමගේ ටෙලි නාට්‍යයක් බැවිනි. ඒ සුන්දර පෙමානිස්ය. එහි දමිතා ආරච්චිල මැණිකේ විය. තවමත් රූ ගැන්වෙන සුන්දර පෙමානිස් දර්ශන තලයේ දමිතා නැති අඩුව තදින් දැනෙනවා යැයි නිෂ්පාදන කණ්ඩායමහි හැමෝම පාහේ අපට කීවෝය.

දමිතා නැසීගිය රංගන ශිල්පී දොන් සිරිසේනගේ නෑනන්ඩිය බව බොහෝ දෙනෙකු නොදන්නා රහසක්ය. ඇගේ අක්කාගේ ස්වාමි පුරුෂයා වූයේ දොන්ය. කිසි කලෙක තමන්ගේ මස්සිනාගේ නම විකිණීම නුසුදුසු කරුණක් යැයි ඇය සිතන්නට ඇත්තේය. එහෙයින් ඒ නෑකම ගැන අප ද දැනගත්තේ දමිතා මියගියායින් පසුවය. තම ජීවිතය අවසන් සමය වන තෙක් තවත් විදිහකින් කිව්වොත් අසනීප වී ඇඳට වැටෙන තෙක් දමිතා යුහුසුළුව කලා කටයුතුවල නියැලිණ. ගමින් ගමට යන රෝඩ් ෂෝවලට දමිතා නිතරම පාහේ සම්බන්ධ වූවාය. එලෙස යන අතරතුරදී නවාතැන් ගන්නා ගෙදරකින් කුමක් හෝ සිහිවටනයක් රැගෙන ඒම දමිතාගේ සිරිතක් විය. එලෙස අවසානයට ගිය රෝඩ් ෂෝ එක තිබුණේ කොළඹින් තරමක් දුර වූ රත්නපුර ප්‍රදේශයේය. එහි හිතවත් ගෙදරක දමිතා නවාතැන් ගෙන සිටියේය. එදා යළි කොළඹ පැමිණෙද්දී මතක සටහනක් ලෙස ගෙන එන්නට දමිතාට යමක් නොලැබිණ.

ඒ එම නිවසෙහි දමිතාට දෙන්න තරම් දෙයක් නොතිබුණ බැවින්ය. දමිතාට එදින හිතට හරි නොවීය. අවසානයේ නිවසෙහි කාන්තාව විසින් තමන් නිදා ගන්නා කොට්ටය දමිතාට දෙන ලදී. ඇය එය තුරුළු කරගෙන කොළඹ ආ බව ඇයත් සමඟ ගමනෙහි ගිය උපාලි සිල්වා (සුගතන්) අපට පැවසීය. එය ඇයගේ අවසාන සැමරුම යැයි කිසිවකු හෝ නොසිතන්නට ඇත. මේ වන විට දමිතා අවසන් ගමන් ගොසින්ය. වසර විසි නවයක් තිස්සේ දියවැඩියාව හේතුවෙන් ඇය මහත් වූ පීඩාවකට ලක්ව සිටියාය. කොළඹින් පිට යද්දී ඇගේ දියණිය වූ වෙනු, දමිතාට කොපමණ කිව්වත් පරිස්සම් වන්නට කියා දමිතාට එසේ ඉන්නට නොහැකි විය. ඒ මන්ද යත් නිවසින් පිටදී තමන්ට හිතුමතයට ආහාර පිළියෙල කරගත නොහැකි බැවිනි. වසර විසි නවයක් පුරා ඇය බොන ලද බෙහෙත් ඇගේ ජීවිත ගමනට විරාමයක් තබන්නට ප්‍රධානම හේතුව විය. බෙහෙත් මඟින් දියවැඩියාව පාලනය වෙද්දී ඇය නොදැනුවත්වම අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇගේ වකුගඩු දියවී ගොස් තිබිණ. කාලයක් ගතවෙද්දී දමිතා මෙය දැනගන්නට ලැබිණ. එහෙත් ඇය ඒ පිළිබඳ තඹේකටවත් මායිම් නොකර තමන්ගේ වැඩ කටයුතු සුපුරුදු ලෙස කරගෙන ගියේය.

දමිතා මිය යන්නට දින කිහිපයකට පෙර උපාලි සිල්වාට ඇමතුමක් ගෙන තිබිණ.

“උපාලි අයියේ අපේ අබිලං ගම්පහ ඉස්පිරිතාලෙලු. අපි යමුකො බලන්න. පවු අනේ චන්ද්‍රසිරි අයියා.”

දමිතා කියූ දෙයින් උපාලිට උඩ බිම බැලිණ. තමන් රෝගීව සිටියදී තමන් ගැන නොසිතා වෙන කෙනෙකු ගැන සිතනා දමිතා පිළිබඳ ඔහුට පුදුම සිතිණ. කෙසේ හෝ ව්‍යංගයෙන් දමිතාගේ ඒ ගමන උපාලි පමා කළේය. එය එසේ පමා කළත් දමිතාගේ අවසන් ගමන පමා කරන්නට කාටවත් නොහැකි විය. සියල්ලගේ නෙතඟට කඳුළක් එක් කරමින් පසුගියදා ඇගේ දේහය තුම්බෝවිල පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණ, දමිතාගේ පුවත්පත් ලිපිය අප ලියන්නට සිටියේ මේ අයුරින් නොවේ. නමුත් දෛවය ඇයට සරදම් කරනු ලැබුවාය. ඇයට නිවන් සුව පතනවා හැර වෙන කුමක් කරම්ද?