වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ දේව්දාස් වුණේ අපේ තාත්තා

ලංකාවේ දේව්දාස් වුණේ අපේ තාත්තා

අරුණ ශාන්ත් පුත් සුමිත් ශාන්ත්

ඕලු මලේහි සුදෝ සුදු රුක්මණී දේවි සමඟ ගයන්නේ ඔහුය. පෙරළෙණ ඉරණම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ද ඔහුය. දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස සඳහන් වූයේ ද ඔහුගේ නාමයයි. ඔහු මිය ගොස් වසර 23 ක් සපිරෙන්නේ මේ වසෙර්ය.

තිරයේ පෙම්වතා ලෙසින් රුක්මණී දේවි ඇතුළු රූමත් නිළියන්ට පෙම් කළ අරුණ ශාන්ති ප්‍රේම තරගය, රම්‍යලතා ඇතුළු චිත්‍රපට රැසක පෙම්වතා ලෙස චරිත නිරූපණය කළේය. කොටින්ම දේව්දාස් චිත්‍රපටය සිංහලට නැඟුණේ රම්‍යලතා නමිනි. එහි ප්‍රේමසිරි නැතහොත් දේව්දාස් ලෙස චරිත මැවුවේ අරුණ ශාන්තිය.

පනහ දශකයේ සිංහල සිනමාවේ සුපිරි පෙම්වතෙකු වූ අරුණ ශාන්ති එදා තිරයේ මුල්වරට පෙම් කරන්නට පටන් ගත්තේ සිංහල සිනමාවේ අග රැජිනිය වූ රුක්මණී දේවියටයි. රුක්මණීට පෙම් කරමින් සිනමා රංගනයට එක් වූ අරුණ, රීටා රත්නායක, ක්ලැරිස් ද සිල්වා, කුමාරි මානෙල්, සන්ධ්‍යා කුමාරි, ජීවරණි කුරුකුලසූරිය, අයේෂා වීරකෝන් ආදී එකළ ජනප්‍රිය නිළියන් රැසකට තිරයේ පෙම්වතා විය.

ගායකයකු ලෙසින් ද එකළ ජනප්‍රිය වූ අරුණ ශාන්ති ඕලු මලේ සුදෝ සුදෝ, හද ආදර ප්‍රේම මන්දිරේ, සිරි සුන්දර වේ මනරංජන වේ, නාමු ගිලී පෙම් සයුරේ ආදී ගීත රැසක් අද ද එදා මෙන් ජනප්‍රියව ඇත.

ඔහු මිය ගොස් දශක දෙකක් ඉක්ම ගොස් ඇත ද ඒ සුන්දර කටහඬ ඇසෙන මොහොතක් පාසා යළි යළිත් අරුණ ශාන්ති පිළිබඳ මතකය අවධි කරනුයේ ඔහුගේ පුත් සුමිත් ශාන්ත් පෙරේරා නිසාවෙනි. තාත්තා මෙන්ම ගායනයේ දක්ෂතා පිළිබිඹු කරන සුමිත් අද ගායකයකු ලෙසින් ඉදිරි ගමනක් ආරම්භ කර ඇත්තේ තම පියාණන්ට පින් සිදු වන්නටය.

මේ කතාබහ අරුණ ශාන්ති පිළිබඳ ඔහුගේ පුත් සුමිත් ශාන්ත් පෙරේරා සමඟය.

* චිත්‍රපට නළුවකු, ගායකයකු, අධ්‍යක්ෂවරයකු වු ඔබේ පියා පිළිබඳ ගුණානුස්මරණයකට ඔබ සුදානම් වෙන බවක් ආරංචියි?

ඔව්. මෙතෙක් කලක් තාත්තා වෙනුවෙන් කවුරුවත් ගුණානුස්මරණයක් සිද්ධ කළේ නැහැ. පනහ, හැටේ, හැත්තෑවේ, අසූව දශකවල මේ රටේ කලා ක්ෂේත්‍රයේ සිටිය ප්‍රධාන භූමිකාවක් තමයි තාත්තා. ඒත් ඒ වගේ කෙනෙක් පිළිබඳ අපේ කලා ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වුණේ නැහැ. මම මට තියෙන හැකියාව එකතු කරන් තාත්තා වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න හිතුවා.

* මොකක්ද ඒ ප්‍රසංගය?

'ඕලු මලේ සුදෝ සුදෝ සුමිහිරි ගී සර' කියලා තමයි මම මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ. මේ මාසේ දාසය වෙනිදා කළුතර නගර ශාලාවේ තමයි පවත්වන්නේ.

* එදාට කවුද ගීත ගායනා කරන්නේ?

තාත්තාගේ ජනප්‍රිය ගීත දොළහක් මම එදාට ගායනා කරනවා තාත්තාට උපහාරයක් ලෙසින්. ඒ සඳහා මට ප්‍රියාණි ජයසිංහ, මනෝජි ප්‍රනාන්දු, විනීතා ප්‍රනාන්දු යුග ගී ගායනයෙන් සහාය වෙනවා.

* ඔබේ ගීතත් එදාට ගායනා කරනවාද?

ඔව්. මගේ අලුත් ගීත හතරක් එදාට මම මේ ප්‍රසංගයේදී ගායනා කරනවා. ඊට අමතරව මොහොමඩ් රාෆිගේ හින්දි ගීත මම එදාට මේ ප්‍රසංගයේදී ගායනා කරනවා.

* මේ ප්‍රසංගය ඔබ පවුලේම උත්සාහයක්?

එදාට ක්ලැසික් බොයිස් ප්‍රසංගය සංගීතවත් කරනවා. පාලිත මනරංජන වගේම මගේ බිරිය දයානි චන්ද්‍රිකා පෙරේරා එදාට ප්‍රසංගයට නිවේදන කටයුතුවලින් දායක වෙනවා.

* ඔබේ පියා මිය ගොස් දැනට දශක දෙකක් ඉක්ම ගොසින්. එදා මෙදාතුර මෙවැන්කට ඔබ උත්සාහ නොගත්තේ?

මේ වගේ උත්සාහයක් මම මීට කලින් 2012 වසරේ දෙසැම්බර් මාසයේ කළුතර ජුබිලි ශාලාවේ කළා. ඒ ප්‍රසංගයට මට එදා ලැබුණේ සුළු ප්‍රචාරයක් වුණත් එදා මගේ උත්සාහය හුඟක් සාර්ථක වුණා. අරුණ ශාන්ති ගී උපහාර නමින් තමයි ඒ මුල්ම ප්‍රසංගය පැවැත් වූයේ. ඒ ඇරෙන්න චිත්‍රපට සංස්ථාවෙන් පළ කළ සිංහල සිනමා විශ්ව කෝෂයට මගේ තාත්තාගේ පුංචි සටහනක් ඇතුළත් කළා ඇරෙන්න වෙන නම් කිසිම දෙයක් තාත්තා වෙනුවෙන් කරන්න ලැබුණේ නැහැ.

* ඔබේ පියා සිනමාවට එක් වන්නේ?

1949 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ පෙරළෙන ඉරණම චිත්‍රපටයේ රඟපෑමත් සමඟ.

* පෙරළෙන ඉරණම, තාත්තාගෙත් ඉරණම වෙනස් කළා?

ඒ කතාව හරි. එවක නිළි රාජිනිය වූ රුක්මණී දේවි සමඟ තමයි තාත්තා මුල්වරට රංගනයට පිවිසෙන්නේ. ඒ අතින් තාත්තා හරි වාසනාවන්තයි.

* පනහ දශකයේ සුපිරි පෙම්වතෙක් වන තාත්තා සිනමාවේ බොහෝ චරිත අතරට එකතු වෙනවා?

පෙම්වතකු සේම වැඩිහිටි චරිතත් තාත්තා කළා. ටිකිරා, හොඳයි නරකයි, දුප්පතාගේ හිතවතා, චණ්ඩි පුතා, ජය අපටයි, ඔබටයි ප්‍රියේ ආදරේ, ඔබට රහසක් කියන්නම්, සක්විති රජ, යුක්තියට වැඩ, වැඩ බැරි නම් වැඩක් නෑ ආදී චිත්‍රපට හැත්තෑ පහකට අධික ප්‍රමාණයක තාත්තා විවිධ චරිත රඟපෑවා.

* පියා රංගනය උදෙසා සම්මානයට පවා පාත්‍ර වෙන පුද්ගලයෙක්?

සිනාසෙන්න රත්තරං චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සරසවිය සම්මානයත්, මුහුදු ලිහිණි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ජනාධිපති සම්මානයත් තාත්තාට ලැබුණා.

* ප්‍රේක්ෂක, විචාරක පැසසුම් ලබමින් අරුණ ශාන්ති චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා?

තාත්තාගේ මුල්ම සහ අවසන් චිත්‍රපට අධ්‍යක්ෂණය වුණේ දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයයි.

* චිත්‍රපට රංගනයෙන් පමණක් නොව ගායනයෙන් ද ඔබේ පියා ප්‍රේක්ෂක, ශ්‍රාවක සිත් සතන් පිනවපු පුද්ගලයෙක්?

අපේ රටේ ගීත කෝකිලාවන් වූ රුක්මණී දේවි, ලතා වල්පොල සමඟ තමයි තාත්තා එදා වැඩිපුර ගීත කිව්වේ. නාමු ගිලී පෙම් සයුරේ, ඕලු මලේ සුදෝ සුදෝ අදත් ශ්‍රාවකයන් අතර ජනප්‍රියයි.

* අරුණ ශාන්ති පවුලේ ඔබ විතරද කලාවට සමීප?

අම්මා රෝසි සිලීමා පෙරේරා. ඇය මිය ගොස් දැනට අවුරුදු දහතුනක් වෙනවා. තාත්තාට දරුවෝ හත් දෙනෙක් හිටියා. එක ගැහැනු දරුවකුයි පිරිමි දරුවො හය දෙනෙකුයි. වැඩිමලා වුණේ අරුණ ශාන්ත අද ජීවතුන් අතර නැහැ. ඊළඟට සොහානි ඔගස්ටා. ඇය විවාහකයි. පැට්‍රික් නිරංජන් අද ජීවතුන් අතර නැහැ. නෙවිල් රංජන් අවිවාහකයි. ටෝනි ප්‍රීති අවිවාහකයි. සුමිත් ශාන්ත් විවාහකයි. ඉන්ද්‍රජිත් පෝල් විවාහකයි. මම විතරක් ගායනා පැත්තෙන් කටයුතු කළත් අනික් අය ඒ අයගේ ව්‍යාපාර කරමින් ජීවත් වෙනවා.

* අරුණ ශාන්ති පවුලේ දරුවන් අතරින් ඔබට හිතුණේ නැද්ද තාත්තා වගේ රංගනයට එකතු වෙන්න?

එහෙම උත්සාහයක් තිබුණා තාත්තා රඟපාන කාලේ ඉඳලා. ඒත් මගේ දුර්වලතා නිසා ඒ දේ මගෙන් ඈත් වුණා.

* ඔබේ දුර්වලතා කිව්වේ?

මට දෙබස් කියන්න මතක නැතුව යනවා කොච්චර පිටපත බැලුවත්. රඟපාන කොට පිටපතේ වචන මතක නැහැ. තාත්තා අධ්‍යක්ෂණය කළ දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ සෝනියා දිසාගේ දරුවාට රඟපාන්න මාව තාත්තා ගත්තා. ඒත් මට දෙබස් බෑ. ඉතිං තාත්තා මට කිව්වා පුතේ උඹට සුම්මා තමයි කියලා. කොහොම හරි ඒ චිත්‍රපටයේ මගේ චරිතෙට තාත්තා ගත්තේ සෝනියා දිසාගේම පුතාව.

* ගායනය පැත්තෙන් වුණත් ඔබ වඩාත් උත්සාහ කළේ හින්දි ගීත ගායනයට නේද?

මොහොමඩ් රාෆිගේ, කිෂෝර් කුමාර්ගේ හැත්තෑව දශකයේ හින්දි ගීත කියන්න තමයි මම වඩාත් ආශා කළේ. තාත්තාගේ ගීත වුණත් මම මුල් කාලයේ කිව්වේ නැහැ. අද වුණත් මම තාත්තාගේ ගීත කියන්නේ තාත්තා වෙනුවෙන් තාත්තාට උපහාරයක් ලෙසින්.

* අද ඔබේ වෘත්තීය වෙලා තියෙන්නේ ගායනයද?

මම ප්‍රසංග වේදිකවේ ගී ගයනවා. කළුතර දිස්ත්‍රික්කයේ සංගීත ප්‍රසංගවලට මට නිතර ආරාධනා ලැබෙනවා. ඒ වගේම ප්‍රිය සම්භාෂණ, විවාහ මංගල උත්සවවලට මට ආරාධනා ලැබෙනවා. අවුරුදු දාහතරක් මම කළුතර චිත්‍රා සිනමා ශාලවේ මැෂින් ඔපරේටර් ලෙස රැකියාව කළා. ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියා ආයතනයකත් මම රැකියාව කළා. අද වෙන කොට මගේ පූර්ණකාලින කැපවීම ගායනයට.

* පුංචි තිරයටත් ඔබේ පියා රංගනයෙන් එක් වුණා?

සුභ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයයේ රඟපාමින් තාත්තා පුංචි තිරයට එක් වුණා. ඒ තාත්තාගේ මුල්ම හා අවසන් ටෙලි නාට්‍ය රංගනයත් වුණා. තහනම් නියෝගය කියලා වේදිකා නාට්‍යකත් තාත්තා අවසන් වරට රඟපෑවා. තාත්තා අන්තිමටම රඟපෑවේ වීරා චිත්‍රපටයේ.

* ඔබේ පියා අරුණ ශාන්ති වුණේ සිනමාවට නේද?

මගේ තාත්තාගේ සැබෑ නම අරුණ ශාන්ති නොවෙයි. 1927 පෙබරවාරි 12 වැනිදා තාත්තා කඩුවෙලදී ඉපදුණේ. තාත්තාගේ උප්පැන්නයේ නම තියන්නේ පලිහවඩන ආරච්චිගේ සිරිල් පෙරේරා කියලා. මේ නම චිත්‍රපටවලට උචිත නැහැ කියලා තමයි එඩී ජයමාන්න මහත්තයා පෙරළෙන ඉරණම චිත්‍රපටය කරන්න ඉන්දියාවට ගිය වෙලේ එහෙ ඉන්නේ වැඩි හරියක් ශාන්තිලා කියලා තාත්තාට අරුණ ශාන්ති නම චිත්‍රපටයේ ටයිටල් එකට දාන්නේ.

* පියා කලක් රෝගී තත්ත්වයෙන් පසු වෙලා තමයි මිය ගියේ?

තාත්තාට පෙණහැල්ලේ පිළිකාවක් ඇති වුණා. ඒ රෝග තත්ත්වයෙන් තාත්තා කලක් පීඩා වින්දා.

* එදත් තාත්තාගේ සුව දුක් බලන්න සහෝදර කලා ශිල්පීන් පැමිණියාද?

රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, සුනිල්සෝම පිරිස්, සුනිල් ටී. ප්‍රනාන්දු, කරු දිසානායක, සෝනියා දිසා ඔය වගේ ගොඩක් අය ආව ගියා. තාත්තාගේ අසනීප තත්ත්වයේදී මුදල් අතිනුත් උපකාර කළා. හැබැයි කියන්න කනගාටුයි එදා තාත්තා සිනමාවට හඳුන්වා දුන් නිළියන්ගෙන් එයත් එක්ක එකට වැඩ කළ නිළියන්ගෙන් සෝනියා දිසා හැරෙන්න වෙන කිසිම නිළියක් තාත්තාව බලන්න ආවේ නැහැ.

* අදටත් තාත්තා වෙනුවෙන් ඔබට කලා උත්සවවලට ආරාධනා ලැබෙනවාද?

සමහරුන්ට තාත්තා හිටියාද කියලවත් මතක නැහැ. එහෙම මතකයක් තියෙනවා නම් අඩුම තරමේ තාත්තා ගැන වචනයක් හරි කතා කරයි.

* තාත්තා වෙනුවෙන් ඔබ ඉදිරිපත් කරන ඕලු මලේ සුදෝ සුදෝ සඳහා අනුග්‍රහකත්වයේ නියමුවන් වන්නේ කවුද?

රූපවාහිනී සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු මහත්වරු කෘතවේදීව සිහිපත් කරන්න ඕනෑ.

* ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය දයානි චන්ද්‍රිකා. ඇය කලක් විදේශගත වෙලා ඉඳලා දැන් ලංකාවට ඇවිත් ඉන්නවා. ඇයට නිවේදන කටයුතු හොඳට කරන්න පුළුවන්. දිනුකා නමින් දියණියක් හා ගීත්, කවීෂ් නමින් පුතාලා දෙන්නෙක් ඉන්නවා.

* ඔබේ පියාට වඩාත් ඇලුම් කළ රාජ්‍ය නායකයෙක් හිටියා නේද?

ඒ ආර්. ප්‍රේමදාස මහත්තයා. එතුමා තාත්තාට පුදුම විදියට ආදරය කළා තාත්තාට ඉඩමක් ගෙයක් පවා එතුමා දුන්නා. ඒත් තාත්තා ඒවා භාර ගත්තේ නැහැ. තාත්තා ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් වුණා. තාත්තාගේ රඟපෑම්වලට, ගායනයට ප්‍රේමදාස මහත්තයා හුඟක් ආශා කළා. එතුමාට සමුළුවකට යාමට තිබු බැවින් තාත්තාගේ අභාවයට ඒමට නොහැකිව ඒ වෙනුවෙන් ශෝක ප්‍රකාශයක්, මල් වඩමක් සමග ක්වින්ටස් වීරකෝන් මහතා අත අම්මාට රුපියල් පහළොස් දහසක මුදලකුත් එවා තිබුණා.

* තාත්තා ගැන සිහිපත් කරන්නට ඒ ගැන තොරතුරු කියන්නට ඔබව හඳුනා ගන්නත් රටේ බොහෝ පිරිසක් ඇති. ඒ වෙනුවෙන් ලිපිනය, දුරකථන අංකය මතක් කළොත්?

219 ඒ, ගැමුණු මාවත, දූව පන්සල පාර. කළුතර දකුණ ලිපිනයට ලිපියක් එව්වොත් හරි. සුමිත් ශාන්ත් පෙරේරා නමට 077-1778566, 075-6886862, 075-6780957 අංකයන්ට කතා කළොත් මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්.

* ඔබේ පියා රඟපෑ චිත්‍රපට අතරින් තවත් චිත්‍රපට තුනක් තිරගත වෙන්නත් තියෙනවා නේද?

වෙස්වලාගත් තරුණිය, වීරා, ප්‍රේමයේ නාමයෙන් චිත්‍රපට තුන තවමත් තිරගත වෙන්න තියෙනවා.