වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පැය තුන හතකරට වැඩි කාලයක් ගීත ප්‍රසංග පැවැත්වීම බිහිරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්

Marians Unplugged ප්‍රසංග කලාවෙන් විප්ලවයක් කළා

පැය තුන හතකරට වැඩි කාලයක් ගීත ප්‍රසංග පැවැත්වීම බිහිරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්

“මේරියන්ස්” නලින් පෙරේරා

“කාලාන්තරයක් පුරාම ‘මේරියන්ස්‘ අපිත් එළිමහන් ප්‍රසංග වල music කළානේ. එම ගීත ප්‍රසංග වලදී අපි අත්දැක්ක දේ තමයි අපිට music දෙන්න වුණේ මිනිස්සුන්ගේ කකුල්වලට කියන දෙය. එළිමහන් ගීත ප්‍රසංග කියන්නේ මිනිස්සුන්ගේ මනසට සංගීතය සපයන්න පුළුවන් තැනක් නෙමේ. පැය තුන හතරකට වඩා වැඩි කාලයක් රෑ එළිවෙන තුරු ගීත ප්‍රසංග පැවැත්වීම බිහිරි අලින්ට වීණා වාදනය කරනවා වගේ වැඩක්. ලෝකේ වෙන රටක වුණත් ගීත ප්‍රසංගයක් පවත්වන සුදුසු කාල සීමාව වන්නේ පැය තුනකට අඩු කාලයක්. ඒ අනුව ශ්‍රාවකයන්ගේ මෙන්ම වාදකයන්ගේ ද මනසට හිංසාවක් හෝ පීඩාවක් හෝ නොවන මේ ‘unplugged’ කලාවට ගීත ප්‍රසංග ඉදිරිපත් කිරීම සොයා ගැනීම ගැන මං අද සතුටු වෙනවා. අපේ මේ ප්‍රසංගයට විදේශයන්හී ඉන්න ගීත රසික රසිකාවියන්ගෙන් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඩුබායි වැනි රටකටත් අපේ ප්‍රසංගයේ අවශ්‍යතාව දැනිලා.

අපි පළමුවරට ඩුබායිහිදී 15 වැනිදා ‘Marians Unplugged’ ප්‍රසංගය පවත්වනවා. ඊළඟට මාසයක්ම මේ ප්‍රසංගය සමඟ ඇමෙරිකා කැනඩා සංචාරයටත් මේ දිනවල සූදානම් වෙනවා.“සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයේ නව ඉසව්වක් ස්පර්ශ කරමින් 2006 ජනවාරි මාසයේ දී නලින් පෙරේරා ප්‍රමුඛ ‘මේරියන්ස’ ඇරඹූ unplugged සංගීත කලාව දශයකයක් සපුරන්නට ආසන්න ය.

සංගීත භාණ්ඩයන්ගේ ඝෝෂාකාරී ඒකාකාරී නාදයෙන් හෙම්බත් වූ එළිමහන් ගීත ප්‍රසංග කලාවෙන් මිදී ආත්මීය වූ සංගීත රසයක වින්දනීය අත්දැකීම ගීත ශ්‍රාවකයාට ගෙන දීමට පූරෝගාමී වෙමින් ‘මේරියන්ස්‘ නායක නලින් පෙරේරා unplugged ප්‍රසංග කලාව සොයා ඉදිරිපත් කිරීම මීට දශකයකට පෙර අභියෝගයකට මුහුණ දීමක් විය. අද මේ වනවිට අනිකුත් සංගීත කණ්ඩායම් ද Marians Unplugged කලාව අනුගමනය කරමින් ඔවුන්ගේ ගීත ප්‍රසංග ද පැවැත්වීමට උනන්දු වීමෙන් පැහැදිලි වෙන්නේ නලින් මුහුණ දුන් අභියෝගයෙන් ජයගෙන ඇති බැව් ය. එහෙයින් අපි නලින් සමඟ මෙම කතාබහට එක් වීමු.

“විශේෂයෙන්ම කියන්න ඕනේ, අපි 15 වැනිදා ඩුබායි Sheikh Rashid Auditorium හීදී පස්වරු 7.00 ට පවත්වන ‘Marians Unplugged’ ගීත ප්‍රසංගයට දැනටමත් විශාල රසික ප්‍රතිචාරයක් ලැබෙමින් තිබීම පිළිබඳව. අපි මේ ප්‍රසංගය අරගෙන මැද පෙරදිගට යන පළවෙනි අවස්ථාවයි මේ. අපේ මේ ප්‍රසංගය පැවැත්වීමේ දී ටිකක් වැඩිපුර මුදලක් වැය වෙනවා වුණත් ඒ ගැන නොතකා ඒ රටේ ප්‍රසංග සංවිධායකයින් අපව ගෙන්වන්නේ ඒ තරමට අවශ්‍යතාවය ඇති වී තියෙන හින්දයි. ඉතින් රසය පැත්තෙන් උපරිමය ලබා දීමට අපිත් සූදානම් වෙලා ඉන්නවා මෙහිදී. මට හිතෙනවා unplugged ප්‍රසංග කලාවෙන් අපි බොහොම අපූර්ව විප්ලවයක් කළා කියලා.”

* එම අපූර්ව විප්ලවය කුමක් ද..?

“ගීත ප්‍රසංග කලාවේ දිගු කාලයක් පුරාම පැවතියේ ඒකාකාරී එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමක් පමණයි. ගායක ගායිකාවන් රාශියක් ගී ගයනවා. සංගීත කණ්ඩායම් කිහිපයක් වාදනය සැපයූ අවස්ථා ද තිබුණා. එක දිගටම පැය අට, දහය රෑ එළිවෙන තුරු ඒ සංගීත සංදර්ශන පැවැත්වූණා. වාදකයින්ට වාදන භාණ්ඩ වාදනය කරගන්න තරම් වත් සවියක් නැතුව වාදනය කරනවා. සංගීත භාණ්ඩ වල ශබ්දය විතරයි. රසයක් නැහැ. මිනිස්සු අහගෙන ඉන්නවාද කියලා ඔවුන්වත් දන්නේ නැහැ. ඇහෙනවා විතරයි. දන්නේ නැහැ මොනවද ඇහෙන්නේ කියලවත්. ඒ නිසා ජාතික ගීතය වාදනය කරන විටදීත් ඇතැම් පිරිස් නටනවා. එහෙම රසිකත්වයක්, සංස්කෘතියක් තිබුණු ගීත ප්‍රසංග කලාවට වෙනසක් ‘Marians Unplugged’ මඟින් අපි ඇති කළා. ඒ වෙනස නිසා අපූර්ව විප්ලවයක් මේ වනවිට මේ අපේ ක්ෂේත්‍රයේ සිදුවෙමින් තියෙනවා.

දැන් එළිමහන් ගීත ප්‍රසංගවල පවා ගී ගයන්නේ ගායක ගායිකාවන් කිහිප දෙනෙකු පමණයි. ශාලා තුළ පැවැත්වෙන ගීත ප්‍රසංග වැඩි වීමක් සිදුවෙලා තියෙනවා. එම ප්‍රසංගවලත් ගායක ගායිකාවන් දෙතුන් දෙනෙකු පමණයි ගී ගයන්නේ. රෑ එළිවෙන තුරු පවත්වන සංගීත සංදර්ශන අඩුවෙලා. ගීත රසික රසිකාවියන්ගේ පැත්තෙන් ගත්තාම අපිටම කියලා පිරිසක් ගොඩ නැගිලා ඉන්නවා. ඔවුන් ගීතය, සංගීතය හඳුනා ගෙන හරියාකාර වින්දනයක් ලබන්න හුරු වෙමින් ඉන්නවා. උසස් රසිකත්වයක් අපේ රසික පිරිස් අතර වර්ධනය වෙලා. එමෙන්ම සංගීත කණ්ඩායම් සහ අලුත් සංගීත ශිල්පීන් මේ unplugged කලාව නිසා ලොකු බැඳීමක් ඇති කරගත්තා අපත් සමඟ. එය ලොකු ජයග්‍රහණයක්. දැනෙන වෙනසක් අපේ මේ අපූර්ව විප්ලවයෙන් සිදු වුණා.” 

* unplugged ගීත ප්‍රසංග කලාව හරහා හා සිදු කළ විප්ලවයෙන් සංගීත ක්ෂේත්‍රයට කිසියම් හෝ මෙහෙවරක් සිදු වී තිබෙනවා ද..?

“මෙහෙමයි. මෙය ඉතා ගැඹුරු කාරණාවක්. කෙටියෙන් සරල බසින් කියනවා නම් එක දිගට පැය ගණනාවක් රෑ එළිවෙන තුරු රසිකයින් සංගීතයට සවන් දීම මෙන්ම වාදකයින් වාදනයේ නියැළීමත් සෞඛ්‍යයට අහිතකර තත්වයක්. විද්‍යාත්මක සත්‍යතාවයක් එහි ඇති නිසා තමයි දියුණු රටවල ගීත ප්‍රසංග පැය තුනකට අඩු කාලයකට සීමා වී තියෙන්නේ. ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳන කොට සාමාන්‍යයෙන් ගීත ප්‍රසංග පවත්වන්නේ පැයකට දෙකකටත් අඩු කාලයක්. මිනිස් මනසට, ස්නායු වලට ඔරොත්තු දෙන කාල සීමාවක් ඇතුලේ තමයි අපි සංගීතය වුවත් විඳීන්න ඕනේ. ඒත් අපේ රටේ පැවැතුණේ නිවැරදි ක්‍රමවේදයකට සංවිධානය කෙරුණු සංගීත ප්‍රසංග කලාවක් නොවන හින්දා අපි පුරුදු වෙලා ඉන්නවා සෞඛ්‍යයට පවා අහිතකර අන්දමින් ගීත ප්‍රසංග රසවිඳීන්න.

එමඟින් රසවින්දනයක් ලබන්න හැකියාව ලැබිලා නැහැ. එය මුලාවක්. ඒ නිසා තමයි ගීත ප්‍රසංග නරඹන්න ඇවිල්ලා මිනිස්සු එකිනෙකා ඇනකොට ගෙන ගහ මරා ගන්නේ. මගේ ඇස් දෙක ඉදිරියේ මිනිස්සු ගහ මරාගෙන තියෙනවා. සංගීතය රසවිඳීනවා කියන්නේ වේදිකා ඉදිරියේ මිනිස්සු පිහි වලින් ඇනගන්නවාට ද. නට නටා ඉන්න කොට කෙනෙකු ඇඟේ හැප්පිච්ච පළියට පිහියෙන් ඇනලා මරන්න පුළුවන් මිනිහා මොන මානසික තත්වයකින් ද ඉන්න ඇත්තේ. එතැන සංගීත රස නෙමේ පැතිරිලා තිබිලා තියෙන්නේ, විෂක් නෙමේ ද. කිසිඳු විනයක්, සදාචාරයක් නොමැතිව අයුතු ලෙස හැසිරුණු ඇතැම් පුද්ගලයින් සම්බන්ධ අභාග්‍ය සම්පන්න සිද්ධි ගණනාවකට අපි මුහුණ දීලා තියෙනවා.

මම ගල් පහරවල් කෑ අවස්ථා පවා ඒ අතර තියෙනවා. ඉතින් අපේ මේ unplugged ගී ප්‍රසංග කලාවෙන් පසුව අපි ඒ සියල්ලෙන් ඈත් වුණා. මෙහිදී විකල් වෙන රසිකයින් අපට හමු වන්නේ නැහැ. ඉතාම සංවරශීලිව, සුහදශීලිව ශ්‍රාවකයින් හා අප අතර මේ ගනුදෙනුව දැන් සිදු වෙනවා. සෞඛ්‍යයට, සාමයට, සමාජයට ආදී වශයෙන් කිසිඳු ගැටලුවක් මතු වෙන්නේ නැහැ. පවුල් පිටින් සහභාගි වී රසවිඳීන්න පුළුවන් ප්‍රසංග කලාවක්. ඉතින් මොනතරම් නම් මෙහෙවරක් ද මෙයින් ඉටු වී තිබෙන්නේ කියලා තේරුම්ගන්න පුළුවන් නේද. අපේ unplugged ප්‍රසංගවල ‘හූ’ කියන, අසභ්‍ය විදිහට කෑ ගහන, හැසිරෙන,  අශෝභන ලෙස ඇඳ පැළඳගෙන එන රසිකයින් නැහැ. ක්‍රමානුකූලව ගොඩ නැගෙන මේ රසික පිරිස තව තවත් වැඩි වර්ධනය වෙනවා දැකීමයි අපේ බලාපොරොත්තුව.”

* ඔබ කතා කරන්නේ එදා එළිමහන් ගීත ප්‍රසංග කලාව පිළිබඳව කලකිරීමෙන් ද..?

“ඇත්තෙන්ම ඔව්. අවුරුදු 27 ක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ දුක් ගැහට හොඳට විඳපු මිනිස්සු තමයි අපි. පළපුරුද්දෙන් මං මේ කියන කාරණා වල ලොකු සත්‍යතාවයක් තියෙනවා. එදා මත්පැන් බීලා සිහිය විකල් වූ  මිනිස්සුන්ගේ කකුල් වලට සංගීතය සපයන්නයි අපිට සමහර අවස්ථා වලදී සිදු වුණේ. බාර් වල බීලා වෙරිවෙලා ඔවුන් සංගීත සංදර්ශන පැවැත්වෙන ground වලට එන්නේ රෑ දහයට එකොළහට.

ඊට පස්සේ ඔවුන් ground වල පිස්සු නටන්න ගන්නවා. මං කලාකරුවෙක් විදිහට අන්තයටම කලකිරිලා උන්නේ. ඒත් සංගීතය අතඅරින්න බැරිකමට හැමදේම උහුලා ගෙන ඉඳලා තමයි මේ unplugged කලාව හොයා ගත්තේ. දෙවියන්ගේ පිහිටෙන් අද මේ කලාව කරන්න ලැබිලා තියෙනවා.

මං හරිම අකැමැතියි මේ සමාජයේ පන්ති බේද ඇති කරන්න. ඒ නිසා මං කියන්නේ අද ඔය එළිමහන් ගීත ප්‍රසංග කලාවේ නියැළී ඉන්න අපේ සහෝදර කලාකරුවන් හැමෝටම ලොකු වගකීමක් තියෙනවා, අපේ පහළ සමාජ මට්ටම් වල ඉන්න රසික ජනයාගේ රසඥතාවය නංවා වැඩි දියුණු කිරීමට. එය අපේ යුතුකමක්. මේ සමාජයට ජනතාවට ආදරය කරන කලාකරුවෙකු හැටියට සංගීතයෙන් රසයක් මිහිරක් වගේම හරයක් දීමත් අපේ යුතුකමයි.” 

* ඔබ පෙර පරපුරෙන් ආදර්ශයට ගත් කිසියම් සංගීත කණ්ඩායම් නියමුවෙකු ඉන්නවා ද..?

“කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ අපිට දැනෙන්න, පෙනෙන්න උන්නු යුග පුරුෂයා තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන්. මං එයාගෙන් ගොඩාක් දේවල් මගේ කලා ජීවිතයට අරගත්තා. එයා සංගීත ක්ෂේත්‍රයේ කරපු හොඳම නිර්මාණ, සොයා ගැනීම් ගැන අදටත් අපිට පුදුම හිතෙනවා. ඒ සොයා ගැනීම්, නිර්මාණ තමයි අද අපිට හොඳ නිර්මාණ කරන්න පිටුවහලක් වෙලා තියෙන්නේ. තව ඇනස්ලි මාලේවන, සුනිල් අයියලා (ජිප්සීස් සුනිල් පෙරේරා) වැනි බොහෝ දෙනෙකුත් ඉන්නවා. unplugged කියන ජාත්‍යන්තරය පිළිගත් මෙම ප්‍රසංග කලාව ඉදිරිපත් කිරීමට පුරෝගාමී වෙමින් ඉදිරියට ඒමට පෙර පරපුරේ දක්ෂයින්ගෙන් අපිට ලැබුණු පිටුවහල අපි අගය කරනවා. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. මෙය සැප, සතුට, සැනසීම වෙනුවෙන් තිබෙන හොඳ ආභරණයක්, ආයුධයක් කියලයි මං හිතන්නේ. ඉතින් එළිමහන් ගීත ප්‍රසංග කලාවේ සිරවී නිකම්ම සින්දු කිය කියා ඉන්න තැනින් වෙනස් වී රසඥතාව වැඩි වර්ධනය කරන්න ගීත ශ්‍රාවකයාට, මේ සමාජයට ආදරය කරන්න එමඟින් යහපත අත්විඳීන්න එන්න කියලා මං මගේ සියලුම සහෘදයින්ට ආරාධනා කරනවා.”