වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය සෝමරත්න දිසානායක සිත්ගත් හතක්

ආචාර්ය සෝමරත්න දිසානායක සිත්ගත් හතක්

අද පුදුම හත සුවිශේෂ පුද්ගලයන් හත් දෙනෙකු වෙනුවෙන් වෙන් වුණා. අපේ රටේ කලා ක්ෂේත්‍රයේ දැවැන්ත වූ ඒ චරිතයන් ඉටුකළා වූ මෙහෙවර තවත් දැවැත්න කලාකරුවෙක් දකින ආකාරය පුදුම හතේ මේ අයුරින් සටහන් වුණා. වර්තමානයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසින් භාරදූර කටයුතුත්තක නියැළි සිටින චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායන ඔහුගේ සිත ගත් කලාකරුවන් හත් දෙනා ගැන සඳහන් කළේ මේ අයුරින්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

අපේ ලංකාවේ පමණක් නොවෙයි ආසියාවේත් ලෝකය පුරාමත් සිටින සිනමාකරුවන් අතරේ දැවැන්ත චරිතයක් ලෙසින් මා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාණන් දකිනවා. අපි ආසියාව දෙස බැලුවහොත් ජපානයේ අකිර කුරසොවා, ඉන්දියාවේ සත්‍යජිත් රායි සේම ශ්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් යන නාමයත් විශේෂයි. එදා ඔහු ‘රේඛාව’ නිර්මාණය කර සිංහල සිනමාව යා යුතු රේඛාව පෙන්වා දුන්නා.

අපේ සිනමාවට ඉන්දීය සිනමාවේ රූකඩ වීමට ඉඩ නොදී ඔවුන් අභියෝගයට ලක් කරමින් අපටම අනන්‍ය වූ දේශීය සිනමාවක් හඳුන්වාදීමේ ගෞරවය එතුමාට පුද කළ යුතුයි. දේශීය සම්පත් යොදා ගෙන අපේ විදියට නිර්මාණ කරමින් ජාත්‍යන්තර කීර්තිය ගෙන ආ මේ මහා සිනමාවේදියා අපේ රට ලද මහා සම්පතක්.

මගේ සිනමා ජීවිතය කෙරෙහිද එතුමාගේ නිර්මාණ කළ බලපෑම විශේෂයි. මම එතුමාගේ සිනමා පංති කාමරයේ අධ්‍යාපනය නොලැබුවද සිනමාව කෙරෙහි වූ ලැදියාව ඇති කරලීමට එතුමාගේ නිර්මාණ සමත් වූ බව කීවොත් නිවැරදියි. මටත් එතුමා විසින් අධ්‍යක්ෂණය කළ ‘මඩොල් දූව’ සහ ‘අහසින් පොළවට’ නම් වූ චිත්‍රපට ද්විත්වයේ රංගනයට අවස්ථාව ලැබුණා. එදා ආරම්භ වූ මගේ සිනමා ජීවිතය අද සාර්ථක වී අධ්‍යක්ෂවරයෙක් ලෙසින් විශාල ගමනක් එන්නට ලැබුණේ එදා එලෙස සිංහල සිනමාවේ මහා නිර්මාණකරු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ලද ආශිර්වාදය යි.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේව

පණ්ඩිත් අමරදේවයන් ද සංගීත ක්ෂේත්‍රයේ අපටම වෙන් වූ අනන්‍යතාවයක් නිර්මාණය කළා වූ සුවිශේෂ නිර්මාණකරුවෙක් ලෙසින් මා දකිනවා. ඉන්දීය සංගීතයේ සෙවනැල්ලේ සිටි අපට අපේ සිංහල සංගීතය ඉහළින් ඔසවා තැබීමට කැප වූ සංගීත ශිල්පියෙක් ලෙසත් එතුමා විශේෂ වෙනවා. පළමුවෙන් ආනන්ද සමරකෝන් මැතිතුමා මෙන්ම අනතුරුව සුනිල් සාන්තයන්ද දේශීය සංගීත රටාවක් නිර්මාණය කිරීමෙහි ලා පුරෝගාමි වුණා. ඒ වන තෙක් සංගීතය ලෙස හඳුනගෙන සිටියේ උත්තර භාරතීය සංගීතයයි. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන්ගේ ආභාෂය අනුව අපේ ජන සංගීතයේ නාද රටා අනුව දේශීය නිර්මාණයන් කරන්න එතුමා ගත් උත්සාහය විශේෂයි.

අපට විශේෂ වූ අපේකම රැගත් සංගීත නිර්මාණයන් දායාද කළ අමරදේවයන් වැනි වූ නිර්මාණකරුවන් අපේ රටට මහා සම්පතක්. සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසත් එතුමා කළා වූ සේවය අනභිභවනීය යි. එදා මෙදා තුර එතුමා විසින් කළ සංගීත නිර්මාණ කිසිම නිර්මාණකරුවෙකුට නොදෙවෙනි වූ නිර්මාණයන්. ඔහුටම ආවේණික ළයාන්විත කටහඬ විශේෂයි. එවන් කලාකරුවෙකු ලබන්න අපේ රට වාසනාවන්ත වූවා සේම එවන් කලාකරුවෙකු සිටින යුගයක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්.

හෙන්රි ජයසේන

හෙන්රි ජයසේන නාට්‍යකරුවෙකු ලෙසින් අපේ රටට විශාල සේවයක් කළ පුද්ගලයෙක්. ඔහු සතුව විදේශීය නාට්‍ය කලාව පිළිබඳ තිබූ පරිණත දැනුම මෙන්ම ද්වි භාෂා දැනුම අපේ කලාවට සම්පතක් බඳු වුණා. දේශීය ගැමි සංස්කෘතිය පිළිබඳ අවබෝධය සාහිත්‍ය පිළිබඳ ඇසුපිරු තැන් ඇති දැනුම එතුමාගේ නිර්මාණකරණය සවිබල ගැන්වූවා. එතුමාගේ පරිවර්තන නාට්‍ය අතිවිශිෂ්ට නිර්මාණ ලෙසින් සම්මානයට පවා පාත්‍ර වුණා. හුනුවටයේ කතාව, දිරිය මව, මකරා වැනි නාට්‍ය එතුමා විසින් නිර්මාණ කළ ශ්‍රේෂ්ඨ නිර්මාණ.

බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් කළ මෙහි ඉංග්‍රීසි නාට්‍යය මට ඔස්ට්‍රේලියාවේදි නරඹන්න අවස්ථාව ලැබුණා. නවීන තාක්ෂණය, විශාල පසුතල දර්ශන වැනි වූ ඉතා ඉහළ පහසුකම් යටතේ සිඩ්නි ඔපෙරා නාට්‍ය ශාලාවේදී නැරඹූ එම නාට්‍යවලට වඩා කොළඹ ලුම්බිණි රඟහලේ අවම පහසුකම් යටතේ හෙන්රි ජයසේන ඉදිරිපත් කළ එම පරිවර්තන නාට්‍ය ඉතාම ඉහළ මට්ටමේ තිබුණා. එය දුටු මට හෙන්රි ජයසේනයන් කෙතරම් ශ්‍රේෂ්ඨ අන්දමෙන් මෙම නිර්මාණ කර තිබූ බව වටහා ගත හැකි වුණා. එපමණක් නොව එතුමා ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් අපේ වේදිකාවට දායාද කළා. දේශීය වස්තු බීජ තුළින් අපට ගැළපෙන නිර්මාණත් එතුමා නිර්මාණ කළා. එතුමා අපේ සිංහල වේදිකාව වෙනුවෙන් සිදු කළේ අනූපමේය සේවයක්.

මහාචාර්ය සුනිල් ආරියරත්න

අපට සිටින අරුම පුදුම කලාකරුවෙන් ලෙසින් මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හඳුන්වන්න කැමැතියි. විශ්වවිද්‍යාල මහාචාරයවරයෙක්, ගුරුවරයෙක්, ලෙසින්ද අපට සිටින ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙක් විශිෂ්ට කවියෙක් ගීත රචකයෙක් මෙන්ම අපේ රටේ සිනමාකරුවන් අතරේ සිටින ප්‍රමුඛයෙක් ලෙසත් එතුමා විශේෂ වෙනවා. මේ සියලු අංශයන්හි එතුමාගේ ක්‍රියාකාරිත්වය පුදුම සහගතයි. මෙලෙස බහුවිධ කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ පුද්ගලයන් අපට හමුවන්නේ ඉතාම කලාතුරකින්.

එතුමාගෙන් ගුරුහරුකම් ලද විශාල පිරිසක් අද අපේ රටේ සිටිනවා. ගීත රචකයෙක් ලෙසින්ද ඔහු දෙවැනි වන්නේ මහගමසේකරයන්හට පමණයි. සුනිල් ආරියරත්නයන් විසින් කළ නිර්මාණ ගැන කියනවා නම් එතුමාගේ සිනමා නිර්මාණ සදා මතකයේ රැඳෙන නිර්මාණයන්. මෑතකදී නිර්මාණය කළ කුසපබා, උත්පලවණ්ණා වැනි චිත්‍රපට හැරුණු කොට මීට පෙර සරුංගලය චිත්‍රපටයත් සන්ධිස්ථානයක්. ඔහු වැනි පුද්ගලයෙක් තමාට හිමි පැය 24 තුළ මෙවැනි ක්ෂේත්‍රයන් ගණනාවක කටයුතු කරන්නේ කෙසේද යන්න සිතා ගැනීමත් අපහසු දෙයක්. මා දන්නා තරමින් ඔහු විශ්වවිද්‍යාලයේ කිසිදු දේශනයක් මඟ නොහැරි ආචාර්යවරයෙක්. එතුමාගේ ගීත රචනා පිළිබඳ අධ්‍යයනය කරනවා නම් ආධුනිකයන්හට එම ගීත පරිශීලනය කිරීම ඉතාම හොඳ පාඩමක් ලෙස මම දකිනවා.

ආචාර්ය රෝහණ වීරසිංහ

අපේ පරපුරේ සංගීත ශිල්පීන් අතරේ විශ්වකර්ම සංගීතඥයෙක් ලෙසින් ආචාර්්‍ය රෝහණ වීරසිංහයක් මා හඳුන්වනවා. ඔහු ගායක ගායිකාවන්ට රාශියකට සංගීත නිර්මාණයන් විශාල සංඛ්‍යාවක් කළා වූ අපූරු නිර්මාණකරුවෙක්. ඇතැම් නිර්මාණකරුවන්ගේ නිර්මාණ සංඛ්‍යාව ඉහළ යාම සමඟින් නිර්මාණයන්හි ගුණාත්මක බව අඩුවනු දැනීම සුලබ දෙයක්. එහෙත් රෝහණගේ විශේෂත්වය සංගීත නිර්මාණ රැසක් කළත් ඒ එක් එක් නිර්මාණයෙන් නිර්මාණයට තිබෙන සුවිශේෂත්වය යි.

විවිධාකාර වූ ගායක ගායිකාවන්ට උචිත පරිද්දෙන් එකිනෙකට වෙනස් වූ නිර්මාණ බිහිකිරීම මා රෝහණ තුළින් දකිනා තවත් විශේෂත්වයක්. උත්තර භාරතීය සංගීතය නැත්නම් දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතය එසේත් නැත්නම් දේශීය ජන නාද රටා මේ කුමන අංශයකින් වුවද ඉතා ඉහළ මට්ටමේ නිර්මාණ ඔහු සතුයි. මගේ සිනමා නිර්මාණ සියල්ලේම සංගීත නිර්මාණ කටයුත්ත භාර වුණේ ඔහුටයි. බොහෝ දෙනෙක් මගෙන් අසන්නේ, ඇයි රෝහණ වීරසිංහ පමණක් මගේ චිත්‍රපට සඳහා සංගීතය නිර්මාණය කරන්නේ කියලා. මාහට තිබෙන උත්තරය මෙයයි. රෝහණ මගේ නිර්මාණ සඳහා උපරිම සාධාරණය ඉටු කළා. ඒ චිත්‍රපට සාර්ථවීමේ රහස තුළ රෝහණගේ සංගීතයත් තියෙනවා.

මහගමසේකර

මහගමසේකරයන් හා ඇසුරට මට විශාල කාලයක් ලැබිලා නැහැ. උත්සව අවස්ථා කිහිපයකදී පමණක් එතුමා හමුවීමේ භාග්‍ය මට උදාවෙලා තියෙනවා. ඒ හැරුණාම මිත්‍ර සමාගමක් ලෙසින් ඇසුරට අවස්ථාව හිමිවුණේ නැහැ. එහෙත් මා රසිකයෙක් ලෙසින් එතුමාගේ නිර්මාණ පරිශීලනය කළා. එතුමාත් ක්ෂේත්‍ර කිහිපයක විශිෂ්ටයෙක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ලෙසින් ඔහු දරුදැරියනට විශාල මෙහෙවරක් ඉටු කළා. එසේම ඔහු අති දක්ෂ චිත්‍ර හා මූර්ති ශිල්පියෙක්. අපි දන්නා පරිදි ගීත රචකයෙක්. කවියෙක්. අතීතයේ කොළඹ කවිය සහ පේරාදෙණිය කවිය අතර මත ගැටුම් පැවැති අවධියක මමත් කොළඹ යුගයේ කවි ප්‍රිය කළා. නමුත් මහගමසේකරයන්ගේ නිසඳැස් කවි කියවා එය කෙතරම් හරවත් දැයි තේරුම් ගන්න මට හැකි වුණා.

සිනමාකරුවෙකු ලෙසත් ක්ෂේත්‍ර කිහිපයක් ස්පර්ශ කළ නිර්මාණකරුවෙක් ලෙසින් එතුමා විශේෂයි. චිත්‍රපට අධ්‍යක්ෂණයට පෙළඹෙන විටදී බොහෝ දෙනා මත පළ කළේ එතුමාට චිත්‍රපට අධ්‍යක්ෂණය නොහැකි බව මෙන්ම එය අසාර්ථක නිර්මාණයක් වනු ඇති බවයි. එහෙත් එතුමා නිර්මාණ කළ තුංමං හන්දිය සිනමා නිර්මාණය අපූරු නිර්මාණයක් වුණා. සේකරයන්ගේ ගීත රචනා පිළිබඳ විමසුවහොත් එය විශේෂ වන්නේ සමාජයෙන් උකහාගත් දේ ජන ගීත, ජන කතා, එදානෙදා සමාජයේ දකින දේ පාදක වූ අපූරු නිර්මාණයන් ලෙසින්. සත්‍යයෙන්ම මහගමසේකර යනු අපේ කලාවට උරුම වූ අපූරු නිර්මාණකරුවෙක්.

නන්දා මාලිනි

මා ඇය හඳුන්වන්නේ ජාතියේ අනන්‍යතාව ලෙසයි. පණ්ඩිත් අමරදේවයන් එදා ‘රන්මුතු දූව චිත්‍රපටයෙන් ඇය හඳුන්වා දීම ජාතියට පුද කළ දායාදයක් වගෙයි. ඒ වන විට ළමා ගායිකාවක ලෙසින් සිට අද දක්වා දේශීය සංගීතය පෝෂණය වෙනුවෙන් ඇය කළා වූ මෙහෙවර අනභිභවනීය යි. ‘රුක් අත්තන මල’ වගේම ‘රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි වැනි’ ගීතයන් වෙනුවෙන් ඇය අපූරු තනු නිර්මාණය කළා. ඇය අද ගී තනු නිර්මාණ නොකරන්නේ ඇයි දැයි මටත් අද ගැටළුවක්.

නන්දා මාලිනිය අපේ සිංහල සංගීතයට ආවේණික වූ අපේම නිර්මාණ රැසක් කළ විශේෂයෙන් කුඩා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සංගීත හැකියාව නංවන්න මහා මෙහෙවරක් කළ අදටත් කරන්නා වූ ඇදුරුතුමියක්. අසූව දශකයේ කලාකරුවන් බියෙන් සැඟ වූ අවධියක ඇය සිය නිර්මාණ සමඟින් එළියට ආවේ අවධානමට පෙර වගකීම පෙරට රැගෙනයි. ඉදිරියේදි ගායනයට පිවිසෙන බලාපෙරොත්තුවෙන් සිටිනා දියණියන් හට මම කියන්නේ නන්දා මාලිනියගේ ගීත අසන්න. වටහා ගන්න. ඒවගේම අධ්‍යයනය කරන්න කියලයි.