වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - මා දන්නා තරමින් සිංහල සිනමාවේ තමන් රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙසට සම්මානයට පාත්‍ර වුයේ ස්වර්ණා කහවිට (රන්සළු) සහ දුලානි අනුරාධා (අබා) පමණයි. මේ හැර තවත් නිළියන් සිටිනවාද?

කමල් ප්‍රියන්ත ජයසිංහ

ගොඩගම ජනපදය,නක්කාවත්ත

අර්ජුන් - නැහැ. එයට පෙර සෝබනී අමරසිංහ ගැටවරයෝ සිනමාපටයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය දිනාගත්තා.

ප්‍රශ්නය -ප්‍රවීණ ගීත රචකයකු හා කවියෙකු ද වන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කලා ලොවට පැමිණීමට පෙර හෝ පසුව පැවිදිව සිටියාද?

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත, වත්තල

අර්ජුන් - ඔව්.

ප්‍රශ්නය - ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක සහ චිත්‍රපට නිළියක වූ රත්නාවලී කැකුණුවල සිනමාවෙන් සමුගෙනද?

එම්. ඉන්ද්‍රපාල, මුංහේන

අර්ජුන් - මෑත කාලයේ ඇය රඟපෑවේ නැහැ.

ප්‍රශ්නය - චිත්‍රපටයක් සාර්ථක වන්නේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂකගෙන්ද?

ඩී. බී. කුලතුංග , පූගොඩ

අර්ජුන් - මේ දෙදෙනා හින්දම නොවේ. ප්‍රෙක්ෂකයන් වන අප නරඹන්නේ නැති නිසා ද අසාර්ථක වේ.

ප්‍රශ්නය - සුරංගණී චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජබීර් ඒ. කාදර් මහතා ද නැතිනම් සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමද?

විජයානන්ද පොඩි නිළමේ

නුගේගොඩ

අර්ජුන් - සිලෝන් තියටර්ස් සමාගම.

ප්‍රශ්නය -1970 දශකයේ සිංහල සිනමාවේ ඉහළම ගෙවීමක් ලද නළුවා හා නිළිය කවුද?

අවන්ත පෙරේරා,වැලිසර,රාගම

අර්ජුන් - ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකා.

ප්‍රශ්නය - පැරැණි හින්දි චිත්‍රපටයක් වූ 'දුලාරි' ගැන යමක් කියන්න.

එස්. අලහකෝන්, මුල්ලේරියාව

අර්ජුන් - 1949 වසරේ තැනුණු මේ චිත්‍රපටයේ එන ගීත අදටත් ජනප්‍රියයි. ඒ. ආර්. කාදර් අධ්‍යක්ෂණය කළ එහි සංගීත අධ්‍යක්ෂණය නවුෂාඩ්ගෙනි. මධුබාලා, ගීතාබාලි, ෂාම්, ජයන්ත් එහි ප්‍රධාන චරිත රඟපෑවා.

ප්‍රශ්නය - 1960, 70 දශකයේ ජනප්‍රිය විකට නළු මෙහෙමුඩ් විවාහ වූයේ ජනප්‍රිය දක්ෂ නිළි මීනා කුමාරිගේ නැඟණිය සමඟ නේද? ඇය සිනමාවට එක් වූවාද? දැනට ජීවතුන් අතර සිටීද?

ජානක ඉලුක්කුඹුර, කඩවත

අර්ජුන් - ඔව්, ඔහුගේ පළමු විවාහය මීනා කුමාරිගේ නැඟණිය මධු හෙවත් මහේලාකා සමඟයි. ඇය සිනමාවට එක් වුණේ නැහැ. මේ දෙදෙනා පසුව දික්කසාද වූවා. වර්තමානයේ ගායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ලකී අලී මේ යුවළගේ පුතෙකි. මේ දෙදෙනා අද වන විට ජීවතුන් අතර නැත.

සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටයේ පිටපතක් තිබෙන බව පෙනී යනවා යන්නෙන් අප වෙත කපුගොඩ සරත් රණසිංහ එවූ පැනයට අපේ පිළිතුර වූයේ තිබෙන තැනක් දන්නේ නම් හෙළි කරන ලෙසයි. ඒ සඳහා අපේ පාඨකයකු වන චිත්‍රපට සංරක්ෂකයකු ද වන රංජිත් කරුණාතිලක මහතා අප හට දන්වා සිටියේ සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටයේ පිටපතක් සුරැකිව තිබෙන බවයි.

ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු.
සරසවිය, ලේක්හවුස්, කොළඹ 10