වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




80 දශකයේ ලොව කැළඹූ ‘උමතු මැක්ස්’ යළි එයි

80 දශකයේ ලොව කැළඹූ ‘උමතු මැක්ස්’ යළි එයි

‘විද්‍යා ප්‍රබන්ධ’ සහ ‘බියජනක’ යන චිත්‍රපටයන්හි උප කුලකයක් වශයෙන් දැක්විය හැකි කල්පිත ලෝක විනාශයකින් එසේත් නැත්නම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ දරුණු විනාශයකින් පසු ලෝකයේ සිදුවන දෑ අළලා ප්‍රබන්ධිත Post Apocalyptic ගණයේ චිත්‍රපට බටහිර සිනමාවේ සුලබය. න්‍යෂ්ටික අවි යුද්ධයක්, පිටසක්වල ආක්‍රමණයක්, උල්කාපාතයක කඩා වැටීමක්, සුවකළ නොහැකි වේගයෙන් පැතිර යන වෛරසයක් හෝ එවන් රෝගයක් හේතුවෙන් මිනිසුන් ඇවිදින මළමිනී (Zombies) බවට පරිවර්තනය වීමක් ආදී වූ මෙකී නොකී නොයෙකුත් හේතු එම චිත්‍රපටයන්හි හුවා දැක්වෙයි.

මෙවැනි බොහොමයක් චිත්‍රපටවල අදාල විනාශයෙන් පසුව ලෝකයේ බලය දරුණු ශක්තිමත් මැර කල්ලි අතට පත් වන බවක් දැක්වේ. 1979 වසරේ නිර්මාණය කෙරුණු Mad Max (මෑඩ් මැක්ස්) චිත්‍රපටය මෙවන් ආකාරයේ චිත්‍රපටයකි. ඔස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන මෙහි කල්ලියක් විසින් මරා දමනු ලැබූ සිය බිරිඳ, දරුවා සහ මිත්‍රයා වෙනුවෙන් සටන් වදින පොලිස් නිළධාරියෙකුගේ කතාව රිදී තිරයට ගෙන එයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජෝර්ජ් මිලර්ගේ නිර්මාණයක් වූ Mad Max ලොව නිර්මාණය වූ ලාභදායීම චිත්‍රපටය ලෙසින් වූ ගිනස් වාර්තාවට දිගු කාලයක් හිමිකම් කීවේය. අමෙරිකානු ඩොලර් 320,000ක පිරිවැයකින් නිමකර අමෙරිකානු ඩොලර් මිලියන 100යක විශ්මයජනක ආදායමක් (315 ගුණයක්) ලැබීමට Mad Max සමත් විය. මෙයින් පසුව එහි මැක්ස්ගේ චරිතය නිරූපණය කළ ටොම් හාඩ්හට ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය.

Mad Max හි දෙවන දිගහැරුම ලෙස Mad Max 2 : The Road Worrior (මෑඩ් මැක්ස් : ද රෝඩ් වොරියර්) චිත්‍රපටය 1981 වසරේදී තිරගත විය. එහි පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 3.2ක් වූ අතර ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 34.5ක් විය. තෙවන කොටස Mad Max : Beyond Thunderdome  (මෑඩ් මැක්ස් : බියොන්ඩ් තන්ඩර්ඩෝම්) ලෙසින් 1985 වසරේදී තිරගත විය. ඒ සඳහා පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 12ක් වූ අතර ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 36.2ක් වාර්තා කළේය.

තිස් වසරක දිගු විවේකයකින් පසු Mad Max නැවතත් කරළියට පැමිණෙනුයේ, Mad Max : Fury Road (මෑඩ් මැක්ස් : ෆියුරි රෝඩ්) චිත්‍රපටයෙනි. මෙය ජෝර්ජ් මිලර්ගේ Mad Max චිත්‍රපට මාලාවේ සිව්වැන්න ලෙසිනි. පසුගිය 07 වැනිදා එහි මංගල දර්ශනය පැවැත්විණි. විනාඩි 120ක් පුරා දිවෙන Mad Max : Fury Road  අමෙරිකානු ඩොලර් මිලියන 150ක පිරිවැයකින් නිමවා ඇති අතර ටොම් හාඩි, චාර්ල්ස් තෙරොන්, නිකොලස් හොවුල්ට්, හග් කේයිස්, ජෝෂ් හෙල්මාන්, මෙලිසා ජැෆර් ආදී නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. Mad Max ඔස්ට්‍රේලියානු සහ අමෙරිකානු නිෂ්පාදනයක් වන අතර වෝනර් බ්‍රදර්ස් බෙදාහැරීමකි.

මනුෂ්‍ය සංහතිය විනාශය කරා යන්නා වූද මනුෂ්‍යත්වය සොයා ගත නොහැකි වූද කාලයක කාන්තාර පරිසරයක බලය වෙනුවෙන් සටන් වදින මැර කල්ලි දෙකකට මැදි වනුයේ, වැඩි කතාබහක් නැති, ක්‍රියාකාරී මැක්ස් ය. සිය බිරිඳගේ සහ දරුවාගේ වියෝවෙන් පීඩනයට පත්ව සිටින මැක්ස්ට අවශ්‍ය එකම දෙය මානසික නිදහසයි. මැක්ස් වැනිම ක්‍රියාකාරී නිර්භිත කාන්තාවක වන ෆියුරියෝසා සහ මැක්ස්ගේ කතාන්දරය Mad Max : Fury Road  චිත්‍රපටයේ විදහා පායි. දෘෂ්‍ය ප්‍රයෝගයන් අතිශය සාර්ථක අන්දමින් යොදාගත් නිර්මාණයක් ලෙසින් මෙය සුවිශේෂ වේ. Mad Max : Fury Road Rn  අද (14) සහ හෙට (15) දිනයන්හිදි ලොව පුරා තිරගත වීම ආරම්භ කරයි.