වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ රිය අනතුර මට පාඩම් කියා දුන්නා

ඒ රිය අනතුර මට පාඩම් කියා දුන්නා

සඳරේඛා වීරසිංහ

සඳරේඛා වීරසිංහ කලකට පසුව යළිත් රංගනයට පිවිස සිටින්නීය. මේ වනවිට ඇය නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී සිටියද කලකදී ක්ෂේත්‍රයෙන් සමුගැනීමට සිදුවීම නිසා ඇයගේ සිතේ කාලයක පටන් තිබෙන්නා වූ දක්ෂ චරිතාංග නිළියක් වීමේ සිහිනය සැබෑ කරගැනීමේ පැතුමට තිත තබන්නට සිදු විය. එහෙත් යළිත් සඳරේඛා සිය සිහිනය සැබෑ කර ගැනීමේ අදහසින් පැමිණ සිටියි.

* ඔබ රංගනයට පිවිසීමේ ආරම්භය සනිටුහන් කරන්නේ කෙසේද?

මුලින්ම මම රංගනයට පිවිසෙන්නේ අවුරුදු පහක් තරම් කුඩා කාලයේ. පුංචි කාලයේ ඉඳලා මම තනියම රඟපානවා දැක්ක තාත්තා ඒ කාලයේම මාව රංගනය පැත්තට යොමුකළා. සරසවිය පත්තරේ ගිය දැන්වීමකට අනුව ඊට මුහුණ දුන් මම මුලින්ම 1979 වසරේ හෙන්රි චන්ද්‍රවංශගේ ‘විශාකා’ කියන චිත්‍රපටයටයි රංගනයෙන් සහභාගි වන්නේ. ඒ එහි මා රඟපෑවේ විශාකා සිරිවර්ධනගේ ළමා කාලය සඳහායි. ඒත් ඒ චිත්‍රපටය එන්නට කලින් හෙන්රි චන්ද්‍රවංශ මිය යනවා.

අතරමග චිත්‍රපටය නැවතුණත් මගේ රංගන ගමන නවතින්නේ නැහැ. ඊට පස්සේ මා පාසල් ගිය කටියාව යාය 6 දුටුගැමුණු මධ්‍ය මහ විද්‍යලයෙන් තමයි මගේ රංගන ගමන වඩාත් අර්ථවත් වන්නේ. ඉන් කෙරෙන බොහෝ නිර්මාණවලට මගේ දායකත්වය ලැබෙනවා. මීළඟට ආර්. ආර්. ගැමුණු රත්නායකගේ ‘පොඩිහාමිනා’ කියන වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ටෙලි නාට්‍යයකට මම පළමුවෙන්ම රංගනයෙන් දායක වෙන්නේ ‘දාමිනී’ සඳහායි. ඒ විදියට මේ වනවිට මම ටෙලි නාට්‍ය හැටපහක්, අසූවක් පමණ රඟපාලා තියෙනවා. ඒ ඒ චරිතවලට සාධාරණයක් ඉෂ්ට කරමින්.

* ඊට පස්සේ ඔබට චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමට අවස්ථාව නොලැබුණා ද?

ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් මගේ රංගන දායකත්වය හිමිවුණා. ඊළඟට මම රඟපාන්නේ සෝමරත්න රාමනායකගේ ‘ජය කොතැනද’ චිත්‍රපටයේ. රන්ජන් රාමනායක මහත්තයත් සමඟත් මම රඟපෑවා. එහි මම රඟපෑවේ කරාටේ ශිල්පිනියක් විදියටයි. සුනිල් සෝම පිරිස්ගේ ‘හිත හොඳ පිස්සෝ’, සෙල්ලප්පෙරුමගේ ‘වැලා ඉන් ලන්ඩන්’, ධර්මසිරි වික්‍රමරත්නගේ ‘කතරගම රූමතිය’ චිත්‍රපටයේ මනම්පේරියගේ ළඟම මිතුරිය වූ කමලාගේ චරිතයත් මා රඟපෑ නිර්මාණ අතර වෙනවා.

* ‘කතරගම රූමතිය’ කියන්නේ ලංකාවේ කතාබහට ලක්වුණු චරිතයක්. ඒ වගේ චරිතයක යෙහෙළියකගේ චරිතය රඟපෑමට ලැබීම ඔබට ලැබුණු අපූරු අවස්ථාවක් නේද ?

ඒක මගේ රංගන ජීවිතයේ දි මට මෙතෙක් කිසිම දවසක නොලැබෙන අවස්ථාවක්. ඒ චරිතයට තෝරා ගැනීම සඳහා තවත් බොහෝ දෙනෙක් පැමිණ සිටියා. ඒ හැමෝම අතරෙන් මට ඒ අවස්ථාව ලැබුණා. කමලාගේ චරිතයට මා බොහෝ කැපවීම් කළා. ඒ චරිතය සොයාගෙන ගිහින් අධ්‍යයනය කිරීමේ වාසනාව මට හිමිවුණා.මේ නිසාම කමලාගේ චරිතය මට වඩාත් හොඳීන් රඟපාන්න හැකියාව ලැබුණා. කමලාගේ චරිතයට කිදා බසිමින් ඒ චරිතය නිරූපණය කළා. ඒ අවස්ථාව මට ලබා දුන්නේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. ඊට මා ඔහුට බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුයි. මේ කොහොම වුණත් ‘කතරගම රූමතිය’ චිත්‍රපටය තිරගත නොවුණු නිසා ඒ ඔස්සේ මා විදහා පෑ රංගන දක්ෂතාව එළියට පැමිණියේ නැහැ. ඊට පසුව වෙනත් නිර්මාණ රැසකටම දායක වීමට මට අවස්ථාව හිමි වුණත් එවැනි චරිතයක් නම් මට නැවතත් රඟපාන්න ලැබුණේ නැහැ. ඒත් තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘මධූ නම් ඇය’ ටෙලි නාට්‍යයේ රඟපෑ කරුණාවතීගේ චරිතයත්, කි‍්‍රෂ්ටි ෂෙල්ටන්ගේ ‘සිටු මැදුර’ටෙලි නාට්‍යයේ රඟපෑ විමලාවතීගේ චරිතයත් මට යමක් කළ හැකි වූ චරිතයි. සිටු මැදුරෙදි හොඳම කොටසේදි තමයි මගේ රිය අනතුර සිද්ධ වුණේ. ඒ නිසා ඒ අවස්ථාවත් මගෙන් ගිලිහී ගියා.

* රිය අනතුර නිසා ඔබට බොහෝ දේ නැතිවුණා.

ඔව්. බොහෝ රංගන අවස්ථා මගෙන් ගිලිහී ගියා. නොසිතූ අවස්ථාවක සිදුවුණු රිය අනතුර ජීවිතයට පාඩම් කියා දුන්නා. ඒ අනතුර සිද්ධ වුණේ මම රාති‍්‍රයේ උත්සවයකට ගිහින් එමින් සිටියදියි. හදිසියේම මා පැදවූ වාහනයේ ටයර් එක පිපිරුවා. සිහිය එනවිට මම සිටියේ අනුරාධපුර ඉස්පිරිතාලයේ. බොහෝ දෙනා සිතාගෙන සිටියේ මම මිය ගිහින් කියලයි. ඒත් මොකක්දෝ වාසනාවකට මගේ ජීවිතය බේරුනා. මේ අනතුර නිසා දීර්ඝ කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉන්න මට සිද්ධ වුණා. ඒ කාලය ඇතුළේ බොහෝ දේවල් අවබෝධ කර ගන්නට මට හැකි වුණා. මම එහෙම කියන්නේ ඒ දවස්වල සිද්ධ වුණු සමහර දේවල් නිසයි. මම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සාමාජිකාවක්. එහි නිලධාරීන් ඇතුළු හැමෝම රැස් වුණාට පස්සේ කතා කරන දෙයක් තමයි කාටහරි කරදරයක් වුණොත් පිහිට වනවාය කියන කාරණය.

එහෙම වුණත් මගේ අනතුර වුණාට පස්සේ පුතා ඒ සංසදයේ වගකිවයුතු අයට කතා කරලා ඒ ගැන කියලා තිබුණා. ඔවුන් කවුරු හරි නියෝජිතයෙක් එවන්නම් කියලා තිබුණා. මට ටිකක් කතා කරන්න පුළුවන් වුණාට පස්සේ මමත් ඔවුන්ට කතා කළා. ඒ සල්ලි ඉල්ලන්න නෙවෙයි. ඒ වගේ වෙලාවක කවුරු හරි කතා කළොත්, බලන්න ආවොත් ඒක ඒ කෙනාට සහනයක් ගෙනෙන නිසයි. ඒත් ඒ එවනවා කිව්ව නියෝජිතයා අවුරුදු තුනක් තිස්සේ තවමත් එනවා. එහෙම වුණත් මගේ අය වගේ උදව් කළ අයත් ඉන්නවා. මගේ අම්මා වගේ ළඟම ඉදිමින් මට උදව් කරන භද්‍රා නන්දනී, සිරි කහවල, ලලිත් ජනකාන්ත, අනුලා වනිගසූරිය කියන සහෝදර සහෝදර ශිල්පීන්, ශිල්පිනියන්වත් මතක් කළ යුතුයි. මෙතෙක් රඟපෑමේ කටයුතුවලට අත දෙමින් මගේ ගමනට උදව් කළ හැමෝටමත්, මෙතෙක් මම අසනීපයෙන් ඉදිද්දි සොයා බැලූ සැමටත්, අනෙක් හැමෝටමත් ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. මානි අක්කා අද ජීවතුන් අතර නැති වූණත් ඇයවත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම මගේ පුතාවත්, අම්මාවත්,පවුලේ සැමවත් ආදරයෙන් මතකයට නැගිය යුතුයි.

* ඉදිරියෙදිත් රංගන ශිල්පිනියක් ලෙසමද ඔබ කටයුතු කරන්නට බලාපොරොත්තු වන්නේ ?

රංගනයත්, නර්තනයත් තමයි මගේ ජීවිතය වෙන්නේ. මැරෙන තුරුම කලා කටයුතුවල නිරත වීමටයි මා අදහස් කරගෙන සිටින්නේ. ඒ වගේම අනතුරට කලිනුත් මම ලංකාවේ බොහෝ තැන්වල නර්තන පන්ති කළා. නැවතත් ඒ කටයුතු ආරම්භ කරන්නට මේ දවස්වල මා සූදානම් වෙනවා. කැකිරාවේ ආරම්භ කරන්නට නියමිත එය නම් කරලා තිබෙන්නේ ශිී‍්‍ර රේඛා නර්තන ආයතනය නමින්.

* රංගනයේ දී තෝරා බේරා ගැනීමකින්ද ඔබ නිර්මාණවලට දායක වන්නේ ?

මුලින්ම මම පිටපත කියවනවා. ඊළඟට රඟපාන්නට හැකි චරිතයක් නම් මම එය බාර ගන්නවා.