වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




වයස අවුරුදු දොළහක පෙනුම ගන්න මාස හතරක් පුරා එක වේලක් කෑම කෑවා

වයස අවුරුදු දොළහක පෙනුම ගන්න මාස හතරක් පුරා එක වේලක් කෑම කෑවා

- මුදිත විජේසුන්දර

ඉස්සර තරම් මුදිත Programe Present කරන්නේ නැහැ කියලා ස්වර්ණවාහිනිය නරඹන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. හැබැයි මේ වන විට ඔහු ස්වර්ණවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් හැටියට තිරය පිටුපස ඉඳගෙන වැඩ සටහන් කිහිපයක්ම මෙහෙය වනවා. ඒ විතරක් නෙවෙයි මුදිත මේ වන විට නළු භූමිකාව ද පණ පොවන්න පටන් අරගෙන. ඔහු එක්ක කතා කරන්න දේවල් ගොඩයි.

කොහෙන්ද අපි පටන් ගන්නේ මුදිත?

මම හිතනවා මම නිෂ්පාදනය කරන වැඩසටහන් ගැන මුලින්ම කතා කළොත් හොඳයි කියලා.

හොඳයි ඔබට අවසරයි?

සතියේ දිනවල සවස දෙකට විකාශය වෙන දෙකයි දෙක සහ හවුස් ෆුල් කියන වැඩසටහන් තමයි මං නිෂ්පාදනය කරන්නේ. ඒ අතරින් ඉඩ ලැබෙන පරිදි දෙකයි දෙක ප්‍රසන්ට් කරනවා. හවුස්ෆුල් වැඩසටහන කොහොමත් නිවේදනය කරන්නේ මං.

ඉස්සර තරම් ඔබව නිවේදකයකු විදිහට අපට හමු වන්නේ නැත්තේ ඇයි?

මම නිෂ්පාදකවරයකු විදිහට බොහොම කාර්යබහුල වුණා. ඊට අමතරව මෑතක පටන් මම රඟපාන්නත් ආවනේ. ඒ හින්ද නිවේදකයකු හැටියට ලැබුණු අවස්ථා සීමාකර ගත්තා.

නමුත් ඔබ නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කරන්නේ 2002 වසරේ පටන් නෙවේද?

ඔව්. ඔබ හරි. ඒ වුණාට මට දැන් වගකීම් වැඩියි.

දෙකයි දෙක කියන්නේ Chat Show  එකක්. බොහෝ නාළිකාවන්වල එම ගණයට අයිති වැඩ සටන් විකාශය වන්නේ රෑට?

මට වැඩි දෙනෙක් ඔය කතා කියලා තියෙනවා. අපේ බහුතරයක් නාළිකාවන්හි ඔය වෙලාවට විකාශය වෙන්නේ චිත්‍රපට. සවස 1 සිට 4, 5 දක්වා කාලය බොහොම ඩල් ටයිම් එකක් කියලා කියනවා. මට ඕනෑ වුණේ ඒ සම්ප්‍රදාය වෙනස් කරන්න. ඒ ගුවන් කාලයට කවුරුවත් නොකරපු වැඩ සටහනක් මම කළා.

ඔබේ අරමුණු සාර්ථකද?

ඔව්. අපි දෙකයි දෙක වැඩසටහන සඳහා තෝරා ගන්නේ ක්ෂේත්‍ර හතරක හතර දෙනෙක්. ඒ විවිධත්වය සඳහා. ඔවුනට සහ අපට ලබෙන ප්‍රතිචාරත් එක්ක වැඩසටහන ඉතාමත් සාර්ථකයි.

ඔබ සහ ළහිරු මුදලිගේ ඉදිරිපත් කළ Coffee With ලහිරු and මුදිත වැඩසටහන නැවැත්තුවේ ඇයි?

ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියනවනේ. එම වැඩසටහන දිගින් දිගටම අපි කළා නම් මිනිස්සුන්ට ඒක නීරස වෙන්නට ඉඩ තිබුණා.

ඔබ ඔහොම කිව්ව්ට බිල් කොස්බි ඉදිරිපත් කළ කොස්බි ෂෝ වැනි වැඩසටහන් වසර ගණන් විකාශය වුණා නොවේද? ඒවා මිනිස්සුන්ට එපා වුණේ නැහැනෙ?

ඒක ජත්‍යන්තර වැඩ සටහනක්නේ. රටවල් ගණනාවක විකාශය වුණා. එක් රටක් ප්‍රතික්ෂේප කළොත් දැනෙන්නේ නැහැ තව රටක් බලනවනේ. කොෆි විත් ලහිරු ඇන්ඩ් මුදිත ලංකාවට විතරයි. ඒ හින්දා ප්‍රතික්ෂේප වුණොත් වුණාමයි.

ඔබ ඉන් අනතුරුව ලහිරුත් එක්ක වැඩසටහන් ඉදිරිපත් කළේම නැහැ. ඇයි ඒ? දෙන්න අමනාප වෙලාද?

අපි දෙන්නට එහෙම අමනාප වෙන්න කිසිම හේතුවක් නැහැ. ලහිරු ඉදිරිපත් කරන හද රැඳි පැය එළිමහන් ප්‍රසංග මාලාව අධ්‍යක්ෂණය කරන්නේ මම. ඒ වගේම දෙකයි දෙක වැඩසටහන් පවා ලහිරුත් මෙහෙයවනවනේ.

ලහිරු ඔබට වඩා වැඩසටහන් මෙහෙයවනවා. ඔබට වඩා ඔහු ජනප්‍රියයි කියලා කවුරුන් හෝ කිව්වොත්?

මම ඒ කතාව ප්‍රතික්ෂේප කරනවා. මං හිතන්නේ අප දෙන්නාම එක වගේ ජනප්‍රියයි. විනෝදාස්වාදය සපයන වැඩ සටහන්වල නිවේදකයකු විදිහට ඔහු ජනප්‍රියයි. වාර්තා වැඩ සටහන් පැත්තෙන් මම ජනප්‍රියයි. සමහර ප්‍රසිද්ධ තැන්වලට තනිවම ගියාම මගෙන් අහනවා ලහිරු කෝ කියලා. ඔහුගෙන් අහනවා මම කෝ කියලා. එහෙම බලන කොට අපි දෙන්නව එක හා සමානව මිනිස්සු පිළිගන්නවා.

නිවේදකයයකු විදිහට ඔබ ඔබේ වාග් කෝෂය පුරවා ගන්නේ කෙසේද?

ගොඩක් පොත්පත් මඟින්. මට බොහෝ වෙලාවල්වලදී මට ප්‍රශ්න අහන්න වෙන කෙනා ගැන හොයනවා. ඔහුගෙන් හෝ ඇයගෙන් අහන්නෙත් ඒකාකාරී ප්‍රශ්න නෙවෙයි. විවිධත්වයයි වැදගත් වෙන්නේ.

ඔබේ රංගන කටයුතු ගැන කතා කළොත්?

මහ රජ ගැමුණු සිනමාපටයේ තිස්ස ඇමති හැටියට සහ දස්කොන් ටෙලි සිතුවමේ සරණංකර හාමුදුරුවන්ගේ චරිතයට මම පණ පෙව්වා. තවත් නිර්මාණ සඳහා කතා කළා. තවම ඒවට යනවද නැති ද කියලා හිතුවේ නැහැ. මීට කලිනුත් රංගනයට ආරාධනා ලැබුණා. ඒත් ගියේ නැහැ.

ඔබ ඇයි මේ නිර්මාණ දෙක පමණක් භාරගන්න විශේෂ හේතුව?

ප්‍රධානම කාරණය තමයි එහි අධ්‍යක්ෂවරු දෙපොළ, ජයන්ත චන්ද්‍රසිරි සහ ජැක්සන් ඇන්තනී කියන ඔවුන්ගේ ආරාධනා ප්‍රතික්ෂේප කළා නම් මම කරගන්න ලොකුම මෝඩ වැඩේ තමයි ඒක. ඒ නිර්මාණ ඉතාමත් ගුණාත්මක ඒවා කියලා මට අමුතුවෙන් කියන්න වුවමනා වුණේ නැහැ.

එතකොට පෙර ආරාධනා ඔබ ඉවත දැමුවේ අධ්‍යක්ෂවරුන් හරි නැති නිසා?

ඔව්. අධ්‍යක්ෂවරයා හොඳ නම් නිර්මාණ මා බාර ගන්නවා.

ඔබ රඟපෑ පළමු චරිත දෙකම ඓතිහාසික චරිතයන්. ඔබ ඒ වෙනුවෙන් මොන වගේ කැප කිරීමක් ද කළේ.

මම මුලින්ම ඒ චරිත ගැන හෙව්වා. ඊට පසුව වෙන් වෙන් වශයෙන් ඒ චරිත වෙනුවෙන් හැඩ ගැහුණා තිස්ස ඇමතිගේ හැඩහුරුකම ගන්න මහත් වුණා. සරණංකර හාමුදුරුවන්ගේ චරිතය කරන්න මට ගොඩක් කෙට්ටු වෙන්න වුණා. මොකද එහි අධ්‍යක්ෂවරයාට පළමුව ඕනෑ වුණේ මගෙන් අවුරුදු 12 ක පෙනුමක්. ඒක නිසා එක වේලයි දවසට කෑවේ. වෙලාවක් බලලා හිස මුඩු කළා. පාලි සංස්කෘත භාෂාව ඉගෙන ගත්තා. ෂූටිං දිනවල මස් මාළු කෑවේ නැහැ. මාස හතරක් එක දිගට මේ කටයුතු කළා.

ඔබ පුදුමාකාර විදිහට වෙහෙස වෙලා ඒ චරිත වෙනුවෙන්. ඇතැම් වෘත්තීය නළුවන් පවා එහෙම කරන්නේ නැහැ?

මා කරන දෙය හරියට කරන කෙනෙක්. කලාවට සාධාරණයක් නොකළොත් මටත් හරි යන ඒකක් නැහැ.

ඔබ දිගින් දිගටම රංගනයේ යෙදුණොත් කවදා හෝ හොඳ චරිතාංග නළුවෙක් වෙන්න පුළුවන්?

මගේ පළමු තැන අදටත් මම දෙන්නේ ස්වර්ණවාහිනියට. එතැන ඉඳගෙන තමයි කරන දෙයක් කරන්නේ.

වෘත්තීමය කලාකරුවකු වීම ඔබ වගේ අයකුට නිදහසක් නොවේද?

වර්තමානයේ තියෙන තත්ත්වය හැටියට මගේ රැකියාවෙන් මට තියෙන සුරක්ෂිතභාවය මට ඉතාම වැදගත්. ඒ හින්දා ස්වර්ණවාහිනිය අත හරින්නේ නැහැ.

මා දන්නා පරිදි ඔබ තවමත් අධ්‍යාපන කටයුතුවල නියැළෙන කෙනෙක්?

ඔව්. මම සන්නිවේදන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමා කරලා තියෙනවා. මේ වන විට දේශපාලන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරනවා.

මොන දේ කතා කළත් ඔබේ පෙම්වතිය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?

ඒ ගැන ඉදිරියේ කතා කරමු. ඒ කියන්නේ මම තවම තනිකඩයි කියන එක.