වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පාස්කු නාට්‍යයේ වැඩිම චරිත රඟපෑ රාජ් ලිවේරා

පාස්කු නාට්‍යයේ වැඩිම චරිත රඟපෑ රාජ් ලිවේරා

දූවේ කතෝලික පිරිමි පාසලෙන් මෙන්ම මීගමුව මාරිස්ටෙලා, බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත්සල වෙතින් ඉගෙනුම ලැබූ රාජ් කලා ලොවට පිවිසියේ දූව පාස්කු නාට්‍ය ඔස්සේය. මේ වනවිට පාස්කු නාට්‍යයේ වැඩිම චරිත ගණනක් රඟපෑ නළුවා ලෙස වාර්තාවක් පිහිටුවා ඇති ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ චරිතයට ද පණ පෙවූ අයෙකි. ඇඳුම් නිර්මාණයෙන් හා සහය අධ්‍යක්ෂණයෙන් පාස්කු නාට්‍යවලට දායක වූ හෙතෙම ‘කටු ඔටුන්න’, ‘දික්තලා කාලගෝල’, ‘කැකිල්ලේ නාඩගම්’ ඇතුළු වේදිකා නාට්‍ය රැසකට ද, ‘කැලෑ කෙල්ල’, ‘සංඛපාලි’, ‘යළි පිපුණු මලක්’, ‘හිත මිතුරා’ යන සිනමාපටවලට ද, ‘රැල්ලෙන් වැල්ලට’, ‘එඬේරාගේ රාත්‍රිය’, ‘වඬින්න සමිඳේ’ යන ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් සහභාගි වී ඇත. රාජ් ගායනයට මෙන්ම සංගීතයට ද කුසලතා පළ කරයි. පසුගියදා ඔහුට සම්මානයක් පිරි නැමිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ රාජ් ලිවේරා කලා භූෂණ සම්මානයෙන් පුද ලබන අයුරුයි.


උදේනි අල්විස්ගේ පියා මියයයි

රංගන ශිල්පී උදේනි අල්විස්ගේ පියාණන් වන එල්. එල්. එම්. අල්විස් මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසුවූ ඔහු සය දරු පියෙකි. ඔහුගේ අවසන් කටයුතු නෑදෑ හිතවතුන්ගේ ශෝකය මැද කිරුළපන පොදු සුසාන භූමියේ දී සිදු කරන ලදී. පියාණන් සිහි කරමින් කෙරෙන හත් දවසේ බණ පැවැත් වෙන්නේ මේ මස 15 වැනිදා රාත්‍රී 7.00ට නුගේගොඩ ප්‍රදේශයේ 5/7, කන්ද වත්ත ටෙරස් නම් උදේනි අල්විස්ගේ නිවෙසේදී ය.


‘රෝරි’ රූපවාහිනියෙන්

පෙර පාසල් දූ දරුවන් වෙනුවෙන් ඩ්‍රීම් වර්ක් ඇනිමේෂන් සමාගම නිෂ්පාදනය කළ සෑම වයසකම දරුවන් අතර අතිශය ජනප්‍රිය වූ 'රෝරි' නම් ත්‍රිමාන සජීවීකරණ වැඩසටහන් පෙළ සෑම දිනකම සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් පස්වරු 4.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙයි. මෙහි තේමා ගී පද, නිපැයුම් මෙහෙයුම හඬ කැවීම් ඒකකයේ අදියුරු අතුල රන්සිරිලාල් මහතාගෙනි. නිපැයුම පුෂ්පිත පීරිස්ගෙනි. තේමා ගී ගැයුම රොඩ්නි වර්ණකුල ඇතුළු පිරිසගෙනි.


බොදු ගීත කටහඬ පරීක්ෂණයක්

සමස්ත ලංකා බොදු ගී රසික සංසදය තෙවන වරටත් මෙහෙය වන බොදු ගීත ගායනා තරගයේ කටහඬ පරීක්ෂණය මේ මස 17 වැනිදා ඉරිදා පෙරවරු 8.00ට ගම්පහ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මේ තරගයට අයැදුම්පත් ඉදිරිපත් කර නැති තරගකරුවන්ටද තරගයට ඉදිරිපත් වීමට අවකාශ සලසා දී තිබෙන අතර ප්‍රවීණ සංගීතවේදීහු පිරිසක් තරගය විනිශ්චය කරති. මේ පරීක්ෂණයෙන් තෝරා ගනු ලබන ළමා, වැඩිහිටි ගායක – ගායිකාවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන බව සංවිධායක කමිටුව පවසයි. ඔවුන්ට වටිනා මුදල් ත්‍යාග හා සංගීත භාණ්ඩ, සමරුඵලක, සහතික පත් පිරි නැමෙයි. අවසන් බැති ගී තරගය පොසොන් පෝය මුල් කරගෙන ගම්පහදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ තරගය පිළිබඳ වැඩි විස්තර 071-3391013 හෝ 0714961390 යන දුරකථන අංක අමතා දැන ගත හැකිය.


සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයට අයැදුම්පත් භාර ගැනේ

සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ටවර් හෝල් රඟහල පදනම මගින් දීප ව්‍යාප්තව වාර්ෂිකව මෙහෙය වන සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය – 2015 සඳහා මෙවරත් අයැදුම්පත් කැඳවනු ලැබේ.

නූර්ති නාට්‍ය ජවනිකා, කෙටි හා දිගු නාට්‍ය අංශ යටතේ පැවැත්වෙන මේ තරගය දිවයිනේ පාසල් සඳහා විවෘතව ඇති අතර අදාළ චක්‍ර ලේඛය හා අයැදුම්පත් ටවර් හෝල් රඟහල පදනම වෙත මුද්දර ගැසූ 9ය4 ප්‍රමාණයේ ලියුම් කවරයක් එවා හෝ පැමිණ ලබාගත හැකිය. ඒ හැර මේ පිළිබඳ විස්තර ඹඹඹ.ථධඥ.ඨධම.තඬ හා ඹඹඹ.බධඹඥපඩචතත.තඬ යන වෙබි අඩවිවලින්ද ලබාගත හැකිය.


ශ්‍රී ලංකා ජාතික කලා සංසදයට මුදලින් ආධාරයක්

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආධුනික නළු නිළියන් සඳහා ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලංකා ජාතික කලා සංසදයේ සුබ සාධන අරමුදලට රුපියල් ලක්ෂයක චෙක්පතක් පිරි නැමිණි. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ කැන්ර්ච් මූල්‍ය සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි ශීරාන් වීරසිංහගේ අනුමැතියෙන් එම සමාගමේ සාමාන්‍ය අධිකාරී එරංග අමල් ගොඩගේ සංසදයේ භාණ්ඩාගාරික නාමලී දනන්සූරියට සුදර්ශි ආයතනයේ දී ඒ චෙක්පත පිරි නමන අයුරුයි. මෙහිදි සංසදයේ විධායක සභික මහත්ම මහත්මීහු පසෙක වෙති.