වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අභූත චෝදනාවලට ලක් වූ සහෝදරියන් ගැන මට කණගාටුයි - දමිතා

අභූත චෝදනාවලට ලක් වූ සහෝදරියන් ගැන මට කණගාටුයි - දමිතා

පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේ අපේ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න හිටියේ ඕස්ට්‍රේලියාවේ. මෙල්බ(ර්)න්, බ්‍රිස්බේන් නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කළ සංගීත ප්‍රසංග කිහිපයක ගී ගැයීම සඳහායි ඇය එසේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැළුණේ.

සාර්ථක විදෙස් සංචාරයෙන් දින කිහිපයකට පස්සේ දමිතා චාම් ඇඳුමකින් සැරසිලා පත්තර මහ ගෙදරට ගොඩ වැදුණේ 'අමාදහර' වෙසක් බැති ගී ප්‍රසංගයේ ගී ගැයීම සඳහායි. බුදු සිසිල ගලා ගිය ඒ අසිරිමත් රාත්‍රියේ දමිතාගේ මියුරු බොදු බැති ගී ගායනා කාගේත් සිත පහන් හැඟුමින් පුරවාලූ බව නම් නිසැකයි.

බැති ගී ගායනයට පෙර දමිතා අප සමඟ සාමීචි කතාබහක යෙදෙන්නත් අමතක කළේ නෑ. එහිදී ඇය පසුගිය දිනවල රටේ කිසියම් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් ගැනත් කතා කළා. ඒ තමයි මත්කුඩු ජාවාරම්කරුවකු සමඟ අපේ නිළියන්ගේ නම් ඈඳුණු අවාසනාවන්ත කතා පුවත.

'මම ඒ වෙනකොට හිටියේ ඕස්ට්‍රේලියාවේ. මේ වගේ නීති විරෝධී ක්‍රියාවකට අපේ නිළියන් කිහිප දෙනෙක්ගේ නම් ගෑවිලා තිබෙන වග මම දැන ගත්තේ අන්තර් ජාලයේ පළ වූ පුවතකින්. ලංකාවේ මගේ හිතවතුන් කීප දෙනෙකුත් මට දුරකථනයෙන් කතා කරලා මේ බව කිව්වා.'

දමිතා කතා කරන්නේ කිසියම් වේදනාකාරී හැඟීමකිනි.

මේ වගේ බොරු චෝදනා අපේ නිළියන්ට එල්ල වුණේ අද ඊයේ නෙවෙයි. ටෙලි නාට්‍යයක, දෙකක පොඩි පොඩි කෑලිවල රඟපාලා නිළියන් යැයි කියා ගන්නා ඇතැම් අයගේ නොමනා ක්‍රියාවන් නිසයි එහෙම චෝදනා එල්ල වුණේ. ඒත් මේ සිදුවීම ඊට වඩා බරපතළයි. මම අවංකව කණගාටු වෙනවා මේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ මගේ සහෝදර නිළියන්ට එයින් සිදු වුණු සිත් තැවුල හා අසාධාරණය ගැන.

අපි අතරේ මොන මොන ප්‍රශ්න තිබුණත් මේ වගේ අභූත චෝදනාවලට කිසිම නිළියක් ලක් වෙනවාට මම කැමැති නෑ. මේ සේරම අපේ සහෝදරියන්. අපි එකම වෘත්තියක නියැළිලා ඉන්නේ. ඒ නිසා වෘත්තියේ ගරුත්වය රැකගන්න අපි හැමෝම එකට එක් විය යුතුයි.

දමිතා වැඩිදුරටත් එසේ පැවසුවේ තරමක ආවේගශීලී බවකින් යුතුවය.