වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මෝචරියේ රෑ දොළහට

මෝචරියේ රෑ දොළහට

- ලාල් කුමාර

වසර 28 ක් සටන් නළුවෙකු ලෙස මාව කොටු වෙලා. දැන්වත් එයින් මිදෙන්න අවස්ථාවක් ලැබුණොත් හොඳයි.

මෙහෙම කියන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයේ රැන්බෝ ලාල් නමින් ප්‍රසිද්ධ ලාල් කුමාර නම් රංගන ශිල්පියායි.

* ලාල් ඔබ සිනමාවට ප්‍රවිෂ්ට වූ තැනින් අරඹමු?

මම 1987 දී සිනමාවට සම්බන්ධ වෙන්නේ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ නොම්මර එක චිත්‍රපටයේ සටන් ජවනිකාවක් හරහා. මාව මේ කර්මාන්තයට සම්බන්ධ කළේ ටෙඩී විද්‍යාලංකාර මහතා. එතැන් සිට අද වන විට චිත්‍රපට 150 ක් ටෙලි නාට්‍යය දහයක පමණ රඟපාලා තිබෙනවා. මේ හැම එකකම වගේ සටන් නළුවෙක්. එහෙමත් නැතිනම් දුෂ්ටයාගේ චරිතය තමයි නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණේ.

* අද වෙන විට සටන් නළුවෙක් පමණක් නොවේ. සටන් අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කරනවා නේද?

ඔව්. වීදියේ වීරයා, විජයග්‍රහනය, ලව් 94 වැනි චිත්‍රපටවලින් තමයි මම සටන් අධ්‍යක්ෂණයට පිවිසියේ. ප්‍රධාන දුෂ්ටයාගේ චරිත වගේම සටන් අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ මටයි. දැනට චිත්‍රපට හා ටෙලි නාට්‍යය 25 ක විතර සටන් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

* ලාල් පළමුවෙන් සටන් ජවනිකාවක් රඟපෑවේ කා සමඟද?

නොම්බර එක චිත්‍රපටයේදී බන්දු සමරසිංහ සමඟ.

* එතැනින් ආරම්භ කරපු සටන අදටත් ගෙන යනවා. සටන් ජවනිකා හැසිරවීමට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය ඔබේ මේ ආ ගමනට මොන වගේ බලපෑමක් ඇති කළාද?

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය නිසා තමයි නොනැවතී එක රාමුවකට කොටු වී හරි මේ ගමන මෙතෙක් එන්නට ලැබුණේ. එදා සිනමාවේ දැවැන්තයන් වූ ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි අයත් සමඟත් රඟපෑමට අවස්ථාව ලැබුණා. ඊට අමතරව ප්‍රවීණයන් වූ සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, මර්වින් ජයතුංග, ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරු වැන්නන් සමඟත් සටන් ජවනිකා රඟපා තිබෙනවා.

* මේ අයගෙන් සටන් ජවනිකා රංගනයේ යෙදෙන්න පහසු කවුද? ඒ ඇයි?

විජය කුමාරතුංගයන් සමඟ. ඔහුගේ ටයිමින් හොඳයි. ලෙහෙසියෙන් කෙනෙකුට පහරක් වදින්නේ නැහැ. නියමෙටම කරනවා.

* මේ ආ ගමන් මඟේ අමතක නොවන සිදුවීමක් කියමු?

'උණ්ඩය' චිත්‍රපටයේ රූ ගැන්වීමක් තිබුණා නුවර මහ රෝහලේ. මෝචරියේ තමයි මේ කටයුත්ත සූදානම් කර තිබුණේ. සටනකින් මාව මැරෙනවා. ඒ බොඩි එක මෝචරියේ තියෙන දර්ශනයක් තමයි රූ ගැන් වුණේ. රාත්‍රී 12 ට විතර තමයි පටන් ගත්තේ. මෝචරියේ ඉන්න වුණේ සැබෑවටම මැරුණ මළකඳන් දෙකක් එක්කයි.

* මේ දිනවල ලාල්ව දකින්න ලැබෙන්නේ?

රිදී පහන් තුළින්. මිණිමුතු වැස්ස, පිපෙන මල්, සත්ගුණවත්ලා වගේ ටෙලි හරහාත් ඉදිරියේදී මාව දකින්න පුළුවන්.

* සටන් ගුරුවරයෙක් ඉන්නවාද?

ඔව්.ඒ තමයි ප්‍රසන්න ජයවීර මහතා.

* ඉදිරි බලාපොරොත්තුව?

සටන් ජවනිකා රඟපාන අතර වෙනත් රංගනයන් සඳහාත් දායක වෙලා දිගටම රංගනයේ නියැලෙන්නයි.

* සටන් නළුවන් අඩු බවක් තිබෙන මේ වකවානුවේ ඒ කලාවෙන් ඔබ වැන්නෙක් ඈත් වෙන්න හදන එක සාධාරණද?

ඇත්තටම නැහැ. සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියන එක නෙමෙයි මම කිව්වේ. මමත් ආසයි විවිධ චරිත රඟපාන්න. සටන් නළුවන් අලුතින් පුහුණු කරමින් තිබෙන්නේ. ඒ සඳහා ඕනෑ අයෙකුට සහභාගි කරවා ගන්න මම කැමැතියි.

* ඔබ සමඟ ඒ අයට එකතු වෙන්න ආරාධනා කරන්නේ කෙසේද?

මගේ දුරකකථන අංකය 0712811659 ට හෝ නො. 416/33ඛ් නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනය ඔස්සේ මා හා සම්බන්ධ විය හැකියි.