වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ මාළිගේ පරෙවියා කාගේද?

රාජ මාළිගේ පරෙවියා කාගේද?

මම ඉන්නකම් තාත්තාගේ ගීත විකෘති කරන්න දෙන්නේ නෑ

ෆ්‍රෙඩී සිල්වාගේ දියණිය චාන්දනීගෙන් විශේෂ හෙළිදරව්වක්

‘රාජ මාළිගේ පරවියා වගේ' ගීතය මේ දිනවල ඉතාමත් ජනප්‍රියයි. එය වැඩි දෙනෙකුගේ සවනත වැටුණේ රෙඩ් නම් වූ නව පරපුරේ ගායකයෙකුගේ හඬින්. නමුත් එය අදින් බොහෝ කලකට පෙරාතුව නිර්මාණය වූ ගීයක් බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. රෙඩ් කියන්නේ එය තමන්ගේ සීයා විසින් ගැයූවක් කියලයි. ඔහු පසුගිය දිනෙක සරසවිය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී එහි සුළමුල හෙළි කොට සිටියා. කෙසේ නමුත් මේ වන විට එම ගීතයෙහි අයිතිය පිළිබඳ කිසියම් වූ අවිනිශ්චිතාවයක් ගොඩ නැඟී තිබෙනවා. හෙළ සිනමාවේ විකට රජු ෆ්‍රෙඩී සිල්වාගේ දියණිය චාන්දනී පවසා සිටින්නේ රාජ මාළිගේ පරවියා වගේ ගීතයට හඬ මුසු කොට ඇත්තේ ෆ්‍රෙඩී බවයි. එය ගැන තමන්ට ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්ෂිත් තියෙන බව ඇය අපට දන්වා සිටියා. මේ පිළිබඳ සවිස්තරාත්මකව කතා කරන්නට චාන්දනීට අපි එන්න කිව්වා.

* චාන්දනී මොකක්ද මේ අවුල?

මෙතැන කිසිම අවුලක් නැහැ. වෙලා තියෙන්නේ මගේ තාත්තාගේ සිංදුවක් අනවසරයෙන් කියපු එක. ඊටත් වඩා බරපතලකම ඔහු මගේ තාත්තා ගැන කිසිම සඳහනක් කර නැහැ. අඩුම ගානේ එහෙම කළා නම් ගැටලුවක් නොවෙන්න තිබුණා.

* ඔබ කොහොමද පළමුව මේ රෙඩ් කියන ගීතය ඇහුවේ?

හිරු නාළිකාවේ එක්තරා වැඩසටහනකට ඔහුව ගෙනත් තිබුණා. මං ඒක අහම්බෙන් දැක්කා. එවලේ ඔහු කිව්වා ඒ ගීය ඔහුගේ සීයගේ කියලා.

* ඒක බොරුද?

අමූලික බොරු. මගේ තාත්තා ගීත එක්දාස් පන්සීයක් විතර ගයලා තියෙනවා. ඒ අතරින් බොහොමයක් අප්‍රකටයි. මේකත් එහෙම එකක්. 1968 වසරේදී ගුවන් විදුලි තැටියකට තමයි තාත්තා පළමුව මේ ගීතය ගයලා තියෙන්නේ.

* තවමත් ඒ ගී තැටිය ගුවන් විදුලියේ තියෙනවාද?

ඔව්. මං මේ වන විට ඒ ගී තැටිය අන් සතු කරන්න එපා කියලා ගුවන් විදුලියේ සභාපතිතුමාට ලිඛිතව දන්වලා තියෙන්නේ. මේ සිද්ධිය දැනගෙන එම තැටියට මොනවා හරි වෙයි කියන බයටයි එහෙම කළේ.

* කවුද මේ ගීය ලියලා තියෙන්නේ?

සිරිල් ඒ. සීලවිමල මහත්මයා. නමුත් එහි අදහස තාත්තාගේ.

* එය රචනා කරන කොට ෆ්‍රෙඩී සිල්වා ළඟ ඉඳලා තියෙනවාද?

නැතුව. සිද්ධමුල්ල පිහිටි තාත්තාගේ මහ ගෙදරදියි මේ ගීතය ලියලා තියෙන්නේ. සීලවිමල මැතිනිය ඊට සාක්ෂි සපයනවා. ඇය පවසන පරිදි ගීයෙහි අන්තරා කොටස්වල ඇතැම් වචන පවා තාත්තාගේ.

* ඔබ දැන් රෙඩ්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවාද?

මේ ගීතය රිගිං ටෝන්වලින් අයින් කරන්න කියන එක තමයි මං කියන්නේ. මොකද ඔහු එමඟින් අති විශාල මුදලක් හම්බ කරනවා. මමවත් තාත්තාගේ දේවලින් එච්චර හොයලා නැහැ.

සාමාන්‍යයෙන් එකම ගීතයක් විවිධ ගායකයින් විසින් ගයන සම්ප්‍රදායක් ඉස්සර තිබුණා. 'මේ ජීවනයේ ගීතය' ජෝතිපාල මෙන්ම මිල්ටන් පෙරේරා ද ගැයුවා. මගෙ දෑසෙ කඳුළු ගීතයත් ඒ වගේ. කුරුලු ගමේ කුරුලු ගෙදර ඇතුළු ගීත රැසකින් ඔබට උදාහරණ සපයන්න මට හැකියි.

* රාජ මාළිගේ පරවියා වගේ ගීතයත් එවැන්නක් වන්නට බැරිද?

කොහෙත්ම වෙන්න බැහැ. ඒ ගීතය ගැයුවේ මගේ තාත්තා පමණයි. වෙන කිසිම කෙනෙක් ඒක ගයලා නැහැ. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි.

* හොඳයි බැරි වෙලාවත් රෙඩ් උසාවියේදී ඔප්පු කරලා පෙන්නුවොත් ඒ ගීය ඔහුගේ සීයගේම කියලා?

ඒක අපි උසාවියේදී බලාගමුකො.

* මා දැකලා තියෙනවා ඔබේ පියාගේ ගීත සීදූවේ සකුරා ඇතුළු සංගීත කණ්ඩායම් රැසක් වේදිකාවේදී පට්ට ගහනවා. ඔබ ඒවට මුකුත් කියන්නේ නැත්තේ ඇයි?

ඒ සංගීත කණ්ඩායම මගේ තාත්තගේ ගීත කිව්වට පව් නැහැ. මොකද ඔවුන් ඒවා ගයන්නට ප්‍රථම තාත්තව මතක් කරනවා. අන්න ඒ උතුම් ගුණයට මං ගරු කරනවා. ඔවුන් තාත්තට ගෞරවයක් දීලයි ගීත ගයන්නේ. අනික එහෙම වෙන අය තාත්තාගේ ගීත ගැයීම ඒවාවල පැවැත්මටත් හොඳයිනේ.

* ඔබ කැමැතිද ඕනෑ කෙනෙක් ෆ්‍රෙඩී සිල්වාව මතක් කරලා ගීත ගයන එකට?

ඔව්. එකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒවා විකෘති කිරීම තහනම්.

* ඔබ ඔච්චර දඟලන්නේ රාජ මාළිගාවේ පරවියා වගේ ගීතය රෙඩ් විසින් ගයා ජනප්‍රිය වූ හින්දනෙ. බැරි වෙලාවත් ඒක මිනිසුන් අතරට නොගියා නම් කවුරුවත් දන්නේ නැහැ එහෙම සිංදුවක් තියෙනවාද කියලාවත්?

තාත්තා ගැයූ හැම ගීතයක්ම ජනප්‍රිය වුණේ නැහැ. නමුත් මේ කරලා තියෙන්නේ අනුන්ගේ ඇඳුමක් ඇඳගෙන ඒකට අයිතිවාසිකම් කියනවා වගේ වැඩක්නෙ. මටත් එහෙනම් කරන්න පුළුවන්නේ තාත්තාගේ පැරැණි ගීත විකුණ විකුණ ඉන්න. එහෙම කරන්න හොඳ නැහැ. ඒක තාත්තටත් අගෞරවයක්.

* නමුත් කොයි තරම් ෆ්‍රෙඩී සිල්වාගේ ගීත රීමේක් කරලා අන්තර් ජාලයේ තියෙනවාද? ඔබ ඒවට විරුද්ධව මේ වෙනකම් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ?

එහෙම තියෙනවාද . . . මං දන්නේ නැහැනේ. හැබැයි මට ඒවා අහන්න ලැබුණොත් මං එම ගී විකෘති කළ අයටත් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නවා.

* ඔබ ළඟට ඇවිත් රෙඩ් මේ සිංදුව ඉල්ලුවොත් දෙනවාද?

ඉස්සර එහෙම හිතාගෙන හිටියා. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ.

* ඇයි ඒ?

එයා ඒක මගේ තාත්තගේ කියලා රෙඩ් පිළිගෙන තාත්තාගේ නම සඳහන් කරලා ගීතය කිව්වා නම් කතා දෙකක් නැහැ. ගීතය මං දෙනවා. එහෙම කළේ නැහැනේ.

* රාජ මාළිගේ පරවියා වගේ ගීතය බහුතරයක් මිනිස්සු අතරට ගියේ රෙඩ් ගැයුවායින් පසුව. අඩුම ගානේ ඒ ගැන හිතලාවත් ඔහුට ගීය දෙන්න ඔබ කැමැති නැද්ද?

සිංදුව ආයේ දෙනවා නම් දෙන්නේ ඔහු ප්‍රසිද්ධියේ පිළිගත්තොත් විතරයි එය මගේ තාත්තාගේ කියලා. එතකොට එවලේ ඉඳලා ඔහුට එය කියන්න පුළුවන්.

* මෙච්චර කල් ඔබ ඒ ගීතය ගැයුවේ නැත්තේ ඇයි? ඔබට තිබුණනේ එය රීමේක් කොට ඉදිරිපත් කරන්න? අඩුම ගානේ ඔබේ අයියා ජනේෂ් සිල්වාවත් මේ ගීතය කිසිම තැනක ගයා නැහැ. අඩුම ගානේ වේදිකාවකවත්?

අපිට තාත්තාව විකුණගෙන කන්න වුවමනා නැහැ. අයියා වුණත් තාත්තාගේ ගීත ගැයුවේ ඉතාම සීමිත ප්‍රමාණයක්. මට ඕනෑ මගේ නිර්මාණ හරහා එළියට එන්න.

* ඔබේ උත්සාහය ගැන සතුටුයි. නමුත් ඔබ ස්ව නිර්මාණ ගැයුවත් ඔබ මිනිසුන් අතරේ ජනප්‍රිය වුණේ නැහැ රෙඩ් තරම්. කෙනෙකුට හිතෙන්න පුළුවන් රෙඩ් ලද මේ ජනප්‍රියත්වය දරාගන්න බැරිව ඔබ මෙහෙම ඔහුට විරුද්ධව ක්‍රියා කරනවා කියලා?

ඕන කෙනෙකුට ඕනෑ දෙයක් හිතන්න පුළුවන්. මොන දේ වුණත් ෆ්‍රෙඩී සිල්වාගේ දුව තවමත් ජීවතුන් අතර ඉන්නවානේ. මං ඉන්නකම් තාත්තාගේ සිංදු එහෙම විකෘති කරන්න දෙන්න බැහැ. එහෙම ඉඩ දෙන්නෙත් නැහැ.

* බුද්ධිමය දේපළ පණත යටතේ ගීතයක අයිතිය තියෙන්නේ පද රචකයා සහ සංගීතඥයාට. මේ තත්ත්වය මත ඔබට දැඩි අවාසියක් වෙනවා?

සීලවිමල අංකල් සිංදුව ලියද්දී මං අර කලින් කිව්වා වගේ තාත්තත් ඊට වචන එකතු කරලා තියෙනවා. එහෙම බලන කොට තාත්තත් මේ ගීතයේ පද රචකයෙක්. ඉතින් තාත්තාටත් ගීතයේ අයිතිය තියෙනවා. මං විශ්වාස කරනවා මේ තත්ත්වය මත මට කිසිම අවාසියක් වෙන එකක් නැහැ කියලා.

* පහුගිය කාලේ ඔය වගේ ගීතවලට අයිතිවාසිකම් කියමින් ඇතැම් අය නඩු මඟට බැස්සා. නමුත් අන්තිමේ එයින් හානි සිදුවුණේ පැමිණිලි පාර්ශවයට?

එහෙම වෙන්න ඇත්තේ ඒවා ඔප්පු කරගන්න සාක්ෂි නැති නිසා වෙන්න ඇති. මට එහෙම නැහැ. ඕනෑ තරම් සාක්ෂි මට තියෙනවා.

* මේ වන විට ඔබ රාජ මාළිගේ ගීතයේ ඔර්ජිනල් ගීතය අන්තර්ජාලයට මුදාහැර ඇති බව ආරංචියි?

ඔව්. එය අහන්න පුළුවන් කොයි කාට වුණත්. එහෙම කළේ අපේ තාත්තාගේ හඬ තමයි මේ ගීතයේ තියෙන්නේ කියලා බහුතරයකට දැනගන්න. ඒක අහන ඕනෑ කෙනෙකුට තේරෙයි මුල් ගීතයට වඩා විකෘති කළ එක කොච්චර වෙනස් ද කියලා.