වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රසකතා

බාල වියේ දුටු ඈ දැන් කෝ?

අජන්තා රණසිංහයන් පසුගිය දිනෙක අපට කතා කළා.

ඒ ඔහුට බාල වියේදී ළබැඳි වූ මිතුරියක් සොයා ගැනීමේ අටියෙන්. අජන්තා පවසන පරිදි ඇයගේ නම හැරියට් රීටා දිසානායක.

පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ජාඇල, පමුණුව ප්‍රදේශයේ.

අජන්තා සහ එම තැනැත්තිය බාල වියේදී අජන්තාට බෙහෙවින්ම සමීපව සිටි අයෙකි. එහෙයින් ඇයව නැවතත් මුණ ගැසිමට අජන්තා බලාපොරොත්තුවෙන් සිටියි.

යම් හෙයකින් මෙම පුවත රීටා දුටුවොත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අජන්තාගේ නම සඳහන් කොට ලිපියක් එවන මෙන් ඔහු ඉල්ලා සිටියි.

සුනිල් අරුණගෙන් රත්තරන් වැඩක්

සුනිල් අරුණ වීරසිරි කියන්නේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක්.

සැපට දුකට සනී සහ ක්ලීන් අවුට් චිත්‍රපට නිෂ්පාදනය කළ ඔහු තිරගත වූ ටිකිරි සුවඳ චිත්‍රපටයේත් ළඟදී තිරයට එන වීර්යා චිත්‍රපටයේත් නිෂ්පාදක අධ්‍යක්ෂ වනුයේ සුනිල් ය.

ඒ වගේම සිනමා ක්ෂේත්‍රයේ කාගේ වුවත් දුකට සැපට ඉක්මනින් එන හිත හොඳ මිනිසෙක් හැටියට සුනිල් අරුණ ප්‍රසිද්ධයි. චිත්‍රපට ව්‍යාපාරයේ නියැලුණත් සුනිල් අරුණ ස්වර්ණාභරණ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙත් ජනප්‍රිය චරිතයක්.

අද 14 වැනිදා සුනිල් සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුට අලුත් ආරාධනාවක් යවලා. හැබැයි චිත්‍රපටයක වැඩ පටන් ගන්න නොවෙයි.

හේලි නමින් ඔහු අරඹන අලුත් ස්වර්ණාභරණ මාලිගයට ගොඩ වදින දවසේ එන්න කියලා තමයි ආරාධනාව.

එය කොළඹ, පිටකොටුවේ ශාන්ත ජෝන් වෙළෙඳපොළ නමින් එදා ප්‍රසිද්ධ අද ගෝල්ඩ් සෙන්ටර් ආයතනයේ පිහිටුවා ඇති බවයි සුනිල් පවසන්නේ.

මෙහෙ ඇක්ට්‍රස් එහෙ ටීචර්...

තනුජා දිල්හානි කියලා ජනප්‍රිය නිළියක් හිටියා මතකද . . . කාලයක් ඇය මෙරට ටෙලි නාට්‍යවලට නැතුවම බැරි රංගන ශිල්පිනියක් වුණා. ඒ දවස්වල බලන, බලන ටෙලි නාට්‍යයේ තනුජා ඉන්නවා. එතරම්ම ඇයට රංගන අවස්ථා තිබුණා. නමුත් හිටි හැටියේ මේ තනුජා අතුරුදන් වුණා. එහෙම වුණේ විවාහයෙන් පස්සේ. ඉතින් මේ තනුජාට මොකද වුණේ කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.

කාට වහං වෙලා හිටියත් තනුජාට අපෙන් නම් වහං වෙලා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි හොයා ගත්තා තනුජා ඉන්නේ කොහෙද, කරන්නේ මොනවාද කියලා. තනුජා ලංකාව හැර ගිහිල්ලා. ඇය ඉන්නේ නවසීලන්තයේ. තනුජා එහෙ කරන වෘත්තිය මොකක්ද කියලා ඇහැව්වොත් ඔබ පුදුමයට පත් වේවි. ඇය නවසීලන්තයේ මොන්ටිසෝරියක ටීචර් කෙනෙක්.

දවස තිස්සේම පුංචි බබාලව වට කරගෙනලු ඉන්නේ. තනුජා නිළියක් කියලා ඒ රටේ උදවිය දන්නේ නැතිලු. ඒත් අර ළමයින්ගේ මව්පියෝ තනුජාට කියලා තියෙනවා 'ඔයා නිළියක් වගේ හැඩයි, ලංකාවට ගිහින් රඟපාන්න' කියලා.

තනුජා මේවා අහලා හරියට සතුටු වෙනවලු. හැබැයි ඇය කොයි වෙලාවකවත් කියලා නැහැ ඇය නිළියක් බව. කොහොම නමුත් ලංකාවේ හැදෙන හොඳ නිර්මාණයක රඟපාන්න ආසාවෙන් ඉන්නවා කියලා තනුජා කිව්වා. හැබැයි ඉතින් මේ වෙන කොට ලංකාවේ හොඳ නිර්මාණ හැදෙනවද කියන එක තමයි ප්‍රශ්නෙ. තනුජා හොඳම වැඩේ තමයි ඔයා නවසීලන්තෙටම වෙලා ඉන්න එක.

පත්තරේ හොරු අරන් හොරා කවුදැයි බලන්...

ඇන්ටන් ජේ. ප්‍රනාන්දුට නම් මොනවා දුන්නත් කමක් නැහැ. හැබැයි පත්තරයක් නම් දෙන්න එපා. එක්තරා හේතුවක් මතයි එහෙම කියන්නේ. ඒ සිද්ධිය පසුවට කියන්න කියලා ඔක්කෝටම කලින් ඇන්ටන් උන්නැහේ කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙන්නම්කෝ. සරසවිය පුවත්පත බලන අයට ඇන්ටන්ගේ නම නම් හොඳට හුරුයි. අපේ පළවන සිංහල සිනමා විස්තරය ලියන්නේ ඔහු.

ඒ වගේම සෙනෙහසේ මුට්ටියේ, බජාර් එකේ ලලක්කා වගේ ජනප්‍රිය (මම ඇතුළු සමහර අය නම් කියන්නේ ඒවා අංජබජල් සිංදු කියලා) ගීත රැසක් ලියලා තියෙන්නේ මේ ඇන්ටන්. ඔන්න ඉතින් මේ ඇන්ටන්ගේ කතාව අහගන්නකො. ඇන්ටන් සාමාන්‍යයෙන් එහෙට මෙහෙට යන්නේ මෝටර් බයිසිකල් කටුවකින්. ඒකේ හෝන් එකෙන් හැර අනෙක් සියලු තැන්වලින් සද්දය පිට වෙනවා.

අන්න ඒ බයිසිකලේ නැගලා ඇන්ටන් කොටුව පැත්තට ආවේ වැඩ දෙක තුනක්ම කරගන්න හිතේ තියාගෙන. කොටුවේ එක්තරා තැනකදි ඇන්ටන් තමන්ගේ පරණ යාළුවෙක්ව දැක්කා.

ටක් ගාලා බයිසිකලය නතර කළා. ඇන්ටන් යාළුවත් එක්ක ගජරාමෙට කතාව. යාළුවගේ අතේ පත්තරයක් තිබුණා. කතාවෙන්ම ඇන්ටන් එය අතට ගත්තා. එහි පිටුවක් දෙකක් බලන ගමන් යාළුවත් එක්ක කතා කළා.

ටික වෙලාවකින් ඇන්ටන් අර යාළුවගෙන් සමු අරන් ගියා. ඔහු එතැනින් නික්මුණාට පසුවයි අර යාළුවට මතක් වණේ ඇන්ටන් ගියේ තමන්ගේ පත්තරයත් අරගෙනමයි කියලා. එදින අපි දන්න දන්න කිහිප දෙනෙකුටත් ඇන්ටන් මෙහෙම කරලා.

ඔහු බයිසිකල් ජැකට් එක අස්සෙයි පත්තර තියාගෙන ඉඳලා තියන්නේ. ගෙදර ගිහින් ඇන්ටන් ජැකට් එක ගලවද්දි ජාතික පුවත්පත් කිහිපයක්ම ඒ තුළින් බිම වැටිලා. එතකොටයි ඇන්ටන්ට මතක් වෙලා තියන්නේ මේවා කාගේ පත්තර ද කියන වග.

කළු, සුදු සහ ලෝලු

රාජසිංහ ලෝලුවාගොඩ අපට සිටින හොඳ චිත්‍රපට නළුවෙකි.

ඔහු මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකටම තම රංගන දායකත්වය ලබා දෙනවා. මේවාට අමතරව ඔහු හඬ කැවීම් ශිල්පියකු ද වෙනවා. ලෝලුගේ ගම මීගමුවේ.

එහෙ ඉඳන් ඔහු කොළඹ එන්නේ මෝටර් බයිසිකලයකින්. ලෝලුව දැකපු දවසේ ඉඳලා මං ඔහුගේ විශේෂත්වයක් දැක්කා.

ඒ ඔහු කොයි වෙලාවෙත් ඇඳගෙන ඉන්නේ කළු පාට ඇඳුම් වීම. අපේ ජගත් චමිල වැඩිපුරම අඳින්නේ සුදුනෙ.

ලෝලු ඒකේ අනිත් පැත්ත. ඔහු එහෙම කළු අඳින හේතුව දැනගන්නට කැමැතිද? මෙන්න මේක තමයි ඒ. ලෝලු දිනක් සුදු පැහැයට හුරු කමිසයක් ඇඳගෙන කොළඹ ඇවිත් වැඩ කිහිපයක් කරගන්න.

එදා හවස කොළඹ ඉඳන් එනකොට අර සුදු කමිසය ගන්න දෙයක් නැතිලු. තැන තැන පැල්ලම් වැදිලා තියෙන්නේ බතික් කළා වගේලු.

එදා පටන් ලෝලු සුදු අඳින එක අතහැරලා. කළුපාට ඇඳුමට දූවිලි වැදුණත් පේන්නේ නැහැනේ. ඒකයි ලෝලු වැඩිපුරම කළු අඳින හේතුව.