වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ශබානා-තාබු-ෆර්හාන්ලාගේ නෑකම ලොකු එකක්

ශබානා-තාබු-ෆර්හාන්ලාගේ නෑකම ලොකු එකක්

හින්දි සිනමාවේ පවුල් ගස් ගැන කතා කරන අපට අද හමු වෙන්නේ තවත් අතු පතර විහිදු පවුලක්. රංගනයටම පමණක් සීමා නොවී කලාවේ විවිධ අංශයන් ඔස්සේ ප්‍රතිභාවන් දක්වන නිසාම මේ පවුල විශේෂයි. රංගනය, චිත්‍රපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සේම සංස්කරණය, තිර පිටපත් රචනය, ගීත රචනය, ගායනය සහ කාව්‍ය රචනයට ඔවුන් සුප්‍රසිද්ධයි. අක්තාර් – අස්මි - කේර් පවුල කලා හැකියාවන්ගෙන් අනූන අපූරු පවුල් ගසක්.

ජාන් නිසාර් අක්තාර් විසි වැනි සියවසේ ඉන්දියාවේ සුප්‍රකට කවියෙකි. උර්දු, ගසල් කාව්‍ය රැසක් රචනා කළ ඔහු සී. රාමචන්ද්‍රන්, නායර් වැනි සංගීතඥයන් සමඟින් අපූරු නිර්මාණ ඉන්දීය කලා ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙක්. ජාන් නිසාර් අක්තාර් කී සැණින් මතකයට එන්නේ 1956 වසරේ සී. අයි. ඩී චිත්‍රපටයේ ‘අන්කෝන් හි අන්කෝන් මේන්’, ප්‍රේම් ප්‍රභාත් චිත්‍රපටයේ ‘යේ දිල් ඕර්’ 1979 වසරේ නූරි චිත්‍රපටයේ ‘ආජාරේ’ වැනි ගීතයන් ය. ඔහු සිය අවසාන ගීත රචනාව කළේ 1983 වසරේ රාසියා සුල්තාන් චිත්‍රපටය වෙනුවෙනි. ‘ඒ දිල් ඊ නාදන්’ ඔහුගේ අවසාන ගීත රචනාවයි.

මේ මහා කවියා උපත ලබන්නේ 1914 වසරේදීය. ඔහුගේ පියා මුස්තාර් ඛයිරාබාදී ද කවියෙකි. ජාන් නිසාර් අක්තාර් සිය උපාධිය ලබා ගත්තේ අලිග්‍රා මුස්ලිම් විශ්වවිද්‍යාලයෙනි. සාෆියා සිරාජ් අල් හසක් සමඟින් විවාහ දිවියට පත් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු විය. ජේව්ඩ් සහ සල්මන් ජාන් - සාෆියා යුවළගේ පුතුන්ය. ඔහු බොම්බායට පැමිණෙන්නේ 1949 වසරේදීය. ඒ සමඟින් ඔහුගේ චිත්‍රපට පසුබිම් ගී රචනයද ආරම්භ විය. ඔහුගේ ගමන සාර්ථක වූයේ ගීතයෙනි. පිළිකා මාරයා හේතුවෙන් 1953 වසරේදී සාෆියාහට සිය ජීවිතයෙන් නමු ගන්නට සිදු විණි. ජාන් විසින් රචනා කර නිෂ්පාදනය කළ චිත්‍රපටය වූයේ ‘බාහු බෙගම්’ චිත්‍රපටය යි. 1967 වසරේ තිරගත වූ එහි ප්‍රදීප් කුමාර් සමඟින් මීනා කුමාරි චරිත නිරූපණය කළහ.

ජාන්ගේ පුතු ජාවෙඩ් අක්තාර්ද ප්‍රකට ඉන්දීය කවියෙකු, ගී පද රචකයෙකු මෙන්ම තිර රචකයෙකු ද වේ. හොඳම පද රචකයා ලෙසින් ඔහු අටවරක් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගෙන තිබේ. ‘දුනියා’, ‘මිස්ටර් ඉන්දියා’, ‘කභී නා ඛභී’ වැනි චිත්‍රපට සේම ‘ලගාන්’, ‘චල්තේ චල්තේ’, ‘කල් හෝ නා හෝ’, ‘මේන් හෝ නා’, ‘වීර් සාරා’, ‘ස්වදේශ්’, ‘ඛභි අල්විදා නා කෙහෙනා’, ‘තාරා රම් පම්’, ‘ඕම් ශාන්ති ඕම්’, ‘තලාශ්’ වැනි චිත්‍රපට සඳහා ගීත රචනා කළේය. ජාවෙඩ්ගේ විවාහය සිදු වූයේ හනී ඉරානි සමඟිනි. ඇයද චිත්‍රපට නිළියක මෙන්ම තිර පිටපත් රචිකාවියක ලෙසින්ද හින්දි සිනමාවට දායක වන්නීය. ‘ක්‍රිෂ් 3’, ‘ක්‍රිෂ්’, ‘අර්මාන්’, ‘ඩර්’, ‘ලම්හේ’ තිර රචනා සඳහාද ඇයගේ දායකත්වය ලැබුණි.

වාර්තාගත සිනමා නිර්මාණයක් වූ ‘කහෝනා ප්‍යාර් හේ’ චිත්‍රපටයේ තිර රචනය වෙනුවෙන් 2001 වසරේදී ඇය හොඳම තිර රචනය වෙනුවෙන් වූ ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. 1991 වසරේ ‘ලම්හේ’ චිත්‍රපටයේ තිර රචනය ඇයගේ රචනා කලාවේ ආරම්භය විය. ‘ලම්හේ’ චිත්‍රපටය සාර්ථක වූවා සේම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම කතාවට හිමි සම්මානයෙන් හනී පිදුම් ලැබුවාය. ‘සීතා ඕර් ගීතා’ ‘අමර් ප්‍රේම්’, ‘සමීන් කී තාරේ’ ඇය රඟ පෑ චිත්‍රපට කිහිපයකි. ‘අර්මාන්’ සහ ‘සන්ජු’ ඇය අධ්‍යක්ෂණය කළාය.

හනීගේ සහෝදරිය ඩේසි ඉරානිද හින්දි සිනමාවට මෙන්ම දෙමළ සිනමාවට ද රංගනයෙන් දායක වූවාය. ‘බන්දීෂ්, ‘ඒක් හේ රාස්තා’, ‘නායා දවූර්’, ‘ජේලර්’ වැනි චිත්‍රපටවල ඇයගේ රංගනය කතාබහට ලක් විය. ඇය විවාහ වූයේ තිර රචකයෙකු වූ කේ. කේ ශුක්ලා සමඟිනි.

ෆර්හාන් සහ සෝයා අක්තාර් ජාවෙඩ් - හනීගේ පුතු සහ දියණිය යි. ෆර්හාන් අක්තාර් ද වත්මන් හින්දි සිනමාවේ අධ්‍යක්ෂවරයෙකු, තිර රචකයෙකු, නිෂ්පාදකයෙකු, නළුවෙකු සේම ගායන ශිල්පියෙකු ලෙසද තම ප්‍රතිභාව දක්වන්නේය. එපමණක්ද නොව ඔහු පද රචකයෙකු ද වේ. ෆර්හාන්ගේ රංගනය හා ගායනය ආරම්භ වන්නේ සංගීතමය චිත්‍රපටයක් වූ ‘රොක් ඔන්’ චිත්‍රපටයෙනි. ඔහු සිනමාවට පා තැබූයේ වයස අවුරුදු 17 දීය. ඒ යෂ් චොප්රා අධ්‍යක්ෂණය කළ ‘ලම්හේ’ චිත්‍රපටයට දායක වෙමිනි.

ඔහු රංගනයට පෙර 2001 වසරේදී ‘දිල් චහතා හේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ‘ඩොන්’, ‘පොසිටිව්’, ‘ඩොන් 2’ චිත්‍රපටද ෆර්හාන්ගේ අධ්‍යක්ෂණයන්ය. ‘රොක් ඔන්’, ‘සින්දගී නා මිලෙන්ගී දෝබ්‍රා’ වැනි චිත්‍රපට සඳහා ඔහු ගී ගැයුවේය. 2013 වසරේදී ‘භාග් මිල්කා භාග්’ චිත්‍රපටයේ සුපිරි ධාවන සූර මිල්කා සිංගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබුවේය. ෆර්හාන්ගේ ආදරණීය බිරිඳ අධුනා අක්තාර්ද ප්‍රකට කොණ්ඩා මෝස්තර සැකසුම් ශිල්පිනියකි. ඇයගේ පියා බෙංගාලි ජාතිකයෙකු වන අතර මව ඉංග්‍රීසි ජාතික කාන්තාවක වූවාය. ෆර්හාන් – ආධුනා යුවළට දරුවන් දෙදෙනෙකි.

ජාවෙඩ් දියණිය සොයා අක්තාර් බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රකට වන්නේ අධ්‍යක්ෂණයට හා තිර රචනයටය. ඇයගේ පළමු අධ්‍යක්ෂණය වූ ‘ලක් බයි චාන්ස්’ චිත්‍රපටයෙන් ඇය හොඳම නැගී එන අධ්‍යක්ෂිකාව ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පුදනු ලැබුවාය. ‘සින්දගී නා දෝබ්‍රා’ ඇය සාර්ථක කළ චිත්‍රපටය විය. එම චිත්‍රපටය මූල්‍ය වශයෙන් සාර්ථක වූවා සේම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයද ඇයට හිමි විය. ‘තලාශ්’ තිර රචනයටද ඇය දායක වූවාය.

ශභානා අස්මි ජාවෙඩ් අක්තාර් අතර විවාහය සිදු වන්නේ 1984 වසරේදීය. ශබානාගේ පියාද උර්දු කවියෙකි. ඔහු කාෆි අස්මිය. ශභානා සහ ජාවෙඩ් නිසා ඉන්දියාවේ ප්‍රකට කවියන් දෙදෙනෙකුගේ පවුල් එකට එක් විය. ශභානා හින්දු සහ බෙංගාලි චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට දායක වූවාය. සමාජ සේවයේද ඇය කැපි පෙනෙන චරිතයකි. ශභානාගේ මට ශෞකත් කාෆි සමාජ සේවිකාවක මෙන්ම වේදිකා නාට්‍ය නිළියකද වූවාය. ශභානාගේ සහෝදරයා බාබා අස්මි සිනමා ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ බිරිඳ තන්ජි අස්මි සිනමා සහ ටෙලි නිළියකි. හින්දි සහ මරාති නිළියක වූ ඌෂා කිරන් තන්ජිගේ මවයි. ඌෂාගේ පුතු අද්වෙන් ඛේර්ගේ බිරිඳ උත්තරා මාත්‍රේ ඛේර් 1982 වසරේ ෆෙමිනා මිස් ඉන්දියා ලෙසින් කිරුළු පැළැඳියාය.

ජාන් අක්තාර්ගේ අනෙක් පුත්‍රයා වූ සල්මන් අක්තාර්ගේ පුතු කබීර් අක්තාර්ද අමෙරිකාවේ රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකි.

ෆාරා ඛාන් ඉන්දීය සිනමාවේ අධ්‍යක්ෂවරියක, නිෂ්පාදිකාවක, නිළියක ලෙසින් දායක වන්නීය. ෆාරාගේ මව මේනකා හනී සහ ඩේසී ඉරානිගේ සහෝදරිය යි. ‘කල් හෝ නා හෝ’, ‘ඕම් ශාන්ති ඕම්’, ‘හැපි නිව් ඉයර්’ (2014) වැනි සාර්ථක සිනමා නිර්මාණ ඇය විසින් අධ්‍යක්ෂණය කෙෙරිණි. ‘අන්ගාර්’, ‘චන්ද්‍රමුඛී’, ‘1942 : ලව් ස්ටෝරි’, ‘බෝඩර්’, ‘දිල් සේ’, ‘කුච් කුච් හෝතා හේ’, ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ වැනි වූ චිත්‍රපට රැසකට ෆාරා නර්තන නිර්මාණයෙන්ද දායක වූයේ ඇය සතු සුපිරි දස්කම් ලොවටම පෙන්වමිනි. ඇයගේ සැමියා ශ්‍රීරීෂ් කුන්ද්‍රා චිත්‍රපට සංස්කාරකවරයෙකි. ෆාරාගේ සහෝදරයා වන සජීඩ් ඛාන් ද හාස්‍ය රංගන ශිල්පියෙකි. අධ්‍යක්ෂවරයෙකි. ‘ධර්නා සරෝරි හේ’, ‘හවුස්ෆුල්’ වැනි චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කළේය.

බොලිවුඩයේ සුපිරි තරුවක වන තාබු ශබානා සහ බාබා අස්මිගේ ඥාති දියණියක වන්නීය. හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම්, බෙංගාලි චිත්‍රපට මෙන්ම ඉංග්‍රිසි සිනමා නිර්මාණ රැසකට දායක වූ තාබු ජාතික සම්මාන සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන හයකට හිමිකම් කියන්නීය. 1982 වසරේදී ‘බසාර්’ චිත්‍රපටයෙන් ඇරඹි තාබුගේ සිනමා දිවියේ වැනි චිත්‍රපට ඇයගේ රංගනයෙන් ඔපවත් විය. 2011 වසරේදී ඇය පද්ම ශ්‍රී සම්මානයෙන්ද පුදනු ලැබුවාය. තාබුගේ වැඩිමහල් සහෝදරිය ෆාරා නාස් අසූව දශකයේ ජනප්‍රිය බෙංගාලි රංගන ශිල්පිනියකි. ‘ෆස්ලේ’, ‘ප්ලේ ඛාන්’, ‘වීරු දාදා’, ‘කුන්දන්’ ඇතුළු චිත්‍රපට රසකට ඇය රංගනයෙන් දායක වූවාය. නමුත් රංගනයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිවන විටදී ඇය රංගනයෙන් දුරස් වූවාය.