වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට බලමුද කියවමුද ?

චිත්‍රපට බලමුද කියවමුද ?

මෙරට සිනමාව කවර මට්ටමකට දියුණු වුව ද, සිනමා විචාරය සම්බන්ධයෙන් තවමත් ඇත්තේ ප්‍රාචීණ යුගයේ ආකල්පයන්ය. විශේෂයෙන් ලාංකික චිත්‍රපට අරඹයා ලියැවෙන බහුතර සිනමා විචාර ගම්මැදි හෑලිවලට වඩා එහා යන්නේ කලාතුරකිනි. මෙරට බහුතර සිනමාකරුවන් මෙන්ම බහුතර සිනමා ලේඛකයන් හා විචාරකයන් ද දූපත් මානසිකත්වයෙන් එහා සිතන්නේ නැත.

විශේෂයෙන් මෑත භාගයේ බිහිවන විදෙස් චිත්‍රපට පිළිබඳ සිනමා ලිපි අන්තර් ජාලය හරහා ගෙඩි පිටින් බා ගෙන සිංහලට පෙරළෙන බැව් නොරහසකි. එයට ප්‍රධානතම හේතුව වනුයේ සිනමා විචාරය සම්බන්ධයෙන් අප තවමත් අතීත කාමයේ වෙලීමයි. සිනමා විචාරය සම්බන්ධයෙන් අපේ ඉතිහාසය මුල්ම කතානාද සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවට වඩා පැරැණිය. අපේ චිත්‍රපටය බිහි වන්නටත් පෙර ස්වදේශීය මිත්‍රයා වැනි පුවත්පත්වල එවකට තිරගත වූ බොහෝ දෙමළ චිත්‍රපට පිළිබඳ විචාර නමින් ලිපියක් පළ විය. මේ විචාර ලිපි බහුතරය තිබුණේ කතාව විවේචනය කිරීම පමණි.

ඉඳුරා විමසා බැලූ කරුණ ආදර්ශවත් ද නැත් ද යන්නයි. එම පුරෝගාමීන්ගේ කර්තව්‍ය කිසිසේත් අවතක්සේරු නොකළ යුතු වුව ද, මේ උපන් ගෙයි දෝෂය අපේ සිනමා විචාරය පුරා බලපෑවේය. එයින් මුල්වරට බැට කෑ සිනමාකරුවා වූයේ අශෝකමාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්නයි. ශාන්ති කුමාර් සෙනෙවිරත්න විසින් නිර්මාණය කරන ලද අශෝකමාලා චිත්‍රපටයේ ඇති කතාව හා ජනප්‍රවාද සහිත ඉතිහාසය ගලපමින් පූර්වපරසන්ධි ගැලපීමේ යෙදුණ සිනමා විචාරකයන් එහි තිබූ කියැවීමකට බඳුන් කළ යුතු ගති ලක්ෂණ ඉඳුරා බැහැර කළහ. මේ ලේඛකයන්ට සිනමාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගන්නට ඔවුන්ට ඇති ඉඩකඩ ද අල්පවීය.

මුල්ම කතානාද චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා වේදිකා නාට්‍යයේ තිර රෙදි ද ගෙන ගිය සිනමා ශිල්පීන් සිටි සමයක සිනමා විචාරය සම්බන්ධයෙන් ද අතීතය හාරා වර්තමානය හා ගැලපීම යුක්ති සහගත නොවේ. ඒ කෙසේ වෙතත් නැරැඹීිමට වඩා එහා යමින් සිනමා භාෂාව කියවීම හොඳින් ප්‍රගුණ කරන ලද තරුණ පරම්පරාවක් අපට සිටිති. ඔවුන් බහුතරය පැරැණි විචාර පාසලෙන් නොව ලෝක සිනමාව හමුවේ ස්වාධීනව ඉගෙන ගත් පිරිසකි.

මේ අලුත් පිරිස වර්තමානයේ ලෝක සිනමාවේ නව විධි ක්‍රම ඇතුළු ශිල්ප ඥාණය ද, සිනමා වියරණයෙහි අලගිය මුලගිය තැන්ද බෙහෙවින් හැදෑරූ කොටින්ම සිනමා සිදත් සඟරාව කට පාඩම් උන්දැලාය. එහෙත් අවාසනාව නම් මේ බොහොමයක් උපයුක්ත කොට ගන්නා සිංහල භාෂාව මෙලෝ උපන් යකෙකුටවත් තෝරා ගන්නට බැරි වීමය. නැතහොත් නීරසවීමයි. යහපත් අලුත් සිනමාව පිළිබඳ වත්මන් පරම්පරාවේ දැනුම, සිනමාව කියවීම පිළිබඳ අලුත් මතිමතාන්තර සාමාන්‍ය පාඨකයා වෙත ගෙන යාම අසීරුව ඇත්තේ මේ නිසාය. මේ අතරවාරයේදී මට අලුත් සිනමා ග්‍රන්ථයක් කියැවීමට ලැබිණ. එය නම් කොට තිබුණේ මහා සිනමාව කියවීම යනුවෙනි. රචකයා ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිය. දීර්ඝ කාලයක් මුළුල්ලේ සිනමා ලේඛකයකු ලෙස නමක් දිනූ ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ සේවය කරයි.

ඔහු මහා සිනමාව කියැවීම ග්‍රන්ථයට ඇතුළත් කොට ඇත්තේ ලෝක සිනමාවේ විශිෂ්ට යැයි සළකනු ලබන චිත්‍රපට දහයකි. මේ චිත්‍රපට දහය නම් ඕසන් වේල්ස්ගේ සිටිසන් කේන්, විට්ටෝරියෝ ඩිසිකාගේ බයිසිකල් තීව්ස්, ශාන් රෙනෝවාගේ ද රූල්ස් ඔෆ් ද ගේම්, සර්ජි අයිසන්ස්ටයින්ගේ ද බැට්ල්ශිප් පොටෙම්කින්, කාල් තියෝඩර් ඩ්‍රෙයර්ගේ ද පැෂන් ඔෆ් ජොආන් ඔෆ් ආක්, ෆෙඩ්රිකෝ ෆෙලනිගේ 8 1/2, මයිකලාන්ජිලෝ අන්තෝනියෝනිගේ ල' වෙන්චුරා, ස්ටැන්ලි කියුබ්‍රික්ගේ 2001 : අ ස්ජෙස් ඔඩ්සි, ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ වර්ටිගෝ, යශුජිරෝ ඕශුගේ තෝකියෝ ස්ටෝරි යන චිත්‍රපට දහයයි. බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය (ඕජ්ධ්) මඟින් මාසිකව නිකුත් කරනු ලබන ලොව විශිෂ්ටතම සිනමා සඟරාව වන සයිට් ඇන්ඩ් සවුන්ඩ් මාසිකය මඟින් දස වසරකට වරක් ලොව විශිෂ්ටතම චිත්‍රපට දහය තෝරා ගනු ලබති. ඒ බ්‍රිතාන්‍ය සිනමා ආයතනය මඟින් පිළිගනු ලබන ලොව පුරා වෙසෙන සිනමා විචාරකයන් හා සිනමාකරුවන්ගේ ඡන්දයෙනි.

1952 වසරේ මුල්වරට විචාරක ඡන්දයෙන් ලොව හොඳම චිත්‍රපට දහය තෝරා ගත් අතර අවසන් වරට එලෙස චිත්‍රපට තෝරා ගැනුණේ 2012 සැප්තැම්බරයේදීය. හිනිදුම සුනිල් සෙනෙවි මහා සිනමාව කියැවිම උදෙසා තෝරා ගනු ලද්දේ 1952 සිට 2012 දක්වා කාලය ඇතුළත එම සඟරාව මඟින් හොඳම චිත්‍රපට දහයට වැඩිම වාර ගණනාවක් ඇතුළත් කරන චිත්‍රපටයන්ය. 2012 වසරේදී හොඳම චිත්‍රපට දහය ලෙස ඇතුළත් වූයේ මේ අතරින් වර්ටිගෝ, සිටිසන් කේන්, ටෝකියෝ ස්ටෝරි, රූල්ස් ඔෆ් ද ගේම් 2001: අ ස්පේස් ඔඩ්සි, ද පැෂන් ඔෆ් ජොආන් ඔෆ් ආක්, 8 1/2 යන චිත්‍රපටයන්ය. මෙයට අමතරව එෆ්. ඩබ්ලිව්. මූනේ ගේ සන්රයිස් : අ සෝංග් ඔෆ් ටු හියුමන්ස්, ජෝන් ෆෝර්ඩ්ගේ ද සර්චර්ස්, සියා වර්ටොෆ්ගේ මෑන් විත් අ මූවි කැමරා යන චිත්‍රපට එම දහය මෙවර සම්පූර්ණ කළේය. එවර බැට්ල්ෂිප් පොටෙම්කින් 11 වන ස්ථානය ද, ල'වෙන්චුරා 21 වැනි ස්ථානය ද අත්පත් කර ගති.

සිනමා විචාරකයන් සහ සිනමාකරුවන් ඒ ඒ චිත්‍රපට පිළිබඳ බලන ආකල්පයන්හි වෙනසකට වඩා මෙහි සිදු වනුයේ ඒ ඒ චිත්‍රපටය ලබන සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව එක් එක් චිත්‍රපටවල ස්ථාන මාරුවීමය. කෙසේ වෙතත් 1952 වසරේ හැර එදා මෙදාතුර එම චිත්‍රපට මුල් ස්ථාන දහයට ඇතුළත්වීමට සිටිසන් කේන් සමත්වීම විශේෂයකි. 1952 දී සිටිසන් කේන් ඇතුළත් වූයේ 11 වන ස්ථානයටය. චිත්‍රපට දහය අතරින් මෙවර පළමූ ස්ථානයට තෝරා ගැනුණු වර්ටිගෝ සඳහා ඡන්ද 191 ක් ලැබුණ අතර සිටිසන් කේන් ඡන්ද 157 ක් ලබා ගති. විචාරකයන්ට අමතරව සිනමාකරුවන් අතින් හොඳම චිත්‍රපට තේරීම 1992 වසරේ අරඹන ලද අතර 2012 දී ඔවුන් විසින් තෝරා ගන්නා ලද චිත්‍රපට 10 ටද ටෝකියෝ ස්ටෝරි 2001, අ ස්පේස් ඔඩිසි, සිටිසන් කේන්, 8 1/2, බයිසිකල් තීව්ස් හා වර්ටිගෝ ඇතුළත් විය. එයින් බැහැරව අධ්‍යක්ෂවරුන් විසින් තෝරා ගන්නා ලද්දේ ඇපකලිප්සේ නව්, ගෝඩ් ෆාදර්, ටැක්සි ඩ්‍රයිවර් හා ද මිරර් යන චිත්‍රපටයන්ය.

ආචාර්ය හිිනිදුම සුනිල් සෙනෙවි සිය ග්‍රන්ථයෙහිලා අපේ සිනමා පාඨකයන්ට චිත්‍රපට විචාරයෙහිලා අනුගත් සිනමාත්මක කියවීම හා දෘෂ්ටිවාදී කියැවීම යන අංග දෙකෙන්ම චිත්‍රපට පිළිබඳ හඳුන්වාදීම විශේෂ කරුණකි. එහිදී ඔහුගේ භාෂාව වැදගත් බව විශේෂයෙන් කිව යුත්තේ මෙබඳු සිනමා විචාර කියැවීම දුෂ්කර කටයුත්තක්ව තිබූ හෙයිනි. සෑම චිත්‍රපටයක් හා සිනමාකරු පිළිබඳ සිත් ගන්නා සුළු හැඳින්විමක යෙදෙන ඔහු සිනමාත්මක කියැවීම හා දෘෂ්ටිවාදී කියැවීම යන දෙඅංශයෙන්ම එක් එක් චිත්‍රපට පිළිබඳ ස්වකීය කියවීම සඳහන් කරයි. එය මනරම් සරල සුගම භාෂා රීතියක් ඔස්සේය.

සිනමා කෘතියක් කියැවීම යනු හුදු ප්‍රේක්ෂක අභිරුචිය ඉක්මවා යෑමකි. බොහෝ චිත්‍රපට අපට වඩා දැනෙනුයේ එහි ඇති සිනමා භාෂාව උපයෝගි කර ගන්නා විලාසය අනුවය. සිනමාවේ රූපීය භාෂාව විඳගෙන දැනගැනීම හරියට සැළලිහිණි සංදේශය දැනගෙන කියවන්නා වැනිය. එහි අරුත් නොදැන පබැඳුමෙන් ඇති මියුරුභාවයට වසඟ වීම එකකි. අර්ථපූර්ණ භාව පූර්ණයන් එළිදරව් කොට රස විඳීම තවත් එකකි. සිනමාත්මක කියැවීම යනු එයයි. දෘෂ්ටිවාදී කියැවීමේදී එකිනෙකා අතර මතවාදී වෙනස්වීම් ස්වභාවිකය. කාලීනව අදහස් ද වෙනස් වෙයි. නිධානය චිත්‍රපටය එදා ප්‍රතික්ෂේප කළ මාක්ස්වාදී විචාරකයන් පසු කලෙක එය ආදරයෙන් වැළඳ ගත්හ. ආචාර්ය සුනිල් සෙනෙවි තෝරා ගත් චිත්‍රපට දහය ලොව විශිෂ්ටතම නිවැරැදි චිත්‍රපට දහයක් ලෙස තර්ක කරන්නට මා අකැමැතිය. එහෙත් ඔහු ඒ සඳහා නියැදියක් භාවිතා කරයි. එහෙත් සිනමාව යනු අතීතය යැයි තවමත් අපේ බොහෝ දෙනා සිතන තැනකට ඔහු නියෝජනය කරන පරම්පරාවේ කෙනෙකු වැටෙනු දැක්මට මම අකැමැත්තෙමි.

සිනමාව වර්තමානයේ එහි තුන්වන යාමයට පා තබා ඇත්තේය. නිහඬ, කතානාද සහ ඩිජිටල් යන මේ යුගයන් තුන ඇතුළත ලොව පුරා දෘෂ්ටිවාදි කියැවීම් හැඟීම් සමඟ වරින් වර වෙනස්ව ගියේය. මේ වකවානුව ඇතුළත රූපයේ භාවිත ප්‍රකාශනය දියුණු වූ අතර, රූපය හා සමානව හඬ පටය ද (වහරණ භාෂාව නොවේ) ඒ හා සමාන අගයක් ගත්තේය. ආචාර්ය සුනිල් මේ වෙනස්විම වඩා උකහා ගත් අවස්ථාවන් හා සැසඳිය යුතු එක් වැදගත් අවස්්ථාවක් නම් කතානාද චිත්‍රපටයක් වන සිටිසන් කේන් සහ නිහඬ චිත්‍රපටයක් වන බැට්ල්ෂිප් පොටෙම්කින් අරබයා කරන විචාරයේදීය. කතානාද සිනමාව පිවිසි පසු සිනමාවේ අනන්‍යතාව බිඳ වැටුණු වග එකල සිනමාකරුවන්, විචාරකයන් මත පළ කළහ. ඩිජිටල් තාක්ෂණය, දළ සේයා පටලය කුණු බක්කියට දමද්දී සිනමාවේ අනන්‍යතාවය පිළිබඳ හිසේ අත ගසමින් හැඬූවන් අපි මෑත කාලයේ දුටිමු.

සිය ග්‍රන්ථයේදී අයිසන්ස්ටයින් හා ඔහුගේ බැට්ල්ෂිප් පොටෙමිකින් පිළිබඳ ආචාර්ය සුනිල්ගේ් හඳුන්වාදීමේදී 1919 අගෝස්තු 27 වැනිදා රුසියානු චිත්‍රපට කර්මාන්තය ජනසතු කරන ලද බවත් එයින් පසු උදා වූයේ යථාර්ථවාදී චිත්‍රපට යුගය බවත් සඳහන් කරයි. එහෙත් එයින් පසු ලෙනින් හා ස්ටාලින් සිනමාව සිය දේශපාලන ප්‍රකාශනයෙහිලා උපයෝගී කර ගත්හ. කෝටි ගණනක සෝවියට් රුසියානුන් අමතන්නට නම් සිනමා රූපයේ බලමහිමය එදා ඔවුන් වටහා ගත්හ. මේ තත්ත්වය පසු කලෙක මහත්මා ගාන්ධි, හිට්ලර් මෙන්ම මාඕ සේතුං ද වටහා ගත්හ. සිනමාවේ අනන්‍යතාව සොයා ගිය මහා සිනමාකරු අයිසන්ස්ටයින් අවුරුදු පනහක් වැනි කෙටි කලකදී අකල් මරණයකට ගොදුරු වනුයේ සෝවියට් බලධාරින්ගේ කෙනහිලිකම්වලට මුහුණ දී ගත නොහැකිවය. එය වෙනම පරිච්ඡේදයක් ලියැ විය යුතු ඛේදවාචකයකි.

ආචාර්ය සුනිල් සෙනෙවි තෝරා ගත් චිත්‍රපට කෙරෙහි පෞද්ගලිකව මගේ එකඟතාවක් නැතත් එකී චිත්‍රපට දහය ප්‍රතික්ෂේප කරන්නට නොහැක. මේ අතරින් අප සියල්ලන්ගේම ආදරය දිනූ එමෙන්ම ජීවිත කාලය පුරා කවර වාරයක් නැරැඹුව ද අලුත් අර්ථයක් ගෙන දෙන 'සිටිසන් කේන්' පිළිබඳ ඔහු විසින් සිනමාත්මකව හා දෘෂ්ටිමය වශයෙන් එක් කරන ලද සිනමා විචාර එම චිත්‍රපටය පිළිබඳ තවත් සිතුවිලි සමූහයකට මඟපාදයි. මේ චිත්‍රපට දහය අතරට ජෝන් ෆෝඩ් වැනි සිනමාකරුවකුගේ 'ද සර්චර්ස්' වැනි චිත්‍රපටයක් ඇතුළත් වී නම් එහි අගය තවත් වැඩිවන බව කිව යුතුය. ෆෝඩ් යනු පසුකාලීන සිනමාකරුවන්ගේ චිත්‍රපට පිළිබඳ පාරිභාෂිත රූප කෝෂය යැයි අමුතුවෙන් කිව යුතු නැත.

මේ ග්‍රන්ථයෙහි ඇතුළත් චිත්‍රපට දහයෙන් අටක්ම කතානාද චිත්‍රපටය. දෙකක් නිහඬ චිත්‍රපටය. ඒ 'බැට්ලිෂිප් පොටෙම්කින්' සහ 'ද පැෂන් ඔෆ් ජොආන් ඔෆ් ආක්' චිත්‍රපටයන්ය. එදා මෙදාතුර ලෝක සිනමාවේ බිහි වූ විශිෂ්ටතම නිළියක ලෙස ගැණෙන රෙනී ජීන් ෆැල්කොනෙන්ටිගේ රංගනය පිළිබඳ පවසද්දී ඒ සැසඳීම සඳහා අපේ සිනමාවේ ආරම්භ කිරීම පිළිබඳ සඳහන් කිරීම ද යුක්ති සහගත නොවේ.

නිහඬ සිනමා යුගයේ බිහි වූ විශිෂ්ටතම නිළිය ලෙස සැලකෙන ෆැල්කොනෙන්ටි රඟපෑවේ 'ද පැෂන් ඔෆ් ජොආන් ඔෆ් ආක්' චිත්‍රපටයේ පමණි. 1946 දී ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිී ඇය මිය යන විට (ඇත්තටම ඈ දිවි නසාගත්තාය) බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තිර රෙදි පටවාගෙන සිනමාවේ 'අ' යනු 'ආ' යනු කීමට නැව් නැඟි පුවත යනුවෙන් ආචාර්ය සුනිල් සෙනෙවි කරන සඳහන් තරමක් රළු වැඩිය. ලෝක සිනමාවේ උත්පත්ති කතාවේ ලාබාලයන් වූ ද එසේ අපේ සිනමාව ගැන හීනමානයෙන් පෙළෙන්නට අවශ්‍ය නැති වග මම විශ්වාස කරමි.

සිනමා ප්‍රේක්ෂකයන් සිනමාත්මක කියැවීමක් හෝ දෘෂ්ටිමය කියැවිමක් හෝ ප්‍රගුණ කළේ නම් මෙරට සිනමාවේ ආයුෂ මෙයට බොහෝ කලකට පෙර නිම වන්නට තිබිණි. ලෝකය පුරා වුව ද සාමාන්‍ය ප්‍රේක්ෂකයා එලෙස සිනමා විග්‍රහයක යෙදෙන්නේ නැත. සිනමාව හුදු ආශ්වාදය පතා තැනෙන වෙළෙඳ භාණ්ඩයක් ලෙස ව්‍යාප්තව ඇත. එනමුත් සිනමාකරුවන් සිනමාත්මක භාෂාව ඉතා මැනවින් වටහා ගත යුතුව ඇත. එය දිනෙන් දින දියුණුවන රූපයෙන් කතා කරන ලෝකයක ලෝකයේ කවර දික් භාගයක වුව ද වෙසෙන ඕනෑම තරාතිරමක කෙනෙකුට තම සිතැඟි ප්‍රකාශ කළ හැකි වඩාත්ම සජීවී භාෂාව සිනමා භාෂාව ලෙස හඳුන්වන නිසාය. වර්තමානයේ ජනප්‍රිය බොලිවුඩ් සිනමාවේ හෝ වේවා හොලිවුඩ් සිනමාවේ හෝ වේවා දෘෂ්‍යමය කියැවිම පසෙකලා එය අගය කරන්නේ එහි ඇති සිනමාත්මක කියැවීම මතය. කොටින්ම කියනවා නම් ලෝකයේ ඇත්තේ චිත්‍රපට දෙවර්ගයකි. එක්කෝ හොඳ චිත්‍රපටය. නැත්නම් නරක චිත්‍රපටය. චිත්‍රපටයක් හොඳ වන්නට නම් එහි සිනමාත්මක කියැවිමක් තිබිය යුතුය. නරක නම් මොන මඟුලක්වත් නැත. මහා සිනමාව කියවීම කළ යුත්තේ එය වටහා ගන්නටය.