වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන් පස් වසරක් සිර ගෙට දැන් ඉතින්...

සල්මන් පස් වසරක් සිර ගෙට දැන් ඉතින්...

පදික වේදිකාවේ නිදා සිටි පුද්ගලයන් පස් දෙනෙකු යට කර පළා ගියේ ටොයෝටා වර්ගයේ ලෑන්ඩ් කෲසර් රථයකි. අනපේක්ෂිත මෙහොතක සිදු වූ මේ අනතුරින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබන විටදී එක් පුද්ගලයෙකු මරණයට පත් විය. අනතුර සිදු කර මෝටර් රථය පළා ගියේ ක්ෂණයෙනි. එහෙත් සත්‍ය වසන් කළ නොහැකිය. වරදකරුවන් හසුවිය. රථයේ හිමිකරු නළුවෙකි. සුපිරි නළුවෙකි. සිදුවීමට අදාළව ඔහු විසින් කළ වැරදි කිහිපයකි. අවසානයේදී සිදු වන්නේ කුමක්ද? සියල්ලන්ම බලා සිටියේ මෙම නඩු විභාගයේ තීන්දුව ලැබෙන තෙක්ය. එයද සිදු වී හමාරය. සුපිරි නළුවාට පස් වසරක සිර දඬුවම් නියම විණි.

මෙය චිත්‍රපටයක කතාවක් මෙනි. එහෙත් එය එසේ නොවේ.

ඔහු නමින් අබ්දුල් රශීඩ් සලීම් සල්මන් ඛාන් ය.

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්හට අදාළ නඩුවක තීන්දුව ලැබුනේ එලෙසිනි. පදික වේදිකාවේ සිටි පුද්ගලයන් පස් දෙනෙකු යටකර පළාගිය ඔහුහට පසුගියදා බොම්බායේ අධිකරණය පස්වසරක සිරදඬුවමක් නියම කළේය. 2002 වසරේදී මෙම සිදුවීම වූ අතර අනතුරින් සිව්දෙනෙකු තුවාල ලබද්දී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. රංගනය ඔහුට සුපුරුදු වුවත් සැබෑ ජීවිතයේදී රංගනය ඔහුට සාර්ථක අයුරින් කළ නොහැකි විය. තම රියදුරා විසින් එම අවස්ථාවේදී රථය ධාවනය කළ බව ප්‍රකාශ කළද සල්මන් විසින්ම රථය පදවා ඇති බවට සාක්ෂි ඔප්පු වූයේය.

දහතුන් වසරක් පුරා මෙම නඩුව අධිකරණයේ විභාගයට ගැනිනි. එහිදී ඔප්පු වූයේ සල්මන් විසින් රිය ධාවනය කර ඇති බවත් එම අවස්ථාවේදි බීමතින් සිටි බවයි. සුපිරි නළුවෙකු වුවද ඔහු වරදක් සිදු කර තිබේ. එකක් නොව කිහිපයකි.එහි අවසානය දඬුවමයි. දැන් එළැඹ ඇත්තේ එම අවස්ථාවයි.

වයස අවුරුද පනහ කඩඉම පෙනි පෙනී සිටියද සල්මන්හට තරුණියන්ගේ ආකර්ශණය නොඅඩුව හිමි වේ. තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඔහු තරමක් කේන්තිකාරයෙක් ලෙසක් දඩබ්බරයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ ප්‍රකටය. පෙම් පළහිලව්ද අඩුවක් නැත. ආන්දොලනාත්මක පෙම් කතා නිසා ද ඔහු නිරන්තරයෙන් පුවත් මවන්නෙකු බවට පත් වෙයි. පැරණි පෙම්වතියකට සමාජ ශාලාවකදී බෝතලයකින් පහරදුන් සිදුවීමක්ද ඒ අතර වෙයි.

බොලිවුඩයේ සුපිරි සුරූපි නිළියන් කිහිප දෙනෙකුම ඔහුට පෙම් බැන්දාහ. එහෙත් ඒ එකක්වත් සාර්ථක නොවී අදටද ඔහු තනිකඩව සිටින්නේය. සංගීතා බිජ්ලානි, ඓෂ්වර්යා රායි, කත්‍රිනා කායිෆ් සමගින් වූ ප්‍රේම කතා කතා බවටම සීමා විය. 2013 වසරේ සල්මන්ගේ පෙම් කතා අතරට එක් වූයේ, රුමේනියානු සුරූපිනියකි. රුමේනියානු ජාතික නිළියක වූ ලූලියා වැන්ටර් සමඟින් සල්මන්ගේ ප්‍රේම සබඳතාවයක් ඇති බවත් එය විවාහයකින් කෙළවර වනු ඇති බවත් එකළ ජනප්‍රිය විය. සල්මන් ලුලියාහට ත්‍යාගයක් ලෙස සුඛෝපභෝගි නිවෙසක් දුන් බවත් ඒ අතර විය.

ලෝප්‍රකට නිළියක හා ගායිකාවක වන පැරිස් හිල්ටන් සමඟින්ද සල්මන්ගේ ආදර සම්බන්ධයක් ඇති බව කට කතාවක් පැතිර ගියේය. ඉන්දියාවේදී දෙදෙනාම එකට හෝජන සංග්‍රහ සඳහා සහභාගි වූ අවස්ථාවල ඡායාරූප පවා දැක ගන්නට ලැබිණි. සල්මන්ගේ හිත ගත් නිළියන් අතරේ ලාංකේය සුරූපිණියකද වන්නීය. ඇය වෙන කවුරුත් නොව ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් ය. බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වී ඉතාම කෙටි කලකින් සාර්ථක වන්නට ඇය වාසනාවන්ත වූවාය. ජැකලින් හා සල්මන් පිළිබඳ කට කතා පැතිර ගියේ කික් චිත්‍රපටයේ කටයුතු සමඟිනි. සල්මන් සමඟින් කික් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජැකලින්ය. සල්මන් සහ ජැකලීන්ගේ ගමන් බිමන්ද මාධ්‍යයට රහසක් වුණේ නැත.

බොම්බායේ බන්ද්‍රාහි ගැලැක්සි නිවාස සංකීරණයේ සුඛෝපභෝගි නිවෙස, පර්වෙල්හි අක්කර 150 මෙන්ම විශාල මන්දිර තුන ඇතුළුම මහා දේපළකට හිමිකම් කීවද ඔහු තවමත් මනමාලියක් කැන්දාගෙන ආවේ නැත. අද හෙටම සල්මන් විවාහ වනු ඇති බවට පුවත් පළ වුවද ඔහුගේ විවාහය මේ දක්වා සිදු වූයේ නැත. එසේ වුවත් නොසිතු අයුරින් ඔහුගේ පනස් වැනි උපන් දින ත්‍යාගය කළින්ම ඔහුට ලැබී තිබේ. තවත් සත් මසකින් ඔහු පනස් විය සම්පූර්ණ කරන්නේය.

පෞද්ගලික ජීවිතය තරමක් ගැටුම්කාරී වුවද වෘත්තිය ජීවිතයේ ඔහු අතිශය සාර්ථක වූයේය. ඔහු දායක වූ ඩබාන්ග්, වෝන්ටඩ් චිත්‍රපට වාර්තා තබමින් තිරගත විය. කික්, වෝන්ටඩ්, යුවරාජ් චිත්‍රපට සඳ සල්මන් පසුබිම් ගායනයෙන්ද එක් විය. 2012 වසරේ එක් තා ටයිගර් චිත්‍රපටය පළමු දිනයේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 30ක ආදායමක් වාර්තා කළේය. මේ වන විටත් ඔහු බජ්රන්ගී භායිිජාන් සහ ප්‍රේම් රතන් ධාන් පායෝ චිත්‍රපට සඳහා දායක වෙමින් සිටින්නේය. බජ්රන්ගී භායිිජාන් නිෂ්පාදනයටද ඔහු සම්බන්ධ විය.

කෙසේ වුවත් සල්මන්ට පසුගිය කාලයේ දර්ශන තලයන්ට සේම නිරන්තරයෙන් උසාවි යාමට අවස්ථා පෑදුනේය. දුර්ලභ ගනයේ මුවෙකුªට වෙඩි තැබීම සම්බන්ධයෙන්ද ඔහු අධිකරණයේ වූදිතයෙකුව සිටින්නේය. 1999 වසරේ හම් සාත් සාත් හේන් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදු කළ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන්ද සල්මන්ට විරුද්ධව නඩු පැවරී තිබේ. එයින් ඔහුහට බ්‍රිතාන්‍ය වීසා පවා අහිමි වී තිබේ.

සල්මන්ට අත් වූ මේ ඉරණම ගැන ක්ෂේත්‍රයේ මිතුරු මිතුරියන්ටත් ගෙන දුන්නේ සංවේගයක්. පළමුවෙන්ම සල්මන් බලන්න ඇවිත් තිබුණේ පැරණි මිතුරා අමීර්. අමීර් - සල්මන් අතර මිත්‍රත්වය ගොඩක් පැරණියි. සෝනක්ෂි සිං, වහීදා රහීම්, ශාරුක් ඛාන්, රිතික් රෝෂන්, ගෝවින්දා, සන්ජේ කපූර්, කරන් ජොහාර්, බිපාෂා බාසු වගේම පැරණි පෙම්වතියක වූ සංගීතා බිජ්ලානිත් සල්මන් බලන්න ගැලැක්සි නිවාස සංකීර්ණයට ඇවිත්. ගෙදරට පැමිණීමට නොහැකි වුණ පරිනීති චොප්රා, රවීනා තන්දන්, අර්ජුන් කපූර්, රාණි මුඛර්ජි වැනි තවත් කිහිප දෙනෙක් ට්විටර් පිටුවෙන් ළබැඳි මිතුරාට සංවේගය පළ කළා.