වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




තව පොඩ්ඩෙන් ජිප් එක කුඩු

තව පොඩ්ඩෙන් ජිප් එක කුඩු

ආත්මා දර්ශන තලයේ රසබර කතාන්දර

ගයාන් - චතුරිකා ගේ නිෂ්පාදනයක්

වන වදුල පීරා එන දිය සීරා තවමත් ගමන නවතා නැත. වෙහෙසක් නොදැනෙන ලෙස සුකොමල දියවරට එක්වන පෙණ මිශි‍්‍රත දිය කඳුර සඳ එළියට ප්‍රේම කරනවා විය හැකිය. වේලාව රාත්‍රී දහයට ආසන්න වුවද තවමත් පුරසඳ ගඟන තලයට පැමිණ නැත. ඉඳහිට දියපහර සමඟ කෙළි සෙල්ලමක යෙදෙන කොළ ගෙම්බෙකු හැරුණු කල මේ රාත්‍රියේ සියලුදෙනා නිදි සුවයේය.

‘හඳට සල්ලි බැන්ෙඳ කීයටද?

සුපුරුදු හඩින් බිඳුණේ මා වියමින් සිටි පරිසර ගෙත්තමය. මා සිටි ගල්තලාවේ සමීපයෙන්ම හිඳත්තේ ගයියාය. එසේත් නැත්නම් ගයාන් වික්‍රමතිලකය. නාච්චිමලේ පසුකර හමන සුළං පහස විඳිමින් අපි කතාවට වැටුනෙමු...

“මාර සීතලයි වතුර”

ගයියා කතාවට පෙර සිහිල් දියවරින් වත දොවා ගත්තේය. මා මේ රාත්‍රියේ නාච්චිමලයට පැමිණියේ ‘ආත්මා රූගත කිරීම් නරඹන්නටය. ගයාන් හා චතුරිකා එක්ව නිෂ්පාදනය කරන ‘ආත්මා’ දින කිහිපයකින් කා අතරත් කතාබහට ලක් වූයේ එහි කතාබහට ලක්කෙරෙන වෙනස්ම කතා තේමාව නිසාමය. සතියේ දිනවල රාත්‍රී 7.30 ට ස්වර්ණවාහිනියේ දිග හැරෙන මෙම ටෙලි සිත්තම ජනක චමින්ද අත්තනායක ගේ අධ්‍යක්‍ෂණයකි.

නාච්චිමලේ නාන තටාංගනයේ රූගත කළ යුත්තේ චතුරිකා දියේ බැස සිටින දර්ශනයකි. සියල්ලම සැලසුම්කොට දර්ශනය රූගත කළ යුත්තේ රාත්‍රී 11.00 ට පමණය. නමුත් ගැටලුවකි. චතුරිකාට වෙව්ලන තරමට උණය.

පෙරදා රාත්‍රියේ දී විඩාබර වූ චතුරිකා වාහනයේ පිටුපස අසුනට බරදී සුවබර නින්දකය. මේ මොහොතේ සියලු දෙනාගේ ප්‍රාර්ථනය ඇයට ඉක්මන් සුවය ලැබීම වූවාට සැක නැත. සියල්ල සූදානම් වූ මොහොතේ චතුරිකා නැගී සිටියේ තරමක් ව්‍යාකූල ස්වරූපයෙනි. නමුදු ගැටලුවක් නැත. උණ බැස ගොස්ය. ඈ දර්ශනයට සූදානම්ය. අයිස් කැටයක් වන් දියපහරට බැස චතුරිකා තමන්ගේ දර්ශනය නිමා කළේ සියලු දෙනාට සැනසුම් සුසුමක් ගෙන දෙමිනි.

ඉන් පසුව රූගත කිරීමට නියමිතව ඇත්තේ චමිල අත්තනායක බියවද්දන දර්ශනයකි. හැමදාමත් විමෝදයට බර ගයියා සැලසුම අඳින්නේ ජනක සමඟය. දර්ශනයේ ඇතුළත් වන්නේ කැලෑ පාරකින් රාත්‍රියේ එන චමිල බය කිරීමය. දර්ශනයට සියල්ල සූදානම්ය. මහ කැලයේ මැද චමිලව තබා ජනක රූගත කිරීමට සූදානම්ය.

චමිල ඔය පරදිගේ එන්න... ඒක මුලින්ම ගමු. බයකරන සීන් එක පස්සෙ ගමු. ඕ..කේ..

මහා පාළු ඝන අඳුරින් වැසුණු වනාන්තරයේ ඈත සිට චමිල පැමිණෙන්නේ වට පිට බලමිනි. රූගත කරන තැන සිට මීටර් 50 පමණ ඈත පඳුරක් පසු කරද්දිම චමිල වෙතට කෑ ගසමින් ගයියා කඩා පැන්නේ අනපේක්‍ෂිතවය. අනපේක්‍ෂිත බියවැද්දවීමෙන් සැබෑවටම තැතිගත් චමිල කැලේ කඩාගෙන දුවන්නට වුණේ ‘බුදු අම්මෝ’ හඬ නඟමිනි. නැවතත් කැලය දෙසටම දිවගිය චමිල සොයාගත හැකි වූයේ විනාඩි කිහිපයක මෙහෙයුමකට පසුවය.

දර්ශන සියල්ල රූගත කොට අවසන කයියක් ගැසීම සාමාන්‍යයෙන් දර්ශන තලයක සිරිතය. ඒ කයිය රස කතා ගුලාවක්ම වන්නේ සියලු දෙනා රූගත කිරීම් නිමාකොට සැහැල්ලු මනසකින් සිටින නිසාවෙනි.

‘එදා කොහොමද තව පොඩ්ඩෙන්’

කතාවට මුල පිරුවේ ගයියාමය.

‘දවසක් ....අපිට ෂූටිං තිබුණා කිඹුලාවල. අපේ ඉන්නවා ක්‍රිෂාන්ත කියල නළුවෙක්. එයා එළවන්නේමගේ ජීප් එක. කියුලාවල හතරමං හන්දියෙ එකපාරක ඉඳලා වාහනේ ප්‍රධාන පාරට දාලා හරවලා යන එකක් තමයි තිබුණේ. ජනක ඇක්ෂන් කිව්වා විතරයි ක්‍රිෂාන් වාහනේ දැම්මා පාරට එකපාරටම. අනෙක් පැත්තෙන් එකසිය පනහට විතර ආපු ටිපර් එකක් ඇවිත් වාහනේ සයිඩ් කණ්ණාඩිය කඩාගෙන ගියා. තව චුට්ටක් මිස් වුණානම් ජිප් එක කුඩේ කුඩු.

ගයියගේ කතාව අවසානයේ කතාව පටන්ගත්තෙ චමිල.

මෙයාට එන්න තිබුණේ අපේ බෑන්ඩ් ෂෝ එක දවසේ .

චමිල කීවේ මා මූලික කරගනිමින්.

“මොකක්ද ප්‍රොමෝෂන් ෂෝ එකක් තිබුණද?

නැවත පැනය මගෙන්.

නෑ මේ නාට්‍යයේ රඟපානවා දිනේෂ් සුබසිංහ. එයා තමයි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂණය කළෙත්. කතාවෙ හැටියට අපිට බෑන්ඩ් එක් තියෙනවා. ඉතිං ස්ටේජ් එකක් ගහලා බෑන්ඩ් එකේ බඩුටික ගෙනල්ලා දර්ශනයට සූදානම් වුණා. සවුන්ඩ් එහෙම දාලා තිබුණේ. දිනේෂ් අහුවෙන අහුවෙන හැම සංගීත භාණ්ඩයම ප්ලේ කරනවා. අපිත් ඉතිං පුළුවන් විදියට ප්ලේ කරනවා. අන්තිමට දවසෙන් භාගයක් විතරම ප්ලේ කර කර හිටියා. සින්දු කිව්වා. ගිටාර් ගැහුවා. ඔක්කොම ඉවරවෙලා තමයි ෂූටිං පටන් ගත්තේ.

ආත්මා රූගත කිරීමේ දර්ශන තලයේ රසපිරි කතා ගොන්නකි. ඒ අතරතුර විහිළු තහළු මෙන්ම හාස්‍යජනක මඩ ප්‍රහාර ද එමටය. නමුදු මේ දර්ශන තලයෙන් තව මොහොතකින් නික්මී යායුතුය. රාත්‍රිය නොවෙනස්ව ඇත්තේ විනාඩි කිහිපයකි. හෙට අලුත් දවසකි. ආත්මා ඔබේ නිවෙසට එන අලුත්ම පැහැබර දවසකි.

ආත්මා නළු නිළි පිරිවර

ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් වික්‍රම, මොරින් චාරුනී, මානෙල් වානගුරු, රමණි සිරිවර්ධන, නිරෝෂා තලගල, අනුර බණ්ඩාර රාජගුරු, කමල් දේශපි‍්‍රය, විශ්ව ලංකා, මේනකා මධුවන්ති, රූපා ගෝමස්, දයාසිරි හෙට්ටිආරච්චි, චමිල අත්තනායක.