වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




යළි එන්නම එන්නම හිතුණේ නම්

යළි එන්නම එන්නම හිතුණේ නම්

නුඹ එන්න එපා මගෙ හිත තහනම්

සුරම්‍යා මාපිටිය

හදවත පත්ලෙහි සිරවුණු නොයෙක් හැඟීම් අවදි වන සොඳුරු අඬහැරය ‘මතක ගී පොත’යි. සිය පන්හිඳෙන් ලියැවුණ ද, සිය සහෘදයකුගේ පන්හිඳෙන් ලියැවුණ ද ඒ මතකය සොඳුරු මතකයක්මය. සොඳුරු, සංවේදීව කියැවෙන මතකයක්මය. මෙවර ‘මතක ගී පොත’ විශේෂාංගයට සහභාගි වන්නේ ඇයයි. ඒ සුරම්‍යා මාපිටිය නම් ගීත රචිකාවයි.

මගේ හදවත පතුලෙහි සදා රැඳුණු ඔහු කවුරුන්දැයි මම නුඹට නොකියමි. ඒ සංවේදී, කලාකාමී සොඳුරු මිනිසා මට මුණ ගැසුණේ අපූරු අයුරිනි. මා සිටියේ මේ මාර්තු මස එළිදැක්වීමට නියමිත සංගත තැටියට හා පෙම් කවක් ලියූ සුරම්‍යා ප්‍රසංගයට ගීත ගනිමිනි.

‘මේ ගීතයත් මේ සී. ඩී. එකට දාන්නේ නැද්ද?’

ඔහු මගෙන් විමසුවේ මා ඉදිරියේදී කරන්නට යන කාර්යය ඔහු සමඟ පැවසූ කල ය. මම ඔහු දෙසම බලා උන්නෙමි.

‘මම මේ වනතුරුත් දන්නේ නෑ ඔයා තමයි මේ ගීතය ලිව්වේ කියලා’

මගේ නෙත් අතරට එබී ඔහු පැවසූ ඒ කතාවේ දිගු ඉතිහාසයක් ගැබ්ව ඇතැයි මට සිතුණේ ඉබේටමය.

‘ඇත්තම කිව්වොත් මේ ගීතය අහන හැම වෙලාවෙම මට හිතෙන්නේ මේ ගීතය ලියලා තියෙන්නේ මටම කියලයි.’

මා වැළඳ ගෙන ඔහු පැවසූ අයුරු මට අද මෙන් මතකය.

‘මට සතුටුයි ඔයාම මේ ගිතය ලිව්ව එක’

ඔහු දිගු කතාබහකට මුල පුරමින් පැවසූ එවදන නිරන්තරයෙන්ම මා සවනතෙහි නින්නාද දේ. එපමණක් නොව මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසාම මගේ හදවත රැඳුණු ඒ අනුවේනීය කතාවේ මතකය මා නෙතට කඳුළක් උපද්දවීමට තරම් සමත් වූයේ යැයි මම නුඹට කියමි. මා නෙතෙහි කඳුළක් උපැද්දූ ඒ සංවේදී කතාව මම නුඹට කියමි.

ජීවන මංතලාවේ සොඳුරු දිනයක මුණ ගැසුණු මේ යුවළ එක් කැදැල්ලකට කූඩු වූයේ දහසක් බලාපොරොත්තු පෙරදැරිවය. ඒ බලාපොරොත්තු සියල්ල මල්ඵල ගන්වමින් දෙන්නා, තුන්දෙනා වූයේ දිගු ගමනක බැඳීම තව තවත් අර්ථවත් කරමිනි. තිදෙනා, සිව්දෙනා වූහ. ඔහු සිය බිරිඳට ආදරය කළේ පණටත් නොදෙවැනි ලෙසිනි. එහෙත් ඒ ආදරයෙන් සමුගන්නට ඈ අවසර ඉල්ලූයේ ඔහු බලාපොරොත්තුª නොවූ මොහොතකය. තම ජීවිතයේ නිදහස සොයා යන්නට සිතා ඉල්ලූ ඇගේ ඒ ඉල්ලීම පිළිකෙව් කිරීමට තරම් සිතක් ඔහුට නොවීය.

ඔහු ඇයට සමු දුන්නේය. හඬා වැටෙනා හදවත ඇගෙන් සඟවා ගනිමින් ඇයට සමු දුන්නේය. සිය හදවතෙහි ඇය වෙනුවෙන් ඉපැදුණු ආදරය හදවත පත්ලෙහිම රඳවමින් ඔහු ඇයට සමු දුන්නේය. නමුදු ඔහු තවමත් ඈ හා ඔහු ගෙවූ සොඳුරු දිවියේ ආදර සැමරුම් අතර සැරිසරයි. ඒ අතර සිය ආත්ම කථනය ගී පදවලට නැගූ මේ ගීතයට හේ බෙහෙවින් ළෙන්ගතුය. බෙහෙවින් ප්‍රේම කළෙහිය. මේ ගීතය මගේ නොව ඔහුගේ ගීතය යැයි සමුගන්නට මත්තෙන් ඔහු තෙපලූ අයුරු මා සිහියට නගමි. මගේ සිතෙහි ගී පදවැල් ගෙතුණු ඔහුගේ හදවත බැඳුණු ගීතයයි මේ.

පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ

සුරතලෙන් දැවටිලා මගේ ළඟින්
දුන් සතුට එපමණ ද මට පවසන්
සඳ එළිය පොළවටයි හිමි වූයේ
සඳ අහසේ රැඳුණාද රත්තරනේ

ඔබ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං
යළි එන්නම එන්නම හිතුණේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්

 

ගේය පද - සුරම්‍යා මාපිටිය

සංගීතය – විශාරද නන්දසේන කටුවාවල

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

 

මා මේ ගීතයට බෙහෙවින් ඇලුම් කිරීමට පටන් ගත්තේ මේ සිදුවීමත් සමඟයි. ඒ තරමටම මේ සිදුවීම මගේ හදවත සසල කළෙහිය. මගේ අත්දකීමක් ඔස්සේ පදවැල් ගෙතුණ ද ඒ සහෘදයා ගීතය විඳීන අයුරු දුටුවනම මම ද ඔහු විඳී ඒ හැගුම හා සිතෙන් බැඳුණෙමි.

‘යළි එන්නම එන්නම හිතුණේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්’

ඔහු ඇයට කොතරම් ආදරේ කළේ ද යත් මා හැර යන්නට යන ඔබව නවතා දමන්නට ම නොහැකි බවත්, එනමුදු යළි එන්නට සිතුණ ද නුඹට මගේ සිතට පිවිසීමට නොහැකි බවත් ඔහු පවසයි. එහෙත් එය කොතරම් අවිනිශ්චිත වූ කියුමක් ද යන්න අපට වටහා ගත හැකිය. එපමණටම ඔහු ඇයට ආදරය කළේය.

සුරම්‍යා මාපිටියගේ හදවත පතුලෙහි සිරවුණු මේ ගීයට අමතරව ඈ ප්‍රිය කරන්නේ විශාරද නන්දා මාලිනිය ගයන මේ ගීතයයි.

වසන්තයේ නිදාවුන් යොවුන් කෝකිලාවන්
ගයන්නෙ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තයෙ ළපල්ලේ වැසී වුන් කුසුම් දැල්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩා වී බැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූවේ හේමන්ත කාලයේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සෑදූයේ හේමන්ත කාලයේ

 

ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ස්ටැන්ලි පීරිස්

ගායනය – විශාරද නන්දා මාලිනී

 

වරෙක මිහිරිතම වදනක් ලෙස සවනත නින්නාද වන, වරෙක් දුක් ගීතයක් ලෙස නෙතඟින් ගලා හැලෙන, ආදරය යන වදනට ලියැවුණු පදවැල් බොහෝ තිබෙන බව මම දනිමි. ලියන්නට හැකි පදවැල් බොහෝ තිබෙනා බව ද මම දනිමි. නමුදු ඒ සොඳුරු ආදරණීය හැඟීමට කාලයක් නොමැති බව කියැවෙන මේ සොඳුරු ගීතය හදවත රැඳෙන අපූරු සංසිද්ධියක් මා අභියස මැවී මැවී උපදියි.

මල් හී සරා ඔවුන්ගේ හදවත්වලට එබී බැලුවේ පාසල් අවධියේය. ඒ මීට වසර තිහකට පමණ පෙරය. එකල බැඳි සොඳුරු ප්‍රේමයෙන් මිදෙන්නට නොහැකි වූ ඔවුන් දෙදෙනාට සමුගන්නට සිදු වන්නේ ද නොසිතූ විරූ අයුරිනි. ඒ සමුගැන්ම හදවතෙහි සිර කර තබා කාලය ගෙවී ගියේය. කාලය සමඟ යොවුන් විය අතුරුදන් වූ බව දෙදෙනාටම පසක් වූයේ බොහෝ කාලයක් ගෙවී ගොස් නැවත මුණ ගැසුණු දිනෙකය. සිය සමනල අවධියේ උන් මිතුරෙකුගේම සාදයකදී අහම්බයෙන් මුණ ගැසුණු මේ සොඳුරු ප්‍රේමණීයන්ගේ ප්‍රේමයට යළි පණ ලැබිණි. දෙදෙනාම දෙදෙනාගේ සිත් සමඟ හොර රහසේ කතාබහක යෙදුණේ හදවතෙහි බැඳි පෙම දෙදෙනාගෙන්ම සඟවමිනි. වසන්ත කාලය ගෙවී ගොස් හේමන්තය පැමිණියේය. හේමන්තයේ මල් ගොමු අතර උන් මල්සරා, මල් හී සරය විද්දේ යළි කිසිම දිනෙක උන් සමුගන්නට නොවේ.

මේ සොඳුරු ප්‍රේමය මගේ හදවත සසල කළ අයුරු කොපමණ ද යත් ඒ සිතුවිල්ලෙන් තවමත් සිත මුදා හළ නොහැකි බව මට හැඟේ.

‘වසන්තයේ නිදාවුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී’

ඔවුන්ගේ හදවතෙහි බැඳි පෙමට කාලය අවැසි නොවීය. බැඳුණු ප්‍රේමණීය හදවත් වෙන් කළ කාලයම ඒ හදවත් නැවත එක් කළෙහිය. ඒ හේමන්තයයි. මා මතකයේ සක්මන් කරන ඒ සොඳුරු ප්‍රේමයේ හසරැල්ලට මේ ගීතය අපුරුවට ගැළපිණි. මං මුලාවෙන් වැසී ගිය අන්ධකාරය අහස් කුස පෑයූ සරා සෙඳහි ආලෝකයෙන් එළිය වූයේ හේමන්ත කාලය ලබමිනි. මේ ගීතයට මා බෙහෙවින් ප්‍රිය කරමි. ඒ මා දන්නා සංවේදී ප්‍රේමාලාපයක් එහි සැඟව ඇති බැවිනි. ඒ සංවේදී ප්‍රේමාලාපයෙහි සොඳුරු බව වඩා ඉස්මතු කරන්නේ නන්දා මාලිනියගේ ස්වරයයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදවලට අනුව බිහිවුණු ස්ටැන්ලි පීරිස්ගේ මියුරු තත්සර නාදය අප හදවත කම්පනය කරන බව රහසක් නොවේ.

අතීතයේ දිනෙක සිදු වූ ඒ අනුවේදනීය සිතුවිලි අතර ඈ සමඟ සැරිසැරූ අපගේ සිත ද කම්පනයට පත් වූයේ අපටත් නොදැනීමය. මේ පත් ඉරුව කියවන ඔබ ද එසේ වනවාට සැකයක් නොමැති බව අපි දනිමු.