වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




Editor's CUT

මොන දිල්ලියකදී සම්මාන ලැබුවත්...

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටය තිර ගත වී පනස් වසරක් සපිරුනේ පසුගිය දෙසැම්බර් විසි වැනි දාටය.එය මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මුල් වරට දිනා ගත් චිත්‍රපටයයි.එපමනක් නොව ජාත්‍යන්තර සිනමා උළෙලක දී මුල් වරට හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ මුල්ම සිංහල චිත්‍රපටය ද එයයි.එයද එසේ මෙසේ සම්මානයක් නොව රණ මයුර සම්මානයයි.ඒ සය වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ දීය.ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ එකල පැවැත් වූ එම සිනමා උළෙල වර්තමානයේ පැවැත්වනුයේ ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ අගනුවර වන පන්ජිම් නගරයේය.පසුගිය නොවැම්බර් මාසයේ දී එය පැවැත් වූයේ 44 වැනි වරටය.ගම්පෙරළියෙන් පසු තෙවරක්ම ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ දී අපේ රටට හොඳම නිළිය ලෙස පිදෙන රජත මයුර සම්මානය අපේ රටට දිනා දීමට පිළිවෙළින් අනෝජා විරසිංහ,මාලිනී ෆොන්සේකා සහ ඉන්දියානු නිළි අංජලී පටිල් සමත් වූහ.එහෙත් එදා මෙදා කාලය ඇතුලත යළිත් රණ මයුර සම්මානයක් දිනා ගැන්මට අපි අපොහොසත් වීමු.

ගම්පෙරළිය සිංහල සිනමා ඉතිහාසයේ බිහි වන විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස සැලකීම අවිවාදාත්මකය. බොහෝ සිනමා විචාරකයන්ට අනුව එය මෙරට සිනමාවේ දෙවැනි වනුයේ ආචාර්ය ලෙස්ටර් ගේම නිධානයට පමණී.ජාත්‍යන්තර වශයෙන් ද ගම්පෙරළිය නිධානයටත් වඩා ඉහලින් කතාකරන සිනමා විචාරකයන් එමටය.එය සර්වකාලීන නිර්මාණයක් ලෙස සැලකෙන්නකි.

ගම් පෙරළිය කවර තරමේ සුන්දර එකක් වුව ද එය නිර්මාණය කිරිමේ අතීතය සුන්දර එකක් නොවීය.සංදේශය වැනි අති විශාල ආදායමක් ලැබූ චිත්‍රපටයක් තැනූව ද ගම්පෙරළිය සදහා ආයෝජකයකු සොයා ගැන්ම ආචාර්ය ලෙස්ටර්ට උගහට කරුණක් විය. එහි මුල් සැලසුම අනුව වැය ශීර්ෂය රුපියල් එක් ලක්ෂ පනස් දහසකි. එම මුදල සොයා ගැන්මට අවසානයේ ආචාර්ය ලෙස්ටර් සතු ජීවිත රක්ෂණයක් ද සුමිත්‍රා පීරිස් මහත්මිය සතු අවිස්සාවේල්ල නගරාසන්නයේ ඇති ඉතා අගනා ඉඩමක් ද විකුණා දැමිණ. ඉතිරි බර පැන දරන්නට සුප්‍රකට ව්‍යාපාරිකයකු වු ඇන්ටන් වික්‍රමසිංහ කැමැති කරවා ගත්තේ ඔහු විසින් පනවන ලද කොන්දේසි ගණනාවකට යටත් වීමෙනි.

පසු කලක ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භක සභාපති පදවියට පත් ඇන්ටන් වික්‍රමසිංහ ආසියාවේ මුල්ම සිනමා සමාජය වන කොළඹ සිනමා සමාජයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු සතුව අගනා චිත්‍ර එකතුවක් ද විය.ආචාර්ය ලෙස්ටර් මාර්ටින් වික්‍රමසිංහයන් හමුව ඔහුගේ ගම් පෙරළිය නවකතාව තිරයට නැංවීමට අදහස් කරන බව පැවසු විට වික්‍රමසිංහයන් එය කිසිසේත් විශ්වස කළේ නැත.ගම් පෙරළියෙන් චිත්‍රපටයක් තැනීම ඔහුට අනුව කිසිසේත් කළ හැක්කක් නොවීය. එයට වඩා සුදුසු ලෙස ඔහු ඉස්මතු කළේ රෝහිණී නවකතාව තිරයට නැංවීමටය.එහෙත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ඒ වනවිට සිංහල නවකතාවේ මුදුන් මල්කඩ බඳු වන ගම්පෙරළිය සිනමාවට නැංවීමේ වැදගත්කම පැහැදිලි කළ පසු වික්‍රමසිංහයන් එයට එකඟ විය.

එපමනක් නොව චිත්‍රපටය රුප ගත කළ බලපිටියේ මහ කප්පින වලව්වට ස්වෙච්ඡාවෙන් පැමිණ ඇතැම් උපදෙසක් ලබා දීමට පවා එතුමන් නිහතමානි විය. ඔහු විරුද්ධ වූයේ එහි ජිනදාසගේ චරිතය සඳහා ගාමිණී ෆොන්සේකා තෝරා ගැන්මට පමණී. ඒ වනවිට රන්මුතුදූව නරඹා තිබිණු වික්‍රමසිංහයන් තමා විසින් නිර්මාණය කරන ලද කෙසඟ නියාලු ජිනදාසගේ චරිතයට බොඩි බිල්ඩර් කෙනෙක් බඳු ගාමිණී ෆොන්සේකා යොදා ගැනීම ගැන තරයේ විරුද්ධ විය.එයට සිව් වසරකට පෙර ආචාර්ය ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟ පෑ ගාමිණී ගම් පෙරළියට සැරසෙන විට මෙරට සුපිරි නළුවා බවට පත්ව සිටියේය.ඔහු ජිනදාසගේ චරිතය රඟපෑවේ නොමිළයේය.

චිත්‍රපටය තිර ගත කළ පසු වික්‍රමසිංහයන් ගාමිණී පිළිබඳ දැරූ මතය නිහතමානිව ඉල්ලා අස් කර ගත්තේය.විශිෂ්ට නළුවකුගේ සිරුර වූ කලී මැටි පිඩක් මෙන් ඕනෑම චරිතයකට හැකිලිය හැක්කක් වග ගාමිණී මනාව පසක් කළේය.එයටත් වඩා ගම් පෙරළියේ තුන් වැන්න යුගාන්තයේ දී ධනවත් ප්‍රතාපවත් සවිමන් කබලාන වන්නේ ද ගාමිණීමය. ගම්පෙරළිය චිත්‍රපටය රූප ගත කරද්දී එයට ඇවැසි විදුලි පහන් සැපයීමටමෙරට චිත්‍රාගාර හිමියන් එකඟ නොවීය. චිත්‍රපට තැනීම චිත්‍රාගාරයෙන් බැහැර කිරීම ඔවුහු ඒ වනවිටත් හෙළා දුටහ.එමෙන්ම චිත්‍රපටය සඳහා භාවිතා කරන ලද දළ සේයා පටලය ඒ වනවිට කිසිවෙක් හෝ පාවිච්චි නොකළ අධි සංවේදි පටයක් විය. කැමරා ශිල්පි විලී බ්ලෙක් ඒ අභියෝගය බාර ගෙන තිබිණ.ගම් පෙරළිය රූ ගැන්විමෙන් පසුව කාටත් හොරා එයට සම්බන්ධ කිහිප දෙනෙකුට පමණක් චිත්‍රපටයේ දර්ශණයක් වැල්ලවත්තේ එවකට පැවැති 83 ජූලි මාසයේ දී ගින්නෙන් දැවී ගිය සැෆයාර් සිනමාහලේ පවත් වන ලදී.එහෙත් අනාරාධිතව එය නැරඹූ එවකට සිටි සිනමාකරුවෙක් එය තනිකරම වාර්තා චිත්‍රපටයක්යැයි පවසා තිබිණ. එහි ගීත නැත.නැටුම් නැත.ජෝක් නැත.සටන් නැත.

ඒ සිනමාකරුවාගේ මතය විය.එහෙත් ගම්පෙරළිය මරදානේ ගාමිණී සිනමාහලේ ප්‍රදර්ශණය වන විට එයට මුලින් යහපත් ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් නොලැබිණ. එහෙත් මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට සිනමා ජූරිය තෝරා ගනිද්දි සරසවිය පාඨකයන් එයට තවත් ඉහළ තැනක් ලබා දී තිබිණ. ඒ මුල් වරට පැවැත්වන පාඨක ඡන්දයෙන් එය ජනප්‍රිය චිත්‍රපටය බවට තෝරා ගැන්මට සිය මනාපය පළ කරමිනි.

එයින් පසු ඉන්දියාවේ පැවැත් වූ තුන් වැනි අන්තර් ජාතික සිනමා උළෙලේ එය තරග වදිද්දී එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන්ව සිටියේ එසේ මෙසේ මිනිසුන් නොවේ. ඉන්දියාවේ සත්‍යජිත් රායි විනිශ්චය මණ්ඩලයේ සභාපති පදවිය හෙබ වූ අතර පෝලන්තයේ ආන්ද්‍රේ වයිඩා බ්‍රිතාන්‍යයේ ලින්ඩ්සේ ඇන්ඩර්සන් මෙන්ම සිනමා න්‍යයාචාර්යවරයකු වන මහාචාර්ය ජෝර්ජ් සැඩොල් ද එහි සාමාජිකත්වය දැරූහ.ඔවුන් එහි තිර ගත කළ චිත්‍රපට අතරින් ගම් පෙරළිය කෝරා ගත්කේ ලුසියානෝ විස්කොන්ති වැනි සිනමාකරුවන්ගේ චිත්‍රපට අභිබවා යමිනි.ගම් පෙරළිය සම්මානය අපේ සිනමාවට මහත් ශක්තියක් වූ බැව් තවමත් අවිවාදාත්මකය.

ඕනෑම සිනමා සම්මානයක් අප වැනි රටක සිනමාවට මහත් ඵලදායක බැව් අමුතුවෙන් කිවයුතු නැත.මෑතක සිට මෙරට සිනමාවට විදේශයන්ගෙන් සිනමා සම්මාන ගලා ඒම වැදගත් කරුණකි. ඒ කවර හෝ උළෙලකදී පවා ලංකාව ගැන කවර තරාතිරමේ හෝ සටහනක් කෙරෙන්නක් බැවිනි.එය අපේ රටේ අනාගත සිනමාකරුවන්ට හොද ආයෝජන මාර්ගයක් වනු ඇත.එහෙත් මේ සම්මාන සමග මෙරට මාධ්‍යය හරහා කෙරෙන බොහෝ නිවේදන සහ කයිවාරු ඉවසිය නොහැක්කේ ඒ හරහා පතුරන මිථ්‍යාව දරා ගත නොහැකි බැවිනි.කලක් එක් ජාත්‍යන්තර සම්මාන උළෙලක් සඳහා යවන හැම චිත්‍රපටයකටම සම්මානයක් දිනා ඒම සාමාන්‍යය කරුණක් විය.

අප සොයා බැලූවිට අමෙරිකාවේ පැවැති එම සම්මාන උළෙලට යවන සෑම චිත්‍රපයටයකටම සම්මානයක් නමින් කුමක් හෝ දීම සාමාන්‍ය සිරිත බව දැනගන්නට හැකිය.ඉතා මෑතක සිනමා සම්මානයක් දිනා ගත් චිත්‍රපටයක් පිළිබඳ ප්‍රවෘත්ති නිවේදනය අනුව එය මුල් තැනට පත් ව ඇත්තේ චිත්‍රපට 170 ගණනක් සමග තරග වැදීමෙනි.ඇත්ත නම් සිනමා සම්මාන උළෙලක චිත්‍රපට තිර ගත කරනුයේ විවිධ අංශ ගණනාවකිනි.තරගකාරි අංශයට එක් වන උපරිම සංඛ්‍යාව විස්සත් විසි පහත් අතරය.අදාළ චිත්‍රපටය සැබැවින්ම තරග කර තිබුණේ චිත්‍රපට නමයක් සමගය. එහි නිවේදනයේ පරිදි මෙබඳු සම්මානයක් ලොව මෙයට පෙර කිසිවකු දිනා ගෙන නැත.අදාළ ප්‍රවෘත්තිය හඹා ගිය අපට පෙනෙනුයේ එම සම්මානය ලැබී ඇත්තේ ද චිත්‍රපට දෙකකට සමව බෙදෙන අන්දමටය.එහෙත් මෙරට පැමිනෙන විට එය සම සම්මානයක් ලෙස නිවේදනය නොකිරීමට වග බලා ගෙන තිබිණ. ලංකාවේ නැතත් ලෝකයේ බොහෝ නගර වල සිනමා සම්මාන උළෙලයන් පැවැත්වීම අද සුලභ කරුණකි. එය හරියට හන්දියක් ගානේ ආචාර්ය උපාධි දෙන කඩ පිහිටුවා ඇති ගාණටය.ඒ අතර වැදගත් සම්මාන උළෙලයන් නැතුවාම නොවේ.

උදාහරණයක් හැටියට ඉන්දියාවේ පමනක් ජාත්‍යන්තර සිනමා උත්සව විසි පහකට වැඩි ගණනක් වාර්ෂිකව පවත්වයි.ඒ අතර රාජ්‍ය හෝ ප්‍රාන්ත රාජ්‍ය මට්ටමින් පිහිටුවා ගෙන පවත් වන සම්මාන උළෙලයන් මෙන්ම පිළිගත් ජාත්‍යන්තර සිනමා සංගම් ඒකාබද්ධව කරන සිනමා උළෙලයන්ය. එමෙන්ම ඇතැම් සිනමා සංගම් මගින් පවත්වනු ලබන සම්මාන උළෙලයන් ගණන වෙනමමය.එබැවින් ඇතැම් සම්මානයන්ගේ ප්‍රමිතිය තව දුරටත් විනිශ්චය කරන්නට රසිකයන් වන අපට සිදු වෙයි.මේ බහුතරයක් සම්මාන කවරෙක් දැයි ඉතිහාසය විසින් පහසුවෙන් අමතක කරලනු ලබති.ඒ සම්මාන පිදූවන් හෝ ලබා ගත්තවුන් පිළිබඳ කිසිවෙක් හෝ යළි දන්නේ නැත.

එහෙත් ගම් පෙරළිය වැනි චිත්‍රපට ඒ මැද ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටියි.ඒ එහි අගය සම්මානයක අගය ද ඉහළ දමන්නක් බැවිනි.සම්මාන දිනූවද නොදිනුව ද ගම් පෙරළිය අග්‍රගණ්‍ය නිර්මාණයක් වෙයි.සම්මානයක් යනු නිර්මාණයක අගයට එළියක් එකතු කරන්නකි.එහෙත් එම සම්මානය වඩා අගය වනුයේ නිර්මාණය සර්වකාලින වූ විටය. ගම් පෙරළිය අපට සදාකල් පවසුනයේ ද එම අගය කිරීමේ වටිනාකමය.සැබෑ නිර්මාණ කරුවන් සම්මාන කර මත තබා ගෙන නොයති.සම්මාන බිම තබා ඊළග නිර්මාණයට සැරසෙති.එහෙත් බොහෝ දෙනා ගේ නිර්මාණ සම්මානය ලඟ නතර වෙයි.පසුගිය කාලයේ අප එක දිගට දිනූ සම්මාන ලාභින් බහුතරය අපට කියන රහස එයම නොවේ ද ?