වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




දේව්දාස්ගේ සුරූපී පාර්වතිය රෝගී වෙයි

දේව්දාස්ගේ සුරූපී පාර්වතිය රෝගී වෙයි

ප්‍රේමයේ විරහ වේදනාව යුගයෙන් යුගයට භාරත සිනමාවට ගෙනෙන පෙම්වතිය, දේව්දාස් හි පාර්වතී හෙවත් පාරෝයි. ඇයගේ චරිතය අයිශ්වර්යා රායිට පෙර නිරූපණය කළ දක්ෂ රංගන ශිල්පිනිය ඔබට මතක ද? ශෝකාන්තයේ රජු දිලිප් කුමාර් සමඟ පාර්වතීට පණ පෙවූ ඇය සුචිත්‍රා සෙන්ය. බෙංගාලි රංගන ශිල්පිනියක වූ ඇය හා හා පුරා කියා භාරත රිදී තිරයේ පායන්නට ගත්තේ ද ‘දෙව්දාස්’ සමඟිනි.

දැන් අසූ දෙහැවිරිදි වියේ පසුවන සුචිත්‍රා දැඩි ලෙස ගිලන් වී රෝහල් ගතකර ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවකින් සහ හදවත් රෝගයකින් පීඩා විඳීන ඇයගේ තත්ත්වය තරමක් බරපතළ බව කියවෙයි.

බොම්බෙයි කා බාබු, මම්තා වැනි හින්දි සිනමාපටවල සුචිත්‍රා රඟපා තිබේ. ඇය ‘සාත් ෂාකී බන්ධා’ සිනමා රංගනයට 1963 වසරේදී මොස්කව් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවාය. ඇයගේ දියණිය මූන් මූන් සෙන් ද කලක් බොලිවුඩ් තාරකාවකි. දැන් සුචිත්‍රාගේ අඩිපාරේ යන්නේ ඇයගේ රෙයිමා සෙන් සහ රියා සෙන් මිනිබිරියන්ය.