වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ මිණිය උඩින් තමයි උඹේ මඟුල කෙරෙන්නේ

මගේ මිණිය උඩින් තමයි උඹේ මඟුල කෙරෙන්නේ

ස්වර්ණා කහවිට

සිය ආදර සබඳතා බිඳුණු කළ විවාහ නොවී සිටීමට සමහර තරුණ තරුණියෝ පෙලඹෙති. කලා ලොවේ ද එවැනි තීරණ ගෙන ජීවිත කාලයටම තනිකඩව සිටීමට අදහස් කළ තරුවක් මෙවර ‘තනි මංසලට’ට සහභාගි වෙයි. ඈ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනූ ප්‍රවීණ නිළි ස්වර්ණා කහවිටයි.

* ජීවිතය ගෙවෙන්නේ විවේක සුවයෙන්ද?

නිර්මාණයකට දායක නොවුණත් ව්‍යාපාර කටයුත්තක නියැළෙන නිසා මම තරමක් කාර්යබහුලයි. විවේකයක් මට ඇත්තේ නැති තරම්.

* ඔය තරමට කරන ව්‍යාපාර මොනවාද?

ඒ ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ මගේ යාළුවා. මටත් ඒ ව්‍යාපාරයේ කොටස් තිබෙනවා.

* නිවෙසට වෙලා තනියම ඉන්න වෙලාවල් ඇත්තේම නැද්ද?

ඒ වගේ අවස්ථාවල් සමහර වෙලාවට එළැඹෙනවා.

* ඒ විදියට තනියම ඉන්න කොට කම්මැලිකමක් දැනෙන්නේ නැද්ද?

එහෙමමත් නැහැ. නිතරම වැඩ කටයුතුවලට එහාට මෙහාට යනවා. ජපන් භාෂාව ඉගෙන ගන්න කැමැති කිහිප දෙනෙකුටම ඒ ගැන පංති කරනවා. ඉතිං නිවෙසට වෙලා හිටියත් වැඩක නියැලෙන නිසා කම්මැලිකමක් දැනෙන වෙලාවක් නැහැ.

* ජපන් පන්ති පවත්වනවා කියන්නේ හොඳ ව්‍යාපාරයක්?

ව්‍යාපාරයක අදහසෙන් නෙවෙයි මම ජපන් පන්ති පවත්වන්නේ. ඉගෙන ගන්න කැමැති කෙනෙකුට මගේ දැනුම ප්‍රයෝජනවත් වේවි. ඒ නිසයි මම පන්ති පවත්වන්නේ. මේ කටයුතු නිසා තනිකම පාළුව තියෙනවා නම් ඒකත් මැකෙනවානේ.

* ඒ කියන්නේ තනිකම, පාළුව මකා ගන්නයි ඔබ එවැනි දේවල් කරන්නේ?

ඉගෙන ගන්න කැමැති කෙනෙකුට යමක් කියලා දීමත් එක අතකට පාළුව තනිකම මකා ගැනීමක් තමයි.

* තනිකම පාළුව මකා ගන්න කරන තවත් බොහෝ දේ තිබෙනවාද?

පොත් කියවන්න මම බොහොම කැමැතියි. යාළුවන් එක්ක ගමන් යන්න, නාට්‍ය, චිත්‍රපට බලන්නත් යනවා. හොඳ ටෙලි නාට්‍යයක් ගියොත් ඒක නරඹනවා. පසුගිය දවස්වල තිරගත වුණු ‘සමනල සංධ්වනි’ චිත්‍රපටයත් මා නැරැඹුවා. ඒක හොඳ නිර්මාණයක්.

* ඇත්තටම ඔබ මොකද විවාහ නොවුණේ?

මගේ පාසල් කාලයේ පටන් තිබුණු ආදර කතාවට ගෙදර අයගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඔහුගේ කුලය පිළිබඳ ප්‍රශ්නය අපට විශාල බලපෑමක් කළා. ඒ නිසා මම අවිවාහකව සිටියා.

* නිවැසියන්ගෙන් වැඩිපුරම බලපෑම් කළේ කවුද?

අම්මා තමයි ඒ ගැන වැඩිපුරම සොයා බැලුවේ. ඈ උඩරට කෙනෙක්. අනිත් එක ඔහු අපේ ගෙවල් ළඟමයි සිටියේ. ඉතිං ඒක නිසා ඒ ප්‍රශ්නය නිතරම ඇදෙන්න ගත්තා. කුලයෙන් පහත්කම අපේ ආදරයට හරහට හිටියා.

* ඒ නිසා ඔබ විවාහ නොවුණා?

ඒ සම්බන්ධය නැවැත් වුවත් මට විවිධ යෝජනා ආවා. ඒත් මම ඒ එකකටවත් කැමැති වුණේ නැහැ.

* ඔබ එහෙම කළේ ගෙදර අය ඔබගේ සම්බන්ධයට විරුද්ධ වූ නිසා එකට එක කරන්නද?

ඒකත් එක හේතුවක්. මට උවමනා කරන කෙනෙක් සමඟ විවාහ වීමට ඉඩ නොදීම නිසා ඔවුන් කෙරෙහි මගේ සිතෙහි පැවතුණේ තරහක්. ඒ වගේම ඔහුට ආදරය කළාට පස්සේ වෙන කෙනෙකුට ආදරය කරන්න තරම් ආදරයක් මගේ ළඟ තිබුණේ නැහැ. ඊට පස්සේ බොහොම හොඳ යෝජනා ආව බව මතකයි. වෛද්‍යවරුන් ඒ අතර සිටියා.

* ඔබ ඒ වෙනකොට රඟපාන්න ඇවිත් සිටියාද?

එයත් එක්ක යාළු වෙනවාත් එක්කම වගෙයි මම මගේ පළමු චිත්‍රපටයේ රඟපෑම ආරම්භ කළේ. එතකොට එයා හිටියේ වෛද්‍ය විද්‍යාලයේ.

* ඔබ කොහොමද ඔහුව දකින්නේ?

ඔහු හිටියේ අපේ ගෙවල් ළඟම නිසා එතැනින් එහාට මෙහාට යනවා නම් දැකලා තිබෙනවා. මේ අතර අපේ ගෙදර අයියගේ පොඩි දුවක් හිටියා. එයා අතේ මට මුලින්ම පණිවුඩයක් එවලා තිබුණා මාත් එක්ක කතා කරන්න ආසයි කියලා. ඒත් ගෙදරට එන්න නම් බයයි කියලා.

* කොහොම වුණත් ඔහු ගෙදරට ආවා?

මෙහෙම කාලයක් ගිහින් ඔහු අපේ ගෙදරට ආවේ සරසවිය පත්තරය ඉල්ලගෙනයි. සරසවිය බලන්න ඔහු කැමැත්තෙන් හිටියා.

* එතකොට ඔබේ පින්තූරය පත්තරවල ගිහින්ද?

ඔව්. කොහොම නමුත් ඒ කාලයේ මම තිස්ස අබේසේකරගේ කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වෙලා සිටියා. ඒකේ රූපගත කිරීම්වලට යන්න සූදානම් වෙනකොට ඔහු ඇවිත් මාත් සමඟ කතා කළ යුතු යැයි කිව්වා. එත් මම බැහැ කිව්වත් ඔහු ඇහුවේ නැහැ. අවසානයේ මම කතා කළා. රූගත කිරීමක් බලන්න එන්නද කියලා ඔහු ඇහුවේ මේ අතරදියි. මම එපා කියලා කිව්වා. මේ විදියට දවස් කිහිපයක්ම ගෙදරට ආව ගියා. ඒ නිසා මොකක් හරි පටලැවිල්ලක් තිබෙන බව ගෙදර අය දැනගත්තා.

* කරදර පටන් ගත්තේ ඊට පස්සෙද?

ඔව්. ගෙදර අය නිතරම මට ඒ ගැන බනින්න පටන් ගත්තා. ඒ ගැන සොයන්න පටන් ගත්තේ ඊට පස්සෙයි.

* ඒ වුණත් ඔහු අදහස අත හැරියේ නැහැ?

ඇත්තටම වෛද්‍ය විද්‍යාලයෙන් පස්සේ රාගම රෝහලටයි ඔහුට මුල්ම පත්වීම ලැබුණේ. මම ගෙදරින් අහන්නද කියලා ඔහු ඇහුවා. ඒත් කිසිම දවසක එහෙම දෙයක් නොකෙරෙන බව මා දැනගෙන සිටියා. ඔහු නැවත මුණ ගැසෙමු කියලා කිව්වත් මම ඊට එකඟ නොවුණේ ඒකෙන් තවත් දුක වැඩිවෙන එක විතරක් නිසයි.

* කවුරුවත් ඔබට උදව් කළාද?

ඔව්. අක්ක කෙනෙක් විතරක් මට උදව් කළා.

* ගෙදර අයට විරුද්ධ වෙන අදහසක් සිතට ආවේ නැද්ද?

ඔහු නම් විවිධ යෝජනා කළා. අපි පැනලා ගිහින් කසාද බඳිමු කියලත් කිව්ව. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ. මම ඒ වෙනකොට ජනප්‍රිය චරිතයක් නිසා ඒ වගේ දේවල් කළ නොහැකි වුණා. මං ගැන අවුරුදු පහක් විතර බලාගෙන සිටිය ඔහුට මම විවාහ වෙන්න කියලා කිව්වා. එයාගේ ගෙදරින් වුණත් විවාහ වෙන්න එයාට බල කරලා තිබුණා. එයා විවාහ වෙලා අමෙරිකාවට ගියා.

* ඊට පස්සේ ඔබට ඔහු මුණ ගැසුණාද?

ඔහුත් විදේශගත වුණාට පස්සේ, මමත් විදේශගත වුණා. මේ වෙනකොට මම ගෙවල් මාරු කරලා ඉන්න නිසා ඊට පස්සේ ඔහුව මට මුණ ගැසුණේ නැහැ. ඔහු ලංකාවේ හිටියා නම් අපට හොඳම යාළුවෝ වෙන්න තිබුණා.

* අද ඔබට හිතෙනවාද එදා අම්මට විරුද්ධ වුණා නම් කියලා?

එහෙම හිතෙන අවස්ථා තිබුණත් මම නිසා අම්මට මොනව හරි වුණොත් කියන බය තිබුණා. ගෙදර අනෙක් අයත් මාව බය කළා. මොකද අම්මා ඒ වෙනකොට කියලා තිබුණා උඹ බැන්දොත් උඹේ මඟුල කරන්න වෙන්නේ මගේ මිණිය උඩින් කියලා. ඒ නිසා අම්මට මොනව හරි වුණොත් මම වගකිව යුතුයි කියලා ඔවුන් හැමෝම කිව්වා.

* සහෝදර සහෝදරියන්ගේ දරුවන් දකින කොට මටත් මේ වගේ දරුවෙක් හිටියා නම් කියලා හිතෙනවාද?

ඔව්. ඇත්තටම හිතෙනවා. නමුත් මගේ සහෝදර සහෝදරියෝ වගේම එයාලගේ ළමයි මාව හොඳට බලා ගන්නවා.