වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑමේ හැකියාව තමයි එකම සුදුසුකම....

රඟපෑමේ හැකියාව තමයි එකම සුදුසුකම....

ගිරිරාජ්ගේ අලුත් චිත්‍රපටයට නවකයන්ටත් අවස්ථාවක්

නිෂ්පාදනය - T.V.T. වෙතින්

මරදානේ ඩීන්ස් පාරේ පාතිමා දේවස්ථාන භූමියෙහි දිගු පොලිමකි. එය කෙළවරවනුයේ එහි ප්‍රධාන ශාලාවේ දොරකඩෙනි. එතැන සිටි අයගේ සිතෙහි ඇති උනන්දුව මුහුණින් මට පෙනේ.

මං මීට කලින් නාට්‍ය දෙක තුනකම හිටියා. ඒත් ෆිල්ම් එකක හිටියේ නැහැ. ඒකයි ආවේ.

අයකු තවෙකකුට කියයි.

මාත් එහෙම තමයි. ටී. වී. ටී. කියලා කියන්නේ හොඳ ප්‍රඩක්‍ෂන් හවුස් එකක්නේ. ඒක නිසා කරන චිත්‍රපටය සුපිරියටම කරයි.

අසාසිටි තැනැත්තා එලෙස පිළිතුරු බඳියි.

තවත් මොන මොනවදෝ ඔවුන් කතාබස් කරනවා ඇසිණ. මම සෙමින් ඉදිරියට ගියෙමි. ලොකු මේසයක් මත ෆයිල් කවර තොගයක් තබාගෙන අයෙකු සිටියි. ඔහු සුප්‍රකට සහාය අධ්‍යක්‍ෂවරයකුවන රුවන් බණ්ඩාරය.

අයියේ මම මේ.....

මෙතනින් ඇප්ලිකේෂන් එකක් අරගෙන පුරවලා පෝලිමට යන්න. එන හැමෝටම අපි චාන්ස් දෙනවා.

රුවන් හිස නොඋස්සාම පිළිතුරු දුනි.

ඇයි මොකද ගැටලුව?

මම එතැනින් ඉවත් නොවුණ නිසා ඔහු මා කවුදැයි සොයන්නට විමසිලිමත් විය.

ආහ් මේ ඔයාලනේ. යමු ඇතුළට. අපි මෙතෙන්ට එන ඔක්කෝටම ඇප්ලිකේෂන් එකක් දීලයි ඇතුළට ගන්නේ. පිළිවෙළකට වැඩක් කරන්න එපායැ. ටී. වී. ටී. එකෙන් කරන චිත්‍රපටයකටයි මේ නළු නිළියන් තෝරන්නෙ ගිරිරාජ් කෞශල්‍ය තමයි ඒකේ ඩිරෙක්ටර්.

රුවන් අප කැටුව ගියේ ප්‍රධාන ශාලාවකටය. එතැන ගිරා, අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්, ලලිත් ජනකාන්ත ඇතුළු පිරිස වෙති.

ගිරා ඇතුළට ආ නවකයින් පිරිසකට අවවාද, අනුශාසනා කරමින් සිටියි.

හරි අපි පොඩි අභ්‍යාසයක් කරමු. ඔයාලා හිතාගන්න මම මන්ත්‍රී තුමා කියලා. මන්ත්‍රී තුමා හම්බුවෙන්නයි ඔයාලා ඇවිත් ඉන්නේ. නමුත් මන්ත්‍රී තුමා කාවවත් ගණන් ගන්නේ නැතුව ඇතුළට යනවා.

හරි.... දැන් පටන් ගනිමු.

එසේ කියූ ගිරා ඔවුන් අතරින් ඇවිදයයි. මෙවන් වූ තවත් ක්‍රියාකාරකම් කිහිපයකි.

මචං සිවා අර කෙළවරේ දෙන්නගෙන් හොඳට මුහුණෙන් හැඟීම්, දැනීම් ආවා. අපි උන්දෙන්නට හොඳ චරිතයක් දෙමු.

ගිරා ඇවිත් සිවගුරුනාදන්ට කියයි.

මාත් ඒකම තමයි උඹට කියන්න හිටියේ.

සිවා ගිරාගෙ කියමන තහවුරු කරයි.

ගිරා අයියේ මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ. මේ වගේ තැනකට නවකයකු එද්දී මොනවගේ දේවල් ටිකක්ද දැනගෙන එන්න අවශ්‍ය.

මෙහෙමයි, චිත්‍රපටයකට නළු නිළියන් ගන්නවය කියන ඉන්ටර්විව් අද වැහි වැහැලා. මුලින්ම ඔය වගේ දැන්වීමක් දැක්කම ඒ නිර්මාණය කරන ඩිරෙක්ටර් හෝ ප්‍රොඩියුසර් ගැන තොරතුරු හොයලා බලන්න. ඒ අය ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉනන අයද, මොනවගේ නිර්මාණද කලින් කරලා තියෙන්නේ කියලයි සොයා බැලිය යුත්තේ.

මොකද අද ක්ෂේත්‍රයේ වෙන වෙන දේවල් ඉටුකර ගන්න අදහසින් නළු නිළියන් තෝරා ගන්න පිරිස් ගොඩක් දෙනා ඉන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ තැනකට එද්දී ඔෆිස් සූට් එකකින් එන්න ඕන නැහැ. තමන්ට ගැළපෙන සුන්දර ඇඳුමක් ඇඳගෙන ආවානම් ඇති. ඒ වගේම සමහර අය සහතික මිටි ගණන් අරගෙන එනවා.

ඒවා අවශ්‍ය නැහැ. රඟපාන්න පුළුවන් වුණානම් ප්‍රමාණවත්. කියන්න කනගාටුයි මේවගේ පරීක්‍ෂණවලට එන ගොඩාක් අයට රඟපාන්න බැහැ. ජනපි‍්‍රය වෙන්න වුවමනාවෙනුයි මෙතනට එන්නේ. එහෙම නෙවෙයි. රඟපෑම කියන්නේ ජීවිත අත්දැකීමෙන් එන දෙයක්. උදාහරණයක් කිව්වොත් අපව පොලිසියෙන් අල්ලගෙන යන දර්ශනයකට ඉන්න ඕන කියලා.

ඒ මොහොතේ ඇත්තටම අපව පොලිසියෙන් අල්ලගෙන නැතිවුණත් අඩුම ගානෙ බස් එකේ හොරෙන් ගිහින් පරීක්‍ෂකවරුන්ට හරි අහුවෙලා ඇතිනේ. නැත්නම් ඉස්කෝලෙ වැරැද්දක් කරලා අහුවෙලා ඇතිනේ. අන්න ඒ වගේ අවස්ථාවක් මවාගන්න ඕනෑ. එතකොට තමයි සාරථක රඟපෑමක් කරන්න පුළුවන් වෙන්නේ.

ගිරා දීර්ඝ විස්තරයක් අවසන්කොට තවත් පිරිසක් ඉන්ටර්වීව් කරන්නට ගියේය. ඔහු නැවත වාරයක් පරීක්‍ෂණයට යොදා ගත්තේ මන්ත්‍රී තුමාගේ කතාවයි. එය ගිරා කලකට ඉහත දී රචනාකළ අතිශය ජනපි‍්‍රයත්වයට පත් වූ ටෙලි නාට්‍යයක් වූ එතුමා මට මතක් කරවීය.

ගිරා අයියා කරන්න හදන්නේ ‘එතුමා’ ටෙලි නාට්‍යයේ චිත්‍රපටයද?

ඒ පැනය මං ඇහුවේ සිවගුරුනාදන්ගෙනි. ඔහු කීවේ තවම ඒ ගැන වැඩි විස්තර පවසන්න බැරි බවයි. මේ අතරවාරයේ නිෂ්පාදන කළමනාකරුවකුවන ශ්‍රී ලාල් වික්‍රමගේ එතැනට ඇවිත්ය. ගිරා සහ සිවා, රුවන් ද එක්ව ඔහුට චිත්‍රපටයට අවැසි දර්ශනතල ගැන පවසයි. ඒ වගේම නළු නිළියන් පිළිබඳවද විස්තර කියයි. ඒ අතර විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, පි‍්‍රයන්ත සෙනෙවිරත්න වැනි නම් ඇසෙයි. ඒ අයගෙන් සමුගෙන ඉන්පිටතට පැමිණි මම නවකයන් කිහිපදෙනෙකුගෙන් ද අදහස් විමසීමි. ගිරා කීවා නිවැරදිය. බොහෝ දෙනා මෙතැනට ඇවිත් සිටියේ ජනපි‍්‍රය වීමේ වුවමනාවෙනි. එහෙත් වියයුත්තේ පළමුව දක්‍ෂයකු වීමය. එතැන්පටන් ජනපි‍්‍රයත්වය ඉබේම ළඟවන බව කිව යුතුයි.